බ්‍රිතාන්‍ය ඉතිහාසයේ වාර්තාවක් පිහිටුවමින් දවස් 45 කින් ඉල්ලා අස් වූ අගමැතිනිය

moris

එක්සත් රාජධානියේ අඩුම කාලයක් අගමැති ධුරය දැරූ පුද්ගලයා ලෙස ඉතිහාසගතව සිටියේ ජෝර්ජ් කැනිංග් නැමැති අගමැතිවරයා යි. ඔහු අගමැතිකම දැරූ කාලය දින 119 ක් පමණක් විය. 1827 අප්‍රේල් 12 වැනි දින අගමැති ධුරයට පත් වූ කැනිංග් එම ධුරය දරමින් සිටියදී ම 1827 අගෝස්තු 8 වැනි දින මරණයට පත් විය. කෙසේ හෝ වේවා, ජෝර්ජ් කැනිංග් ගේ වාර්තාව බිඳ හෙළීමට මේ වනවිට එරට තවත් නායිකාවක සමත්ව සිටියි. ඒ වත්මන් අගමැතිනිය වන ලිස් ට්‍රස් ය. තමා අගමැති ධුරයෙන් සහ කොන්සර්වේටිව් පක්‍ෂයේ නායකත්වයෙන් ඉල්ලා අස්වන බව ඇය ඊයේ (20 වැනි දා) ප්‍රකාශයට පත් කළ අතර මේ වනවිට ලිස් අගමැති ධුරය දරා ඇත්තේ දින 45 ක ඉතා කෙටි කාලයක් පමණි. ඇයට කලින් සිටි අගමැති බොරිස් ජොන්සන් එම ධුරයෙන් ඉවත් වීමෙන් පසු ලිස් අගමැතිකමට පත් වූයේ පසුගිය සැප්තැම්බර් 6 වැනි දින යි.

47 හැවිරිදි ලිස්ට මේ ආකාරයෙන් ඉතා කෙටි කලකින් ගෙදර යාමට සිදු වූයේ ඇය බලයට පත් වීමෙන් පසු ඉදිරිපත් කළ ආර්ථික ප්‍රතිපත්තිවලට එරෙහිව විවිධ පාර්ශ්ව දැඩි විරෝධයක් දැක්වීමට පටන් ගැනීම නිසාය. මේ හේතුවෙන් ඇය අයත්වන කොන්සර්වේටිව් පක්‍ෂය තුළ ද අවුල් සහගත තත්ත්වයක් ඇති විය.

boris

ලිස් අගමැති ධුරයට පත් වීමෙන් පසු ඉදිරිපත් කළ යෝජනා අතර ප්‍රධාන එකක් වූයේ ආදායම් බදු සහ සමාගම් බදු අඩු කිරීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවයි. නමුත් මෙම යෝජනාවට එක්සත් රාජධානියේ මූල්‍ය ක්‍ෂේත්‍රයෙන් එල්ල වූයේ දැඩි විරෝධයකි. බදු අඩු කිරීම නිසා රජයේ ආදායම් අඩු වීමෙන් ඇති වන ගැටලු ගැන බොහෝ පාර්ශ්ව පෙන්වා දෙන්නට විය. අයවැය පරතරය වැඩි වීම, පොලී අනුපාත ඉහළ යාම, උද්ධමනය වැඩි වීම, ණය බර මත ඇති වන පීඩනය, රජයේ ව්‍යාපෘති සඳහා වැය කිරීමට මුදල් හිඟ වීම ආදී ගැටලු ගැන මෙහිදී විශාල වශයෙන් අවධානය යොමු වූ අයුරු දැකගන්නට ලැබිණි. මෙවැනි ව්‍යාකූලත්වයක් වර්ධනය වෙද්දී එරට ස්ටර්ලිං පවුමේ අගය ද තවදුරටත් පහත වැටෙන්නට පටන් ගත්තේය. ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතනවලින් පවා මෙම තත්ත්වය ගැන පළ වූයේ යහපත් ප්‍රතිචාරයක් නොවේ.

කෙසේ හෝ වේවා, ලිස් ගේ මෙම යෝජනාවලට එරෙහිව දිගින් දිගටම විවේචන එල්ල වෙද්දී ඇය මෙම යෝජනා නැවත හකුලා ගැනීමට කටයුතු කළාය. එයින් සිදු වූයේ ඇය මත විශ්වාසය තබා සිටි පාර්ශ්ව තුළ වූ එම විශ්වාසය බිඳ වැටීමයි. ඒ සමගම ඇයගේ නායකත්වය සම්බන්ධයෙන් පක්‍ෂය තුළ ද ප්‍රශ්න මතුවන්නට විය. මේ අතර ඇය විසින්ම පත් කරන ලද මුදල් ඇමැතිවරයා වූ ක්වාසි ක්වාර්තෙන් එම ධුරයෙන් ඉවත් කිරීමට ඇය ගත් තීරණය ද බොහෝ දෙනාගේ විවේචනයට ලක් වූයේය. ඇයත්, ඇමැතිවරයාත් එක්ව තැනූ යෝජනා පිලිබඳ වගකීම ඇය මුදල් ඇමැතිවරයා මත පමණක් පැටවීමට උත්සාහ ගන්නා ආකාරයක් පෙනෙන්නට තිබිණි.

මේ ආකාරයෙන් එක පිට එක අවුල් සහගත සිදුවීම් සිදුවෙද්දී එයින් හානි සිදු වූයේ ලිස් ට්‍රස් ගේ නායකත්වයට පමණක් නොවේ. ඇය අයත් වන කොන්සර්වේටිව් පක්‍ෂය ද එයින් බැට කෑවේය. ජනතාව අතර පක්‍ෂය පිලිබඳ වූ විශ්වාසය තවදුරටත් බිඳ වැටෙන්නට විය. පසුගිය දිනවල පවත්වන ලද ජනමත සමීක්‍ෂණවලින් ද ඒ බව තහවුරු වූයේය. ලිස් ට්‍රස් නායකත්වයෙන් ඉවත් කර අලුත් නායකයකු පත් කර ගැනීමේ වුවමනාව කොන්සර්වේටිව් පක්‍ෂය තුළ මතු වූ අතර ඇයට ඉල්ලා අස්වන ලෙස විශාල වශයෙන් ඉල්ලීම් ඉදිරිපත් වන්නට පටන් ගත්තේය. අවසානයේ ඇය පක්‍ෂ නායකත්වයෙන් ද, අගමැති ධුරයෙන් ද ඉල්ලා අස්වන බව ප්‍රකාශ කළේ මෙම තත්ත්වය දුරදිග යාමේ ප්‍රතිඵලයක් ලෙසිනි. තමා අගමැති ධුරයෙන් ඉවත්වන බව මේ වනවිට ඇය චාල්ස් රජු වෙත ද දැනුම් දී තිබේ.

පවතින තත්ත්වය තුළ එරට ප්‍රධාන විරුද්ධ පක්‍ෂය වන කම්කරු පක්‍ෂයට වාසි සහගත පසුබිමක් නිර්මාණය වෙමින් තිබෙන ආකාරය දැකගත හැකි වේ. එහි නායකයා වන කීර් ස්ටාමර් ඉක්මනින් මහා මැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලීම් කරමින් සිටියි. එවැන්නක් පැවැත්වුවහොත් කම්කරු පක්‍ෂයට ජය හිමිකර ගැනීමට හැකි වනු ඇති බව දේශපාලන නිරීක්‍ෂකයන්ගේ අදහස වී තිබේ. එම තත්ත්වය වෙනස් කිරීම ඊළඟට කොන්සර්වේටිව් පක්‍ෂයේ නායකත්වයට සහ අගමැති ධුරයට පත්වන තැනැත්තාට විශාල අභියෝගයක් වනු ඇත.

දැන් කව්රුත් කුතුහලයෙන් යුතුව බලා සිටින්නේ මෙම තනතුරු සඳහා කව්රුන් පත්වනු ඇත්ද යන්න ගැන යි. මේ වනවිට නම් කිහිපයක් ගැන මාධ්‍ය තුළ සඳහන් වෙමින් ඇති අතර හිටපු මුදල් ඇමැතිවරයකු වන රිෂි සුනාක්, පෙනී මෝර්ඩෝන්ට්, වත්මන් ආරක්‍ෂක ඇමැති බෙන් වොලස්, විදේශ ඇමැති ජේම්ස් ක්ලෙවර්ලි ආදීන් මේ අතර වේ. හිටපු අගමැති බොරිස් ජොන්සන් ද මෙම තරගයට ඉදිරිපත් වීමට ඉඩ ඇති බව ඇතැම් මාධ්‍ය සඳහන් කර තිබිණි. ඒ සඳහා ඔහුට පක්‍ෂයේ ඇතැමුන්ගෙන් ඉල්ලීම් ඉදිරිපත් වෙමින් ඇති බව ද සඳහන් වේ.

මෙම තරගයට ඉදිරිපත් වන්නන් ලබන සඳුදා වනවිට නාම යෝජනා භාර දිය යුතු බවක් ද පක්ෂ නිලධාරීන් සඳහන් කර තිබේ.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර