ශ්‍රී ලංකාවේ සරසවියකට ඇතුලත්ව අධ්‍යාපනය හදාරා උපාධිධාරීයෙකු වීම අපේ රටේ බොහෝ දරුවන්ගේ සිත්තුල කුඩාකළ පටන් පවතින සිහිනයක්. දරුවන්ගේ පමණක් නොවෙයි බොහෝ දෙමාපියන්ගේ ඒකායන පැතුමක් වන්නේද තමන් ඉතා දුක් මහන්සිව රැකබලාගෙන අධ්‍යාපනය ලබාදී ආදරයෙන් වසර විස්සකට ආසන්න කාලයක් රැකබලාගත් සිය දරුවා අධ්‍යාපනයේ ඉහලම හිනිපෙත්තට නඟිනු දැකීමයි.ඉතාමත් තරඟකාරී විභාග කඩයිම් පසුකරමින් සරසවි වරම් ලැබීම සඳහා ළමයින් විසින්ද විශාල කැපවීමක් කරන අතර රජයද ඒ අයගේ ඉගෙනීම් කටයුතු සඳහා වැයකරන මුදල සුලුපටු නොවේ මහජනතාවගේ බදු මුදලින් අධ්‍යාපනය ලබාගන්නා සමස්ත රජයේ පාසල්වල ඉගෙන ගන්න දරුවන් අතරින් සරසවියට තේරෙන්නෙ සැබැවින්ම දක්ෂ සීමිත පිරිසක් පමණයි.
සරසවියට ඇතුලු වූ පසුව එම පිරිසෙන් සැලකිය යුතු කොටසක් විවිධ ගැටලුවලට මුහුණ පානවා. ඒක පටන්ගන්නේ නවක වධයෙන්. ලෝකයේ කිසිම රටක දක්නට නොලැබෙන මෙම නවකවදය අතීතයේ මෙන් නොව, පහරදීම් මෙන්ම ලිංගික අතවර කිරීම් දක්වාම මේවන විට වර්ධනයවී ඇතිබව මාධ්‍ය වාර්තා වලින් පෙනී යනවා. සරසවියට ඇතුල් වීමට සුදුසුකම් ලබන බොහෝ දෙනා මෙම තත්ත්වයට මුහුණ දීමට බියකින් පසු වෙනවා. තවත් බොහෝ දෙනා සරසවිය හැර යනවා නොඑසේ නම් වෙනත් පෞද්ගලික හෝ විදේශ විශ්ව විද්‍යාල වලට ඇතුලත් වෙනවා.පෙර කාලයේ දී නවක වදය ලබා දීමේදී යම්කිසි සීමාවන් වලට යටත්ව තමයි නවක වදය ලබා දුන්නේ.
නවක වදය ලබාදෙන ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයා පළමු වසරේ දී නවක වදයට ලක් වූවෙකු විය යුතු අතර නවක වදයට ලක් වන්නා ප්‍රතික්ෂේප කරන කායික ක්‍රියාකාරකම් බලහත්කාරයෙන් ක්‍රියාත්මක කිරීමට අයිතියක් නැහැ සිසුවියන් සඳහා කායික ක්‍රියාකාරකම් ලබාදීමට පිරිමි සිසුන්ට කිසිදු අයිතියක් තිබුණේ නැහැ.ඒ වගේම නවක සිසුන්ගේ ශරීර ස්පර්ශ කිරීමට ජ්‍යෙෂ්ඨ සිසුන්ට අවසර නැහැ.මෙවන් රාමුවක් තුළ ලබා දුන් නවක වදය මේ වනවිට එවන් කිසිදු පාලනයකින් යුක්තව සිදු වන්නක් බවක් දක්නට ලැබෙන්නේ නැහැ.මහා ශිෂ්‍ය සංගම් වසර ගණනාවක සිට ප්‍රකාශ කරන්නේ ඔවුන් නවක වදයට විරුද්ධ බවත් එය නවතාලීමට සියලු උත්සාහයන් ගන්නා බවයි.නමුත් සත්‍ය තත්වය නම් මෙම නවක වදය සිදු වන්නේ ඔවුන්ගේ අනුග්‍රහය සහ ආශිර්වාදය තුළ වීමයි.
සරසවි තුළ ක්‍රියාත්මක වන දේශපාලන ශිෂ්‍ය ව්‍යාපාරයන් විසින් තමයි; මේ නවක වදය දිගින් දිගටම ක්‍රියාත්මක කරන්නේ.නවක සිසුන් යොදාගෙන ඔවුන් බොහෝ උද්ඝෝෂණ සිදු කරනවා.ඒ මඟින් නවක සිසුන් තුළ , රජයට එරෙහිව කටයුතු කළ හැකි “වීරත්වයක්” ආදේශ කරනවා. මේ සඳහා පූර්ණ කාලීනව දේශපාලනය සිදුකරන සිසුන් සරසවි වල ඉන්නවා.ඔවුන් ශිෂ්‍ය සංවිධාන හරහා සරසවි තුළ ආධිපත්‍ය පතුරුවාගෙන සිටිනවා.එම නිසා බොහෝ සරසවි සිසුන් අකමැත්තෙන් වුවත් ඔවුන්ගේ උද්ඝෝෂණ ව්යාපාරයක්ට සහභාගි වනවා.උද්ඝෝෂණ වලට සහභාගී නොවුණහොත් ජල ප්‍රහාරවලට ලක් නොවුණ හොත්, කඳුළු ගෑස් ප්‍රහාර වලට ලක් නොවුණ හොත් ඔවුන්ගේ සරසවි ජීවිතය ඵලක් නැති බවට මතයක් ඒ අය අතර පතුරුවා තිබෙනවා.ඒ වගේම පොලිස් අත්අඩංගුවට පත් වුවහොත් එය එම සිසුවා ලබන වීරත්වයක් ලෙස සලකනවා නමුත් මේ සියල්ල යම් යම් දේශපාලන පක්ෂ විසින් තමන්ගේ පැවැත්මට සරසවි සිසුන් යොදාගැනීමක් පමණයි. කෙසේ වෙතත් මෙම ක්‍රියාදාමය ශ්‍රී ලාංකීය සරසවි තුළ සිසුන් දැඩි මානසික පීඩනයට ලක් කරන්නක් බවට පත්ව තියෙනවා.
වර්තමානයේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල තුළ අධ්‍යාපන පීඨයන් මගින් සිසුන් තුළ ඇති කොට තිබෙන දැඩි පීඩනය ද බොහෝ සිසුන්ට දරාගත නොහැකි ආකාරයක් දක්නට ලැබෙනවා. සරසවියකින් සැබැවින්ම සිදුවිය යුත්තේ සිසුවාගේ බුද්ධිය වර්ධනය කොට එමගින් රටට දැයට අලුත් යමක් දායක කිරීමයි. ගුරුවරුන් සමග සංවාද කොට තර්ක විතර්ක කොට නව දැනුම,සංකල්ප බිහි කළ යුතු වනවා. ගුරුවරුන් සිසුන් එකතුව නව පර්යේෂණ,නිෂ්පාදන ,සංකල්ප අඛණ්ඩව බිහිකිරීම සරසවි වලින් සිදුකළ යුතයි.සරසවි වලින් බලාපොරොත්තු වන්නේත් රටේ බුද්ධිමතුන්. රටේ දියුණුවට යොදා ගත හැක්කේත් ඒ මගින් පමණයි .නමුත් වර්තමානයේ සිදුවන්නේ ගුරුවරයා උගන්වන සියල්ල මතක තබාගෙන ඔහු විසින් ලබා දෙන ප්‍රශ්න පත්‍රයට ඒ සියල්ල නැවත මතකයෙන් ලියා විභාග සමත්ව උපාධිය ලබා ගැනීමයි.ගුරුවරුන් සහ ළමයින් අතර බුද්ධිමය සංවාද ඇති වන්නේ නැහැ.සිය බුද්ධිය මෙහෙයවා නිදහසේ පීඩනයකින් තොරව අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව සරසවි සිසුන්ට ලැබෙන්නේ නැහැ.
ගුරුවරයා ගෙන් ප්‍රශ්න කිරීම තුළ විභාගයේ දී ඔහු අසමත් කරනු ඇතැයි යන මතය හේතුවෙන් ගුරුවරයා උගන්වන කරුණු පිළිබඳව ප්‍රශ්න කිරීමට සිසුන් ඉදිරිපත් වන්නේ නැහැ.ඇත්ත වශයෙන්ම මෙම මතය සරසවි වලට ඇතුලත් වන නවක සිසුන් වෙත ලබා දෙන්නේ ජ්‍යෙෂ්ඨ සිසුන් මගින්.ඔවුන් කියා සිටින්නේ දේශකයා ගෙන් ප්‍රශ්න නොකර දේශනයට පමණක් සහභාගි වී එන ලෙසයි.ප්‍රශ්න කළහොත් ඔහුව මතක තබාගෙන විභාගයේදී අසමත් කරන නිසා ප්‍රශ්න ගැටලු ඇතොත් ඒවා ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන් සමග සාකච්ඡා කර ගැටලු නිරාකරණය කරගත හැකි බවත් ඔවුන් පවසනවා.ජ්‍යෙෂ්ඨ සිසුන්ගේ මෙම “උදව් ‘ සිය සරසවි අධ්‍යාපනය කරගෙන යෑමට අත්‍යාවශ්‍ය බව සිතන නිසා නවක සිසුන් කෙතරම් අකමැත්තක් තිබුණද ජ්‍යෙෂ්ඨ සිසුන් තරහ නොකර ගනිමින් ඔවුන්ගේ මනදොළ පිරවීමට නවක වදයට ලක් වනවා. මේ අනුව විෂය පිළිබඳව පුළුල් දැනුමක් ඇති කථිකාචාර්යවරුන් සහ මහාචාර්යවරුන් සමඟ සංවාද නොකර, හුදෙක් ඔවුන්ගේ දේශන කටපාඩම් කර උපාධිය ලබා ගන්නා ‘නාමික’ උපාධිධාරීන් මිස ප්‍රායෝගිකව සමාජය තුළ වැඩ කළ හැකි බුද්ධිමත් උපාධිධාරීන් අපේ රටේ සරසවි වලින් බිහි වන බවක් දක්නට ලැබෙන්නේ නැහැ.
වර්තමාන කාලයේ සිසුන් පිළිබඳව ගත් කළ දක්නට ලැබෙන ප්‍රධාන කරුණක් වන්නේ ඒ බොහෝ දෙනා බොහෝ ආත්මාර්ථකාමී වීමයි. අනික් අයට උදව් කරන්න, සහ කම්පනයෙන් යුතුව වැඩ කරන්න ඒ අය දන්නේ නැහැ. තමන් දන්න දෙයක් පවා අනෙක් සහෝදර සිසු සිසුවියන්ට කියලා දෙන්න ඔවුන් ඉදිරිපත් වන්නේ නැහැ. නමුත් අනෙක් අය යමක් කියල දුන්නොත් එය මැනවින් ග්‍රහණය කරගන්නවා. තවත් අයකු කරුණක් වැරදියට අවබෝධ කරගෙන සිටින බව දැන දැනත් එය නිවැරදි කර කියාදෙන්න ඉදිරිපත් වන්නේ නැහැ.සමාජය තුළ සහජීවනය, සහෝදරත්වය,කණ්ඩායම් හැඟීම සහකම්පනය වැනි ගුණධර්මවලින් පිරිහුණු පිරිසක් තමා පාසල් සිසුන්ගේ සිට උසස් අධ්‍යාපනය ලබන සිසුන් දක්වාම දක්නට ලැබෙන්නේ.
මෙවන් පිරිසක් ඉන්පසු රජයේ සේවයට හෝ වෙනත් ආයතන වල සේවයට යොදවා ගන්නා විට සමාජය පිළිබඳ නිසි අවබෝධයක් නොලැබීම තුළ ඔවුන් විසින් මහජනතාවට ලබා දෙන සේවය ප්‍රායෝගික වන්නේ නැහැ.සාමාන්‍ය ජනතාව සහ නිලධාරීන් අතර එවිට ගැටුම් ඇති වනවා.ආයතන වලින් ලබා දෙන සහ ලබාගන්නා සේවාවන් මහජනතාව තෘප්තිමත් වන ආකාරයෙන් ලබාදීමට හැකි වන්නේ නැහැ මෑත අතීතයේ සිදුකළ රසායනික පොහොර තහනම සහ කොවිඩ් රෝගය සඳහා “කාලි පැණිය”ප්‍රවර්ධනය කිරීම සඳහා මහාචාර්යවරුන් ඉදිරිපත් වීමත් වකුගඩු රෝගය සඳහා හේතු සෙවීමට නාථ දෙවියන් ඇතුළු ‘දේව මණ්ඩල ” යොදා ගැනීමට විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් පවා ඉදිරිපත් වීමත් දක්වන්නට පුලුවන්.
වර්තමානයේ අධ්‍යාපනය පොත පතට පමණක් සීමා වී තිබෙනවා.විෂය බාහිර දැනුම දරුවන්ට ලබා දෙන්නේ නැහැ.සමාජයේ ජීවත් වන්නේ කෙසේද? යහපත් පුද්ගල අන්තර් සබඳතා ඇති කරගන්නේ කෙසේද ප්‍රශ්න ගැටළු වලට පිළිතුරු සොයාගන්නේ කෙසේද? මානසික පීඩනයන්ට මුහුණ දෙන්නේ කෙසේද යන්න මෙම දරුවන්ට පුරුදු පුහුණු කරන්නේ නැහැ. පෙර කාලයේදී මෙන් නොව වර්තමානයේ උසස් පෙළ හදාරන දරුවන් පවා නිවසට කැඳවාගෙන යාමට පාසල් අසලට දෙමාපියන් පැමිණෙනවා.පාර හරහා මාරු වීමකදී පවා දරුවාගේ අතින් අල්ලාගෙන පාර මාරු වීම සිදු කරන දෙමාපියන් බොහෝ ඉන්නවා. දරුවාගේ පාසල් බෑගය තමන් උසුලාගෙන යන දෙමාපියන් බොහෝ ඉන්නවා.ඉතින් දරුවන් කොහොමද ජීවත්වෙන්න ඉගෙන ගන්නේ ? පතපොත අධ්‍යාපනයට සමගාමීව ඉතාම අවශ්‍ය වන දෙයක් තමා ජීවන නිපුනතා වර්ධනය කිරීම.
එය පොත පතේ ඇති පාඩමක් ලෙස ඉගැන්වීම හරියට තැපෑලෙන් පීනන්න උගන්වනවා වගේ දෙයක්.ඇත්ත වශයෙන් ම ජීවන නිපුණතා වර්ධනය කිරීම ප්‍රායෝගිකව පාසැල් අවදියේ ම සිදු කළ යුතු දෙයක්. දෙමාපියන් ඉතාම තදින් සිතට ගත යුතු දෙයක් වන්නේ දරුවන්ට ස්වාධීනව වැඩ කටයුතු කිරීමට පුරුදු පුහුණු කිරීම සහ පාසලේ විෂය බාහිර කටයුතු වලට යොමු කිරීම සිය දරුවා යහපත් දරුවෙකු ලෙස සමාජානුයෝජනය කිරීමට අත්‍යවශ්‍ය බවයි.එසේ නොවනහොත් අභියෝග වලට මුහුණ දීගත නොහැකි දරුවා කොතරම් උගතෙකු වුවද ජීවිතයේ ඇතිවන ගැටලු සම්බන්ධව නිවැරදි ස්වාධීන තීරණ ගැනීමේ හැකියාව නොමැති හේතුවෙන් සියදිවි නසාගැනීමට පවා හැකියාව තිබෙනවා.වර්තමානයේ අප අත් දකින්නේ පසුගිය කාලයේ එවන් “යාන්ත්‍රික දරුවන්” බිහිකිරීමේ ඵලවිපාකයි.මාසයක් පමණ කාලයක් තුළ පේරාදෙණිය සරසවියේ සිසුන් දෙදෙනකු සියදිවි නසා ගැනීම සුළු කොට තැකීම නොකළ යුතුයි.මෙය අනාගතයේ තවත් එවැනි සිදුවීමක් රාශියක ආරම්භය විය හැකියි.
සරසවි සිසුන් සරසවිය තුළ සිටින කාලයේ තවදුරටත් දෙමාපියන්ගෙන් නඩත්තු වීමේ හැකියාවක් වර්තමාන ආර්ථික තත්ත්වය තුළ ඇත්තේ නැහැ.සරසවි තුළ උපාධිය ලබාගැනීම සඳහා උද්ඝෝෂණ විරෝධතා වැනි බාහිර කටයුතු හේතුවෙන් සරසවි වසා දැමීම වැනි හේතු මත අනවශ්‍ය ලෙස කාලය මැරීමක් සිදු කරන්න බැහැ. නමුත් ඉක්මනින් උපාධිය ලබා දීම සඳහා දැඩි අධ්‍යාපන පීඩනයක් ලබාදෙමින්, නිසි ලෙස විෂය කරුණු ග්‍රහණය කර ගැනීමට මෙන්ම ඒ පිළිබඳව අධ්‍යනය කිරීමට අවශ්‍ය කාලය ලබා නොදෙමින් වහ වහා විභාග පවත්වමින් පර්යේෂණ නිබන්ධන සඳහා ඉතා කෙටි කාලයක් ලබාදීමෙන් සිසුන් දැඩි පීඩනයකට ලක් කිරීම කිසිසේත් සිදු නොකළ යුතු දෙයක්
වර්තමානයෙහි සරසවි තුළ ඇතිවන දැඩි මානසික පීඩනයෙන් සිසුන් මුදවා ගැනීම පිණිස ඵලදායි උපදේශන සේවාවක් සෑම සිසුවෙකුටම ලබාදීම සඳහා සරසවි කළ ස්වාධීනව ආයතනයක් ස්ථාපිත කිරීම ඉතා අත්‍යවශ්‍ය කටයුත්තක් බවට පත්ව තියෙනවා.
සිසුන් සහ සමාජය සම්බන්ධ කරන ප්‍රායෝගික ක්‍රියාදාමයක් ඇතිකිරීමත් සරසවි සිසුන් සඳහා ලබාදෙන මහපොළ සහ ශිෂ්‍යාධාර ක්‍රමවේදයන්ට අමතරව අර්ධ කාලීනව ඔවුන්ට මුදල් ඉපයීමට ක්‍රමවේදයන් ඇති කිරිම කාලෝචිත වනවා. දැඩි පීඩනයක් නොදී සිය බුද්ධිය අවදිකර නිසි පරිදි අධ්‍යන කටයුතු සිදුකිරීමේ හැකියාවක් වගේම උපාධියට වඩා ලෝකයේ මේ වන විට පිළිගැනීමට ලක්ව ඇති මෘදු හැකියාවන් ( Soft skill) වර්ධනය කිරීමට අවශ්‍ය කටයුතු සිදුවන පරිදි උසස් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීමේ දැඩි අවශ්‍යතාවයක් පවතිනවා.
එසේම තරඟකාරී කටපාඩම් කර විභාග සමත්ව සරසවි වලට ඇතුලත් වන සහ ඉන්පසු දේශන මත පදනම්ව උපාධිය ලබා දෙන සමස්ත අධ්‍යාපන ක්‍රමවේදය ම වෙනස් කිරීම මේ අවස්ථාවේදී සිදු කළ යුතු අත්‍යවශ්‍ය අධ්‍යාපන ප්රතිසංස්කරණයක් වනවා. ලෝකයේ වෙනත් දියුණු රටවල අධ්‍යාපන ක්‍රමවේදයන් හොඳින් අධ්‍යයනය කර අපේ රටට සුදුසු ප්‍රායෝගික අධ්‍යාපන ක්‍රමවේදයක් සැකසීමක් කාලීන අවශ්‍යතාවයක් බව අවධාරණය කළ යුතුවනවා.
වෛද්‍ය, නීතිඥ පාලිත බණ්ඩාර සුබසිංහ
වෛද්‍ය නිලධාරී
ජාතික රෝහල මහනුවර