අද අපේ ගමන් මග වැටී තිබෙන්නේ කන්නෙලිය රක්ෂිතයටයි. මෙය KDN හෙවත් කන්නෙලිය – දෙදියගල – නාකියාදෙණිය වනාන්තර පද්ධතියට අයත් වනාන්තර තුන අතරින් විශාලතම වනාන්තරය යි. ශ්‍රී ලංකාව තුළ මෙන්ම ලෝකයේ ඇති ජෛව විවිධත්වයෙන් ඉහළම ස්ථාන අතරින් එකක් ලෙස මෙය සැලකෙනවා.
මෙහි ඇති ජෛව විවිධත්වය, ලෝක උරුමයක් ලෙස සැලකෙන සිංහරාජ වැසි වනාන්තරයටත් වඩා ඉහළ බවයි පැවසෙන්නේ. මේ නිසා යුනෙස්කෝව විසින් 2004 වසරේදී මෙය ජෛවගෝල රක්ෂිතයක් ලෙස නම් කරනු ලැබුවා. මෙම වනාන්තර ත්‍රිත්වය Man and Biosphere Reserve ලෙසිනුයි යුනෙස්කෝව විසින් නම් කර තිබෙන්නේ.
ගාල්ල නගරයේ සිට කිලෝමීටර් 35 ක් පමණ හිනිදුම දෙසට යනවිට කන්නෙලිය රක්ෂිතය හමු වෙනවා. මෙම වනාන්තර ත්‍රිත්වයෙන් කන්නෙලිය සහ නාකියාදෙණිය රක්ෂිතයන් දෙක අයත් වන්නේ ගාල්ල දිස්ත්‍රික්කයට යි. දෙදියගල මාතර දිස්ත්‍රික්කයට අයත් වෙනවා. මෙම වනාන්තර පද්ධතිය ම හෙක්ටයාර 12216ක් පමණ වෙනවා. කෙසේ නමුත් අප මෙහිදී කතා කරන්නේ කන්නෙලිය ගැනයි. කන්නෙලියෙහි විශාලත්වය හෙක්ටයාර 5306 ක් ලෙස සැලකෙනවා.
ගාල්ලෙන් උඩුගම දක්වා පැමිණ එතැනින් හිනිදුම දෙසට කිලෝමීටර් 5ක් පමණ එන විට කන්නෙලියට යන පාරේ නාම පුවරුව දැකගන්න පුළුවන්. එතැනින් ඇතුළට කිලෝමීටර් එකහමාරක් පමණ යනවිට කන්නෙලියට පිවිසෙන ස්ථානය හමු වෙනවා.
කොළඹ සිට පැමිණෙනවා නම් වඩාත්ම පහසු මාර්ගය වන්නේ කොළඹින් මතුගමට පැමිණ එතැනින් පැලවත්ත, පිටිගල හරහා මාපලගම ට පැමිණීමයි. මාපලගමින් උඩුගමට පාරක් තිබෙනවා. ඒ පාරෙන් එන විට කන්නෙලිය හමු වෙනවා.
මාතර පැත්තෙන් එනවා නම් අකුරැස්සට ඇවිත් එතැනින් උඩුගමට එන්න පුළුවන්.
ඒ වගේම දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයේ බද්දේගම පිවිසුමෙන් පිටවී උඩුගමට පැමිණ එහි සිට නින්නිකිත ඇල දක්වා දිවෙන කුඩා පටු මාර්ගයෙන් ද කන්නෙලිය රක්ෂිතයේ පිවිසුම වෙත යන්න පුළුවන්.
කන්නෙලිය පිවිසුම් දොරටුව අසල සංචාරක මධ්‍යස්ථානයක් පිහිටා තිබෙනවා. රක්ෂිතයට ඇතුල්වීම සඳහා ප්‍රවේශපත්‍ර මිලදී ගන්නේ එතැනින්.
මෙම රක්ෂිතයේ තිබෙන ප්‍රධාන දිය ඇලි දෙකක් වන්නේ අනගිමල ඇල්ල සහ නාරං ගස් ඇල්ල යි. එසේම මෙම රක්ෂිතයෙ හි තවත් ඉතා ප්‍රකට ම දෙයක් තමයි යෝධ නවඳ ගස.
ශ්‍රී ලංකාවේ පහත්බිම් වැසි වනාන්තරවල දක්නට ලැබෙන වෘක්ෂ ලතා ආදිය මෙම රක්ෂිතයෙහි බහුලව පවතිනවා. ඒ අතර හොර, නා වැනි ශාක මෙන්ම ඖෂධීය ශාක වර්ගත්, දුර්ලභ ශාක විශාල ප්‍රමාණයකුත් කන්නෙලිය රක්ෂිතය තුළ දැකගත හැකියි. මෙහි ඇති ශාක විශේෂවලින් 27% ක් අවදානමට ලක්ව ඇති ශාක ලෙස සැලකෙනවා. දුර්ලභ ශාක විශේෂ 45% ක් පමණ දැකගත හැකියි.
කන්නෙලිය රක්ෂිතයෙහි සත්ව විශේෂ 220 කට අධික සංඛ්‍යාවක් සිටිනවා. මෙයින් ක්ෂීරපායි විශේෂ 86 ක්, සර්ප විශේෂ 36 ක් සහ කුරුල්ලන් මෙන්ම මත්ස්‍ය විශේෂ ද රාශියක් සිටිනවා. පක්ෂීන්ගෙන් වර්ග 26 ක් ලංකාවට ආවේණිකයි. ඉන් විශේෂ 20 ක් මෙම KDN වනාන්තර පද්ධතිය තුළ පමණයි සිටින්නේ. ශ්‍රී ලංකා වලි කුකුළා, හබන් කුකුළා, වත රතු මල් කොහා, ශ්‍රී ලංකා අළු කෑදැත්තා වැනි පක්ෂීන් කන්නෙලියෙහි බහුලයි. එසේම ශ්‍රී ලංකා මිරිදිය මසුන් ගෙන් 20% ක්, සර්ප විශේෂ 17 ක්, කටුසු විශේෂ 23ක් මෙහි වාසය කරනවා.
රක්ෂිතය නැරඹීමට පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් මෙම රක්ෂිතයේ ඇති සියලු වැදගත් ස්ථාන ආවරණය වන ආකාරයට සංචාරණ සැලසුම් 3 ක් සකස් කර තිබෙනවා. ඒ මේ ආකාරයටයි.
* ගුහාව මංපෙත
අනගිමල ඇල්ල මාර්ගය කාලය පැය තුනයි.
* යෝධ නවඳ ගස
නාරංගස් ඇල්ල මාර්ගය කාලය පැය හතරයි.
* කබ්බලේ කන්ද මාර්ගය
මෙහිදී නැවත අනගි මල ඇල්ල මාර්ගයේ ආපසු පැමිණිය හැකියි.
ගතවන කාලය පැය හයයි.
සංචාරයට වඩාම සුදුසු දෙසැම්බර් හා පෙබරවාරි මාස යි. මේ කාලයේ හොඳින් වර්ෂාව ලැබෙන නිසා ප්‍රබෝධමත් ගහකොළ සේම සතුන්ද, වතුර පිරී ගත් දිය ඇලි ද සහිත ඉතා දර්ශනීය පරිසරයක් ඔබට දැක බලා ගත හැකි වේවි. නමුත් ඔබ දෙපයින් ඇවිද මෙහි සිරි නැරඹීමට අදහස් කරන්නේ නම් වඩා සුදුසු වන්නේ මාර්තු අප්‍රේල් වැනි කාල සීමාවනුයි. ඒ කාලයට වර්ෂාව අඩුයි.
ඉන්දු පෙරේරා
ඡායාරූප අන්තර්ජාලයෙනි.