තෙල් මිල නැවතත් වැඩි වන ලකුණු

thel

තෙල් මිල ඉදිරියේදී නැවතත් ඉහළ යාමට පටන් ගනු ඇති බවට මේ වනවිට අනාවැකි පළ වෙමින් තිබේ. මේ නිසා තෙල් පාරිභෝගිකයන් පසුගිය කාලයේ භුක්ති විඳිමින් සිටි සාපේක්‍ෂ සහනය අවසන් වනු ඇති ආකාරයක් පෙනී යයි.

තෙල් මිල ඉහළ යාමේ අනතුරක් මතුව ඇත්තේ තෙල් නිපදවන ප්‍රධාන රටවල් රැසක් ඔවුන් නිශ්පාදනය කරන තෙල් ප්‍රමාණය අඩු කිරීමට තීරණය කර ඇති නිසා ය. සෞදි අරාබිය ප්‍රධානත්වය දරණ ඔපෙක් සංවිධානය ද, රුසියාව ඇතුළු තවත් රටවල් කිහිපයක් ද ඔක්තෝබර් මුල් සතියේ මෙවැනි තීරණයකට එළැඹුනෝය. ඔවුන් පැවසුවේ පහත වැටෙමින් තිබූ තෙල් මිල නැවත ස්ථාවර කිරීම සඳහා මෙවැනි තීරණයක් ගත් බවයි. පසුගිය කාලයේ තෙල් මිලෙහි අඩුවීමක් දැකිය හැකි වූයේ ලෝක ආර්ථිකය මන්දගාමී වීමත් සමග තෙල් සඳහා වූ ඉල්ලුම අඩුවීම නිසාය.

uk

ඔපෙක් සහ කණ්ඩායම පවසා ඇත්තේ දිනකට නිපදවන බොර තෙල් බැරල් සංඛ්‍යාව මිලියන 2 කින් පමණ අඩු කරන බවයි. ලබන නොවැම්බරයේ සිට මෙම තීරණය ක්‍රියාත්මක කෙරෙනු ඇති බව ද සඳහන් වේ. 2020 වසරේ කොවිඩ් වසංගතය උපරිමයට ළඟා වූ කාලයෙන් පසු තෙල් සැපයුම මෙතරම් ප්‍රමාණයකින් අඩු කළ පළමු අවස්ථාව මෙයයි. තෙල් නිපදවන රටවල් මෙම තීරණය ගැනීමත් සමග දැනටමත් තෙල් මිල ඉහළ යාමට පටන්ගෙන ඇති බව වාර්තා වේ.

putin

තෙල් නිශ්පාදනය අඩු කිරීමට ගත් මෙම තීරණය නිසා මේ වනවිට රාජ්‍ය තාන්ත්‍රික ගැටුම් ද ඇති වීමට පටන්ගෙන ඇති ආකාරයක් දැකිය හැකි වේ. ඇමරිකාව සහ තෙල් නිපදවන ප්‍රධානම රටක් වන සෞදි අරාබිය අතර ආතතියක් ඇති කිරීමට මෙම සිද්ධිය සමත් වී ඇත. සෞදි අරාබිය ඇතුළු ඔපෙක් රටවල් තෙල් නිශ්පාදනය අඩු කිරීමට තීරණය කළේ එවැන්නක් නොකරන ලෙස ඇමරිකාව ඉල්ලීමක් කර තිබියදී ය. මෙයට මාස කිහිපයකට පෙර ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සෞදි අරාබියේ සංචාරයක නිරත වූ අතර එරට නායකයා ලෙස පිලිගැනෙන මොහොමඩ් බින් සල්මාන් කුමරු හමු වී මේ ගැන සාකච්ඡා කළේය. එසේ තිබියදීත් තෙල් නිශ්පාදනය අඩු කිරීමට සෞදි අරාබිය ඇතුළු රටවල් තීරණය කිරීම එක්තරා අතකින් ඇමරිකාවට දුන් අතුල් පහරක් වැනි යයි නිරීක්‍ෂයෝ සඳහන් කරති. මෙහිදී සෞදි අරාබිය සහ රුසියාව එක පිලක සිට ගැනීම ද ඇමරිකාව තුළ නොසතුටක් ඇති කරන්නකි.

joo-bidin

නිශ්පාදනය අඩු කිරීම නිසා තෙල් මිල ඉහළ යාම මේ අවස්ථාවේ ඇමරිකාවට ආකාර කිහිපයකින් බලපාන්නකි. ඇමරිකානු කොංග්‍රසයට නියෝජිතයන් තේරීමේ මැතිවරණයක් නොවැම්බරයේ පැවැත්වීමට නියමිතව තිබේ. එවැනි තත්ත්වයක් තිබියදී තෙල් මිල වැඩි වීම ජනාධිපති ජෝ බයිඩ්න් ගේ ඩිමොක්‍රටික් පක්‍ෂයට අවාසිදායක පසුබිමක් ඇති කරන්නකි. එමෙන්ම තෙල් මිල වැඩි වීම මේ මොහොතේ ඇමරිකාවේ ප්‍රධානම සතුරා බවට පත්ව සිටින රුසියාවට වාසිදායක තත්ත්වයක් නිර්මාණය කරන්නක් ලෙස ද සැලකේ. ඒ තෙල් මිල වැඩි වීමත් සමග රුසියාවේ තෙල් ආදායම් වැඩි වන නිසාය. ඒ නිසා මේ වනවිට ඇමරිකාව ද පැටලී සිටින යුක්රේන යුද්ධය තවදුරටත් ඉදිරියට ගෙන යාමට අවශ්‍ය ශක්තිය රුසියාවට ලැබේ. ඇමරිකාව ඇතුළු යුක්රේනයේ මිත්‍ර රටවලට මේ මොහොතේ අවශ්‍යව තිබෙන්නේ රුසියාව ආර්ථික වශයෙන් දුර්වල කර ඔවුන් ගේ යුද ශක්තිය අඩාල කිරීමටයි. මේ සඳහා ඔවුහු විවිධ සම්බාධක ද මේ වෙද්දී රුසියාවට එරෙහිව ක්‍රියාත්මක කර ඇති බව රහසක් නොවේ. එවැනි තත්ත්වයක් තිබියදී තෙල් මිල වැඩි වී රුසියාවේ ආර්ථිකය වඩාත් ශක්තිමත් වීම ඇමරිකාව ඇතුළු බටහිර රටවලට ගැටලුවකි.

මෙම තෙල් ප්‍රශ්නය කේන්‍ද්‍ර කරගෙන ඇමරිකාව සහ සෞදි අරාබිය අතර ආතතියක් වර්ධනය වෙමින් ඇත්තේ මෙම පසුබිම තුළ ය. බොහෝ නිරීක්‍ෂකයන් කල්පනා කරන්නේ සෞදි අරාබිය සහ රුසියාව එක්ව ඇමරිකාවට අතුල් පහරක් දී ඇති බවකි.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර