කථා කරන පින්තූර

katha-karana

මහ මග වීදි වල ඉන්න සතෙක්, වැස්සක් වහිනකොට යන එන මගක් නැති නිසා වැස්සෙන්, පින්නෙන් ඒ වගේම සීතලෙන් ආරක්ෂා වෙන්න කියලා හිතන් ඔබේ නිවසට, මිදුලට එන්න පුළුවන්. අන්න එහෙම ආපු වෙලාවට “ගහෙන් වැටිච්ච මිනිහට ගොනා ඇන්නා වගේ” වැස්සෙන් ආරක්ෂා වෙන්න කියලා ආරක්ෂිත ස්ථානයක් හොයන් ආවම තව ගුටිත් කාලා යන්න වෙනවා වගේ ගහලා පන්නන්න එපා. වැස්ස පායනකම් හරි ඔවුන්ට ඉන්න දෙන්න.

සමහර වෙලාවට අපිටත් කුඩය අමතක වෙලා ගමනක් ගියා ම නොසිතූ මොහොතක වැස්සක් වැස්සොත් එකෙන් ආරක්ෂා වෙන්න කියලා කඩේකට එහෙම නැත්නම් අහල පහල ගෙකට යනවා. ඒ අයිතිකාර මිනිස්සුත් අපිට බැන වැදිලා අපිව එලව ගත්තොත් අපිට මොන වගේ අසරණකමක්, හැගීමක් හිතට දැනෙයිද ? ඒ නිසා අනිත් අයට ඒ දේ කරන්න ඒ වගේම කියන්න කලින් “තමාට මේ දේ සිදු වුනොත් කියා තමාට තමා උපමා කරගෙන” අනිත් අය ගැනත් හිතන්න දකින්න පුරුදු වෙන්න.

තිරිසන් සතුන්ටත් අපි වගේ කතා බහ කරන්න බැරි වුනාට ඔවුන්ටත් අපිට වගේම සීතල, කුසගින්න, පිපාසය, හැගීම්, දැනීම් දැනෙනවා. සීතල වැඩි වෙලාවට කුසගින්න ටිකක් අධිකව දැනෙනවා කියලා අපි දන්නවනේ. ඒ නිසා පුළුවන් නම් කෑම ටිකක් වතුර ටිකක් දෙන්න. මොකද? සීතල, කුසගින්න, පිපාසය දැනෙන්නේ මිනිස්සු වෙච්ච අපිට ම විතරක් නොවෙන නිසා.

සටහන : විහාරා පූජනී

එතෙර - මෙතෙර