එංගලන්තයේ රාජකීය අභාවයක් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ වසරක ශෝක කාලයක්

rajakiya

මහා බ්‍රිතා‍න්‍යයේ එලිසබෙත් මහ රැජිනගේ අභාවය මුල් කොට ශ්‍රී ලංකාව තුළ ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත් කිරීම පිළිබඳව පසුගිය දිනවල සමාජ කතිකාවක් ඇති විය. ඇතැමුන් එය අර්ථ ගන්වා තිබුණේ එය ශ්‍රී ලාංකේය ජාතික අභිමානයට,වසර දෙදහස් ගණනක් ඉපැරණි ප්‍රෞඩ අභිමානීය සංස්කෘතියට එරෙහි බටහිර අධිරාජ්‍යයට ගැති වීමක් ලෙසිනි.එමෙන්ම “මහා සංඝ රත්නය” යන පොදු නමකින් හඳුන් වන ධර්ම විනය අතින් නැතත් පැරණි කුල ක්‍රමය අනුව නිකාය වශයෙන් අදටත් බෙදී හිඳින ශ්‍රී ලාංකේය භික්ෂු පරපුරට කරන පරම නිගරුවක් ලෙසිනි.එහෙත් මෙහි සත්‍ය තත්වය අනෙකකි. වර්ෂ 1505 අප රට බටහිර රට වලට නතු වීමෙන් පසුව1818 හා 1848 ඇතිවූ සවදේශික අරගල නිදහස් ශ්‍රී ලංකාවක් මුල් කොට දියත් වූ ප්‍රබලතම සමාජ යාන්ත්‍රණයයි.

මොණරවිල කැප්පෙටිපොල, ඇහැලේපොල මහ නිලමේ,මඩුගල්ලේ නිලමේ, ඉහලගම හිමි ආදී ස්වදේශික විරුවන් ජාතියේ නිදහස පතා තම ජීවිත පූජා කළහ. දෙවන නිදහස් අරගලය 1848 මාතලෙන් ආරම්භ වූ අතර වීර පුරන් අප්පු, ගොන්ගාලේගොඩ බණ්ඩා,කාරෝ අප්පු, විදී පැලේ බණ්ඩා, කුඩාපොල හිමි වැනි අරගල කරුවන් සිංහල ඔත්තුකරුවන්ගේ ක්‍රියා මත ඉංග්‍රීසින්ට අල්ලා දෙන ලදී.මෙම නිදහස් අරගල දෙකම සිංහල ජාතියේ යම් යම් පාර්ශවයන් නියෝජනය කළ අතර එවක ජන සමාජය මුළුමනින්ම මේ මතයේ නොසිටි බව පැහැදිලි ය.විශේෂයෙන් 1815 කන්ද උඩරට කේන්ද්‍ර කර ගත් උඩරට රදළ පරපුර පළමුව ඉංග්‍රීසීන්ගෙන් විවිධ තාන්න මාන්න හිමි කර ගත් අතර පසුව පහත රට ධනවත් බලවත් පිරිස් ද ඉංග්‍රීසීන්ට ගෞරව පක්ෂපාතින්වය ලබා දෙමින් ඔවුන්ගෙන් විවිධ තාන්න මාන්න ලදී. කොළඹ,කුරුඳුවත්ත මුල් කොට ගත් සිංහල ප්‍රභූ සමාජයක් ඇති වීමේ මූලික අඩිතාලම ද එය විය.

එකල ඉංශ්‍රීසි අධිරාජ්‍යවාදීනට විරුද්ධව බෞද්ධ පුනරුද ව්‍යාපාරය ආරම්භ වන ලද්දේ ද එම ඉහළ මධ්‍යම පන්තියෙන් බෙදී සිය සමාජ කණ්ඩායමක් විසිනි.එය මෙහෙයවූයේ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි, දොඩම්ගොඩ පියරතන හිමි, , අනගාරික ධර්මපාල තුමා, වැනි ජන නායකයන් විසිනි.ඇමරිකානු ජාතික කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා විසින් ඊට මඟ පෙන්වන ලදී. ඊට අමතරව සාමකාමී මංපෙතක් ඔස්සේ නිදහස මෙහෙයවූ බටහිර අනුකාරක කණ්ඩායමට ඩී.එස්. සේනානායක, ජේමිස් පීරිස්, දොස්තර සී.ඒ. හේවාවිතාරණ, ඩී.බී. ජයතිලක, යන ජන නායකයෝ අයත් වූහ. එවක අප රටේ සමස්ත සඟ පරපුර අප රට පාලනය කළ ඉංග්‍රීසීන් කෙරෙහි මහත් සහනශීලී ආකල්ප දැරූ අතර එවක ඉංග්‍රීසි අධිරාජ්‍ය වාදීන්ට විරුද්ධ වූ ගිහි පැවිදි පිරිස් විකල්ප මතධාරීන් හා අරගල කරුවන් ලෙස හඳුන්වන ලදී.

1875 වසරේ නොවැම්බර් 01 වන දා රත්මලානේ ධර්මාලෝක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පෑලියගොඩ විද්‍යාලංකාර පිරුවන අරඹන ලද්දේ මෙම දෙවන සමාජ කණ්ඩායමේ පරිශ්‍රමයෙනි.ඉන් පසුව ඒ හිමියන්ගේ ශිෂ්‍ය රත්මලානේ(කලපළුවාවේ) ධර්මාර හිමියෝ එහි ප්‍රධානත්වයට පත් වූහ. ඒ හිමියන් ධර්ම ශාස්ත්‍රීය විෂයන් පිළිබඳ විශිෂ්ට හැකියාවක් පළ කළ මහ තෙර නමකි.එකල මූල ග්‍රන්ථය අභාවයට ගොස් තිබිය දී පුරාණ සිංහල සන්නය අනුසාරයෙන් මහා කවි කුමාරදාසයන් විසින් රචිත ජානකීහරණ මහා කාව්‍යය ප්‍රතිනිර්මාණය කළ ධර්මාරාම හිමිපානෝ 1890 දී එය පළ කළහ. එමෙන්ම ඒ වනතුරුත් ව්‍යාකූලව පැවැති සිංහලයේ න,ණ,ල,ළ භේදය පිළිබඳ යථා ප්‍රයෝග අක්ෂර වින්‍යාසය හෙළිදරව් කළහ.

1892 දී ධර්මාරාම හිමියෝ තම පිරුවන පාර්ශවය නියෝජනය කළ “සත්‍යසමුච්චය’ සඟරාව මගින් ස්වකීය නිගමනය ඇතුළත් කොට අක්ෂර වින්‍යාසය පිළිබඳ පැරැණි නිවැරැදි පිළිවෙළ පැහැදිලි කළහ. 1896 දී පඤ්චිකා ප්‍රදීපය ද සංශෝධනය කොට ප්‍රකාශනය කළහ. 1902 දී සිදත් සඟරාව සංශෝධනය කොට ලියා පළ කළහ. තව ද එකී ශාස්ත්‍රීය පොත පත අතර පපංචසූදනී අටුවාවෙහි ප්‍රථම භාගය, මනෝරථපූරණී,අත්ථසාලිනී වැනි පෙළ අටුවා ද මජ්ක්‍ධිම නිකාය, ධම්මසංගණී ආදි පෙළ පොත් ද, බාලාවතාර, මහාරූපසිද්ධි, පාලි නාම්‍යාත පදමාලා වැනි පාලි ව්‍යාකරණශි‍්‍රත ග්‍රන්ථ ද මහා බෝධිවංශ ග්‍රන්ථ පද විවරණය සන්න සහිත කාව්‍යශේඛරය සන්න සහිත සැළලිහිණි හා හංස සන්දේශ, කාව්‍යශේකර පුරාණ සන්නය සංස්කරණ ආදිය ඒ අතර වේ. එමෙන්ම බුද්ධවර්ෂ වාද, පාරුපනවාද, සුගත්වියත්වාද ආදී විවිධ වාදවිවාද පවත්වා එකී මතවාදවල පැවැති ව්‍යාකූලතා නිරාකරණය කොට ඉදිරිපත් කිරීමෙහි ලා උන් වහන්සේ ගෙන් මහත් සේවයක් වූ බව පැවැසෙයි.

හත් වන එඩ්වඩ් රජු මහා බ්‍රිතාන්‍යයේ සහ අයර්ලන්තයේ සහ බ්‍රිතාන්‍ය එක්සත් රාජධානියේ සහ යටත් විජිතයන් හි රජු ය. 1901 ජනවාරි 22 සිට 1910 දී ඔහු මිය යන තෙක් ශ්‍රී ලංකාව ද අයත් වන ඉන්දියානු උප මහාද්දීපයේ අධිරාජ්‍යයා ද විය.එම රජු කෙරෙහි ධර්මාරාම හිමියන් තුළ පැවැති ගෞරවය කොතෙක් ද යත් ඔහුගේ අභාවය නිමිති කොට ශ්‍රී ලංකා වාසීන්ට වසරක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කොට තිබිණ.ඒ සම්බන්ධ මෙම සටහන අප උපුටා ගන්නා ලද්දේ 1910 මැයි 31 වන දා නිකුත් වූ “සත්‍යසමුච්චය” සඟරාවෙනි.

“මුළු ලක්දිව ඒකාංගිකගණයෙහි ප්‍රධාන අනුශාසක තැන්පත් වූ ද කොළඹ හලාවත දෙදිශාවේ ප්‍රධාන සංඝනායක ධූරන්‍ධරවූ ද පෑලියගොඩ විද්‍යාලඬකාර පරිවේණාධිපති රත්මලානේ ධම්මකිත්ති ශ්‍රීධර්මාරාමාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගේ ප්‍රකාශ පත්‍රය

සංවෙග පුරසස්සර නිවේදනයයි.

මුළු ලෝකයෙහි සමාදානය පැවැත්වීමේ මූලිකවූද ඉංග්‍රීසි කිරීටයට අයත් සියලු මහා ජනපදයන්හි ප්‍රධාන ජගතීශ්වරවූද නෛකශ්‍රීසාරවිරාජිත ආඥාචක්‍රවර්තී සත්වෙනි ඇඩ්වඩ් අප මහාරාජෝත්තමයන්ගේ ශරීර නිඃක්‍ෂෙපය 1910 ක්වූ මෙම මැයි මස 20 වෙනි දින සිද්ධකරන්ට යෙදෙන හෙයින් මෙදවස අප බෞද්ධ සකල ජනතාව විසින් ස්වකීය ඇදහීමේ ප්‍රකාර පුන්‍යක්‍රියා වල යෙදීමෙන් එම මහරජතුමන් වෙත පින් පෙත් පැමිණවීමෙන් කෘතඥතාව ද මහරජතුමන්ගේ ගුණ සිහිකිරීමෙන් ලෝක චාර්ත්‍රානුකූල ශෝක සංවේගය ද මහත් භක්ති ප්‍රෙමයෙන් හා රාජපාක්‍ෂිකත්‍වයෙන් ප්‍රකාශ කරන ලෙස ඉල්ලා සිටිමු. තව ද අත්‍යන්‍ත ගෞරවාදර දැක්වීමක් වශයෙන් මෙදින පටන් පුරා අවුරුද්දක් හෙවත් 1911 හේ මැයි මස 20 වෙනි දින දක්වා අප බෞද්ධ ජනතාව විසින් කරනු ලබන පින්පෙත් පූජෝත්සව සියල්ලෙහිදීම මහ රජතුමන් සිහිපත්කොට ආගමානුකූල පැන් වඩන චාරිත්‍රයෙන් පින්පෙත් පැමිණවීමෙන් මුළු අවුරුද්දක් ශෝක සංවේගය ප්‍රකාශ කරන මෙන්ද මතක් කරම්හ.
අත්සන් කළේ – K.DHARMARAMA
H.P
2452/1910 මැයි මස 18 දින පෑලියගොඩදීය.(උපුටා දැක්වීම අවසන්)

මෙහි දී ධර්මාලෝක හිමියන් “කේ” යනුවෙන් සිය අත්සන තබා ඇත්තේ ඒ හිමියන්ගේ උපන් ගම කලපලුවාවේ බැවිනි.එමෙන්ම මෙහි ඒ හිමියන්ගේ අත්සනට යටින් H P යනුවෙන් දක්වා ඇත්තේ සිංහලයෙන් ප්‍රධාන පූජක යන අදහස ගෙනෙන High Priest යන්න හඟවනු පිණිස ය.මින් අපට සහේතුකව කරුණු වටහා ගත හැක්කේ පොදුවේ මහා සංඝරත්නය යනුවෙන් හැඳින්වෙන ශ්‍රී ලාංකේය සමස්ත භික්ෂු සමාජයම කිසි විටෙකත් සමාජයීය වශයෙන් එකම ස්ථාවරයක නොරඳන බවකි.

කදුරුපොකුණේ සුමංගල හිමි

එතෙර - මෙතෙර