අසාමාන්‍ය මිටි බවට ප්‍රතිකාර තිබේද?

short-stature

තමාගේ දරුවා උසින් මහතින් වර්ධනය වනු දැකීම සෑම දෙමාපියෙකුගේ අපේක්ෂාවයි. නමුත් බොහෝ විටම දරුවකුගේ උස යාම දෙමාපියන්ගේ ජානවලට අනුව තීරණය වේ.

ඒ කෙසේ වුවද කුඩා දරුවන්ට බලපාන සෞඛ්‍ය ගැටලු අතර මිටි බව ( short stature ) වැඩිදෙනෙකුගේ අවධානයට යොමු වන තත්ත්වයක් නොවේ. සාමාන්‍යයෙන් පුද්ගලයකු ගේ පැවතිය යුතු උස ප්‍රමාණයට වඩා බෙහෙවින් මිටි පෙනුමක් පැවතීම එම දරුවාගේ පෙනුමට සහ පෞරුෂයට බෙහෙවින් බලපානු ඇත. මෙය ඒ දරුවාගේ අනාගතයට කෙසේවත් හිතකර වන්නක් නොවේ. එනිසා මේ පිළිබඳව දෙමාපියන් දැනුවත් වීම ඉතා වැදගත් ය.

Short stature නමින් හඳුන්වන මෙම අසාමාන්‍ය මිටි බව සුලබ තත්ත්වයක් නොවන බව සැබෑය. නමුත් ඔබ නොදැන සිටියාට අපේ රටේ දරුවන්ගෙන් 3% ක් පමණ ම මෙම තත්ත්වයට ගොදුරු වේ. එයින් වයසින් වැඩෙන විට යම් ප්‍රමාණයක් සාමාන්‍ය මට්ටමට උස වර්ධනය විය හැකි වුවත්, තවත් කොටසක් මිටි වැඩිහිටියන් බවටම පත් වනු ඇත.

මෙසේ වීමට බලපාන හේතු කවරාකාරදැයි දැන් සොයා බලමු.

මිටි බවට පත්ව සිටි දරුවන්ගෙන් 50 % ක් පමණම කුඩා කාලයේ සිටම මිටි බවින් පෙළුණු අයයි. මේ මිටි දරුවන් වැඩි වියට පත්වීම සාමාන්‍ය දරුවන්ට වඩා ප්‍රමාද ය. මේ ප්‍රමාදවීම අතරතුර එම දරුවන් යම් තරමකට උස යාමක් සිදුවේ. එවිට වයස 16 – 17 පමණ වන විට සාමාන්‍ය උසකට ළඟා වනු ඇත. මේ තත්ත්වය constitutional short stature ලෙස හැඳින්වේ.

මිටි දෙමාපියන්ගෙන් හිමි වන ජාන හේතුවෙන් තවත් සමහර දරුවන් මිටි දරුවන් බවට පත් වනු ඇත. මෙය familial short stature නම් තත්ත්වය යි. විශේෂයෙන් මව්පිය දෙදෙනාම මිටි අය වූ විට ඒ අයට උපදින සමහර දරුවන්ට මේ මිටි බව උරුම විය හැකිය. මේ දරුවන්ගේ උස ද මාපියන්ගේ උස ප්‍රමාණය ඉක්මවා නො යයි.

මන්දපෝෂණය හේතුවෙන් ද දරුවන් උසින් අඩු වන අවස්ථා තිබේ. එසේම දීර්ඝකාලීනව ඇදුම රෝගයෙන් පෙළෙන, ඒ සඳහා නිසි ප්‍රතිකාර නොලබන දරුවන් අතරින් සමහර දරුවන්ට ද මිටි බව උරුම විය හැකිය. දරුවන්ගේ මිටි බවට හේතුවන තවත් රෝග තත්ත්වයන් දෙකක් වන්නේ තැලිසීමියාව සහ වකුගඩු ආශ්‍රිත රෝගයන් ය. ආහාර මගින් ශරීරයට ලැබෙන පෝෂණ කොටස් නිසි පරිදි ශරීරයට අවශෝෂණය වීමේ ගැටලු තිබෙන විටත්, බඩවැල් ආශිත රෝගවලින් පෙළෙන විටත් දරුවන්ගේ උස යාම අඩු වේ. මෙවැනි ශාරීරික ආබාධ තත්ත්වයන් පමණක් නොව සමහර මානසික ව්‍යාකූල තත්ත්වයන් ද දරුවාගේ උස වර්ධනය වීමට බාධා ඇති කරයි. එය බොහෝ වැඩිහිටියන් පවා නොදන්නා කාරණයකි.

ළමා වියේදී අපචාරවලට ලක් වන දරුවන්, විවිධාකාර තාඩන පීඩනවලට ගොදුරු වී නිතර දුකෙන් සහ බියෙන් සිටින දරුවන්, දෙමාපිය වැඩිහිටි අවධානය නොලැබ හුදෙකලා ව තනිව සිටින දරුවන් මෙන්ම මානසික හිරිහැරවලට ගොදුරු වන වලට දරුවන් ද මිටි බවට පත්වීමට ඉඩකඩ තිබෙන බව පර්යේෂණවලින් අනාවරණය වී තිබේ.

සමහර දරුවන්ගේ මිටි බවට හේතු වන්නේ ශරීරයේ හෝමෝන මට්ටම්වල පවතින අසමතුලිතතාවයන් ය. මේ සියලු කරුණු වලට වඩා වෙනස් හේතූන් නිසා ද දරුවන් මිටි වන අවස්ථා නැතුවා නොවේ. එනම් වෙනත් සංකූලතාවන් හේතුවෙන් සාමාන්‍ය ශාරීරික ව්‍යුහයට වඩා කෙටි, අස්වාභාවික කකුල් පැවතීම ය.

මෙවැනි මිටි දරුවකු කුඩා කාලයේම හඳුනා ගත් කල මේ තත්ත්වය සුව කළ හැකි ප්‍රතිකාර නොමැතිද ?

මෙය ඉතා වැදගත් ප්‍රශ්නයකි.

සමහර දරුවන්ගේ මිටි තත්ත්වය වළක්වා ගත නොහැකි නමුත් බහුතරයක් දරුවන්ගේ මිටි බව ප්‍රතිකාර තුළින් යථා තත්ත්වයට පත් කර ගැනීමේ හැකියාව ඇත. ඒ නිසා යම් දරුවකු සෙසු දරුවන්ගේ උසට සාපේක්ෂව කැපී පෙනෙන මිටි බවකින් යුතු නම් ඉක්මනින්ම වෛද්‍ය උපදෙස් පැතීම ඉතාමත් වැදගත් වේ. මුලින්ම කළ යුත්තේ තම ප්‍රදේශයේ පැවැත්වෙන ළමා සායනයකට දරුවා රැගෙන යාමයි. එහිදී දරුවාගේ උස නොයාමට නිවැරදි හේතු හඳුනාගෙන අදාළ ප්‍රතිකාර ක්‍රම අනුගමනය කළ හැකිවේ.

බිලිඳුන්ගේ සායනවලදී බිලිඳු දරුවාගේ බර පමණක් නොව දිග ද මැන බලන්නේ මෙම මිටි බව හඳුනා ගැනීම සඳහා ය. මිටි බවට හේතු වන බොහොමයක් තත්ත්වයන්වලට ප්‍රතිකාර ඇති නිසා ළමා වියේදීම එවැනි ප්‍රතිකාර ලබාදීම තුළින් දරුවා අනාගතයේ මිටි පුද්ගලයකු වීම වළක්වා ගැනීමට හැකි වනු ඇත.

ළමා රෝග විශේෂඥ වෛද්‍ය චින්තක රාජපක්ෂ

ඉන්දු පෙරේරා

විනිවිද සායනය