ලොව මිනිස්සු නොයෙක් අරමුණු මුල් කරගෙන සතුන් ඝාතනය කරති. ඒ අතුරින් මුල් වනුයේ ආහාර වශයෙන් ගනු ලබන මස් පිණිස සතුන් ඝාතනය කිරීම ය. ඊට අමතරව ලොව වැඩිපුරම සත්ව ඝාතන සිදු වනුයේ ආගමික විශ්වාස පදනම් කර ගනිමිනි. නො එසේ නම් තමන්ට කිසියම් යහපතක් ඉෂ්ඨාර්ථ සිද්ධියක් උදාකර ගැනීම පිණිස කිසියම් දෙවියකුගේ හෝ දේව මණ්ඩලයක් උදෙසා අසරණ සතකු ගේ ජීවිතයක් බිල්ලට දීමට ය.
අප රටේ මෙම බිලි පූජා පැවැත්වීම මත හින්දු භක්තිකයෝ විවිධ ජන කොටස්වල දැඩි විවේචනයට සේම අප්‍රසාදයට ද ලක් වෙති. ඒ බොහෝ දෙනකු සිතනුයේ හින්දුන් යනු සත්ව හිංසාකාරී පාපතර ජන කොටසක් බව ය. එසේම අප රටේ හින්දු කෝවිල් කිහිපයක වර්ෂයකට එක් දිනයක් නොව වරුවක් පමණක් සිදු කෙරෙන සත්ව බිලි පූජා අප රටේ සමස්ත හින්දුන්ට මෙම අපවාදයට ලක් වීමට හේතුව බව පෙනේ. එහෙත්, ඊට ප්‍රධානතම හේතුව හින්දු ආගම යනු බෞද්ධ, ක්‍රිස්තියානි, ඉස්ලාම් වැනි අප රටේ අදහනු ලබන එක් ශාස්තෘ වරයකු ගේ දේශනාවක් මත පදනම් වූ ආගමික සංස්ථාවක් සේ බොහෝ දෙනෙකු වරදවා වටහා ගෙන සිටීම ය.
ලෝකයේ අදහනු ලබන බොහෝ ආගම්වල ආරම්භය නිවැරදි කල වයස ඓතිහාසික වශයෙන් දැක්වීමට පුළුවන.එහෙත් හින්දු යැයි හැඟවෙන ආගමේ ඉතිහාසය කෙතරම් පැරණි ද යත් ඊට හරි හැටි කීමට නොහැකි තරම් අනාදිමත් ඉතිහාසයක් ඊට තිබේ.හින්දු ආගමේ ප්‍රාරම්භය වන වේදය බිහිවන ලද්දේ ක්‍රිස්තු පූර්ව 1500-900 අතරය යන්න දැනට පිළිගත් පොදු මතයයි. ගෞතම බුදුන් ගේ ලොව පහල වීම කිතු උපතට සියවස් හයකට ඉහත සිදු වූ බව සළකා බැලුවහොත් හින්දු ආගමට පදනම් වන වේදය මත පදනම් වන වෛදික ආගම කොතෙක් පැරණි දැයි ඔබට සිතා ගත හැක.අප කවුරුත් දන්නා වෛදික ආගමේ යන යාග හෝම බිලි පූජා සඳහා සතුන් ඝාතනය කිරීම එහි ප්‍රාථමික පූජා චාරිත්‍ර විධියකි.
මිනිසා තමන් වෙත එල්ල වෙන නපුරු, අයහපත දුරු කර ගැනීම පිණිස තමන් වෙනුවෙන් වෙනත් ප්‍රාණීන් ගේ ජීවිත දෙවිවරුන් වැනි ගුප්ත බලවේග පිණිස බිලි දීම දුරාතීතයේ පැවැති ජන ආගම් මගින් වෛදික ආගමට සම්ප්‍රේෂණය වූ බව අනාවරණය වී තිබේ. හින්දු චතුර්වේදයට අයත් සෘග්වේදයේ එලෙස සත්ව බිලි පූජා සම්බන්ධ බොහෝ කරුණු තිබේ. නමුත් එක් ශාස්තෘ ඉගැන්වීමක් මත පදනම් නොවූ හින්දු ආගම මිනිසා ගේ බුද්ධි පරිනාමයත් සමඟ ක්‍රමයෙන් විකාශනයට පත්ව ඇති අතර වේද යුගයට පසුව පැමිණි උපනිෂද් යුගයේ දී හින්දු ආගම මුලුමනින්ම පාහේ ගැඹුරු දාර්ශනික පදනමකට නතු වී ඇත. එම දාර්ශනික සංකල්ප බෙහෙවින් උච්ච ස්ථානයකට නංවා තැබූ “භගවත් ගීතා” වැනි කෘතියක් අද වන විට විශ්ව සාහිත්‍යයට පවා පිවිස ඇත්තේ ඒ නිසා ය.
ඒ කෙසේ හෝ අද වන විට පෙරදිග දර්ශන විෂය පථය සඳහා ඉන්දියාවෙන් එක් වූ ප්‍රධානතම ආගමික දර්ශන තුන ලෙස හින්දු, ජෛන සහ බෞද්ධ හැඳින්විය හැකි අතර මේවායේ ශ්‍රේෂ්ඨත්වය තරඟකාරී ස්වභාවයකින් පවතින බව ලොව පුරා විද්වතුන් ගේ පිළිගැනීම ය.එමෙන්ම මෙම දර්ශන තුනම මිනිසාගේ සහ සොබා දහමේ යහපැවැත්ම පරමාදර්ශ කොට ගත් බවත් අහිංසා හෙවත් “අහිම්සා” සංකල්පය ඉන් මුල් තැනක් ගන්නා බවත් නොරහසකි.
අප බොහෝ දෙනෙකු දන්නා පරිදි හින්දු සමාජය විවිධාකාර සමාජ ඒකක වලට හෙවත් කුලවලට අයත් ය. ඒ කුල යනු එක් එක් ජන කොටස් වල වෘත්තීන් සේම සමාජයේ සංස්කෘතික විෂමතාවයන් මත පදනම් වූ ප්‍රජා ඒකකයන් ය. එහි දී ඇතැම් ජන කොටස් විසින් හින්දු ආගම නමැති දැවැන්ත විෂය පථයෙන් යම් යම් කොටස් ප්රමුඛත්වයට ගෙන කටයුතු කරති. තවමත් ඇතැම් හින්දු කෝවිල් ආශ්‍රිතව සිදුකෙරෙන බිලි පූජා ඒ එක් එක් ජන කොටස් දාර්ශනික වශයෙන් පරිනාමය වීමට පෙර පැවැති ප්‍රාථමික හින්දු ආගමින් උකහා ගත් ඒවා බව පෙනේ. එහෙත් එම පැරණි පූජා චාරිත්‍ර සෑම හින්දු භක්තිකයකුම පිළිනොපදින, පිළිනොගන්නා සේම ආගමික බැහැර කරන ඒවා බව ද කිව යුතුම ය.ඒ අනුව හින්දු භක්තිකයෝ කුල වශයෙන් වෙන් වී සිටිති.
හින්දු ආගමේ ප්‍රධාන දේව ත්‍රිමූර්තිය විෂ්ණු, බ්‍රහ්ම,සහ ඊශ්වර හෙවත් ශිව ය. මේ ත්‍රිමූර්තිය යටතට ගැනෙන දෙවි දේවතාවුන් දහස් ගණනකි. අප රටේ හින්දු භක්තිකයන් ගෙන් වැඩි දෙනකු ඊශ්වර හෙවත් ශිව දෙවියන් අදහන අතර ශිව දෙවියන් ශෛව යනුවෙන් ද හඳුන්වනු ලැබේ. මෙම ශිව දෙවියන් හෙවත් ‘ශෛව’ යන නම එතරම් පුරුදු නොමැති වුවත් ශෛව භක්තියන් විසින් පවත්වාගෙන යන බොජුන් හල් හෙවත් ‘සයිවර්කඩ‘ වලින් අප සමාජයේ වැඩි දෙනෙකු එක් කෑම වේලක් හෝ ගෙන නැතැයි යන්න පිළිගැනීමට මම අපොහොසත් වෙමි. එම ‘සයිවර් කඩ’ මස්, මාළු, කරවල තබා අඩුම තරමින් උම්බලකඩවත් නොමැති නිර්මාංශාහාර සහිත බොජුන් හල් බව ඔබ දනිතැයි සිතමි. එවන් සත්ව අහිංසාවාදී ආගමික හැදියාවකින් යුතු ශිව භක්තිකයන් බිලි පූජා සඳහා සතුන් නොමරන බව මා අමුතුවෙන් කිව යුතු නැත.
හලාවත මුන්නේෂ්වරම සත්ව බිලි පූජා සම්බන්ධයෙන් විවිධ කාලවල මහත් ආන්දෝලනයට ලක් වූ පුදබිමකි.එහෙත්, එහි ප්‍රධාන කෝවිල වන මුන්නා ඊශ්වරම් (ශිව) කෝවිලේ කවර කරුණක් මත හෝ කිසිදු සත්ව ඝාතනයක් කරනු නොලැබේ. ඒ අතින් එය බෞද්ධ සිද්ධස්ථානයක් මෙනි. එහෙත් ඒ කෝවිල් සංකීර්ණයට අයත් භද්‍රකාලී කෝවිල හා සම්බන්ධ පුද පූජා අතරට වර්ෂයකට එක් දිනයක දී තෝරා ගත් සතුන් ප්‍රමාණයක් බිලි දීම සිදු කෙරේ. එහෙත් සත්ව බිලි පූජා සඳහා එක් වන්නෝ හින්දූන්ම නොවෙති.බෞද්ධයෝ ද තම ආගමික පිළිවෙත් වලින් පිට පැන මේවාට එක් වෙති.එමෙන්ම දකුණේ බලි තොවිල් ආදියේ දී යකුන් සතුටු කිරීම පිණිස “කුකුළු බිලි දීම” ද බෞද්ධ සමාජයේ ක්රියාත්ය්මක වන බිලි පූජා විධියකි.
නමුත් මේ සියළු කරුණු මුල් කොට ඔබ හමුවේ පැවැසිය යුතු ප්‍රධානතම කරුණක් ද තිබේ. එනම් මිනිසා ගේත් සොබා දහමේත් යහපැවැත්ම දේව අභිලාෂය සේ සළකන අප රටේ හින්දුන් බහුතරය කවර කරුණක් මත හෝ සත්ව ඝාතනය නොකරන බව ය.එමෙන්ම භාරතීය නිදහස් සටනේ පුරෝගාමී මහත්මා ගාන්ධි තුමන් සිය අහිංසා වාදී ව්‍යාපාරයේ පදනම කොට සළකන ලද්දේ හින්දු අහිංසාවාදය බවත් අද වන විට එම හින්දු අහිංසාවාදය ලෝකයේ ඉහළම පිළිගැනීමකට ලක් වෙමින් තිබෙන බවත් විශේෂයෙන් කිව යුතු ය.
ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනයේ(නාරා) ජ්‍යෙෂ්ඨ සාගර විද්‍යාඥ ආචාර්ය කේ. අරුලානන්දන්