කහින විටත්, කිවිසුම් යනවිටත් ඉබේම මුත්‍රා ස්වල්පයක් පිට වීම සමහර කාන්තාවන් අත්විඳින තත්වයකි. මෙය කාන්තාවන් අතර සුලබ ව දැකිය හැකි රෝග තත්ත්වයක් වන නිසාම ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ට මෙවැනි රෝගීන් බොහෝවිට හමු වේ. විශේෂයෙන් 90% කටත් වඩා මේ තත්වය ඇති වන්නේ ආර්තවහරණයෙන් පසු, එනම් ඔසප් චක්‍රය නතර වූ වැඩිහිටි කාන්තාවන් තුළ ය. මීට බලපාන ප්‍රබල හේතුවක් වන්නේ ගර්භාෂය පහත් වීම ය.
ආර්තවහරණයෙන් පසු කාන්තාවන් තුළ ඊස්ට්‍රජන් හෝර්මෝනය ඉතාමත් අඩු තත්වයකට පත්වේ. මේ හේතුව මත මාංශ පේෂීන් දුර්වල වීමක් සිදුවනු ඇත. මෙලෙස ඊස්ට්‍රජන් හෝමෝනය අඩු වීමත්, මාංශ පේශීන් දුර්වල වීමත් යන තත්ත්වයන් ගර්භාෂය පහත් වීම සඳහා බොහෝ විටම බලපානු ඇත.
කෙසේ වුවද ආර්තවහරණය සිදු වූ පමණින් සෑම කාන්තාවකගේම ගර්භාෂය පහත් වීමක් සිදුවේ යැයි සැලකිය යුතු නැත. එසේනම් මෙම අවදානම වැඩිපුර තිබෙන්නේ කවර තත්ත්වයක පසුවන කාන්තාවන්ට ද යන්න අපි දැන් සොයා බලමු.
* ස්වාභාවික ලෙස දරු ප්‍රසූතිය සිදු කළ මව්වරුන්ට
* දරුවන් කිහිප දෙනෙක් බිහි කළ මව්වරුන්ට
නමුත් මේ තත්ත්වයන් දෙකට අදාළ සෑම කාන්තාවකටම ගර්භාෂය පහත්වීමේ තත්ත්වයක් නියත වශයෙන්ම ඇති විය හැකි බවට ඔබ වරදවා වටහා ගත යුතු නොවේ. අප මේ පවසන්නේ එවැනි අයට අවදානමක් තිබිය හැකි බව පමණි.
* දරු ප්‍රසූතිය සිදු වීමේදී විවිධ සංකූලතා වලට මුහුණ දෙන්නට සිදුවූ මව්වරුන්ට
පසුකාලීනව මෙවැනි මවුවරුන්ට ගර්භාෂය පහත් වීමේ අවදානමක් ඇතැම් විට ඇති විය හැකිය.
* ඇදුම වැනි සෙම් රෝග නිසි ලෙස පාළනය නොකිරීම නිසා දිගුකාලීන කැස්ස පවතින කාන්තාවන්ට
එයට හේතුව එක දිගට දිගු කලක් කහින විට උදරය තුළ පීඩනය වැඩි වී උදරයේ මාංශපේෂි දුර්වල ස්ථාන වලින් උදරය තුළ තිබෙන දේවල් පිටතට පැමිණීමට හැකි වීමය. යෝනි මාර්ගයෙන් කුඩා ගෙඩියක් ආකාරයට ගර්භාෂය පිටත එන්නේ ඒ අයුරිනි.
* උපතින්ම ශ්‍රෝණිය අවට මාංශපේශි දුර්වල වූ කාන්තාවන්ට.
නමුත් මෙය ඉතාමත් කලාතුරකින් සිදුවන තත්ත්වයකි.
ගර්භාෂය ඉදිරියෙන් පිහිටා තිබෙන්නේ මුත්‍රාශය යි. ගර්භාෂයට පිටුපසින් අධෝ මාර්ගය පිහිටා තිබේ. ගර්භාෂය පහත් වන විට ඒ සමඟම අධෝ මාර්ගයේ කොටසක් ද යෝනි මාර්ගය තුළට නෙරා එන්නට ඉඩ ඇත. එහි ස්වභාවය බැලුමකට සමාන ය. මෙය පරීක්ෂා කරන වෛද්‍යවරයෙකුට පහසුවෙන් මේ තත්වය හඳුනා ගැනීමට හැකියාව ඇත .
ගර්භාෂය පහත් වීම නිසා රෝගියාට ඇතිවන ගැටලු අතර කිවිසුම් යනවිට, කහින විට මුත්‍රා ස්වල්පයක් පිටවීම මුල් කාලයේ දී දැකිය හැකි ලක්ෂණ ය.
කිවිසුම් යනවිට, කහින විට මෙන්ම බොහෝ වේලාවක් සිටගෙන සිටින විටත්, තටමන විටත් යෝනි මාර්ගය හරහා ගෙඩියක් මෙන් පිටතට එනු දැනීම, ලිංගික සබඳතා පැවැත්වීම අපහසු වීම, පිට කොන්දේ සහ තුනටියේ කැක්කුම, යෝනි මාර්ගය තුළින් කුඩා කොටසක් පිටතට පැමිණ තිබීම නිසා මුත්‍රා සහ මලපහ කිරීම අපහසු වීම ආදිය මේ තත්ත්වය තිබෙන රෝගියෙකුට පසුකාලීනව ඇතිවන ලක්ෂණ ලෙස දක්වන්නට පුළුවන.
මෙම රෝගයට ප්‍රතිකාර කිරීමේ දී මෙය සුළු පහත් වීමක් ද, නැතහොත් යෝනි මාර්ගය හරහා කොටසක් පිටතට පැමිණ තිබෙන්නේද යන්න සොයා බලා ඒ අනුව ප්‍රතිකාර නියම කළ යුතුය. මෙයින් තිබෙන අපහසුතා සහ ඒ තත්ත්වය රෝගියා හට වඩාත් කරදරකාරී ලෙස දැනෙන්නේ නම් සැත්කමක් කිරීමට සුදුසු වයසක රෝගියා පසු වන්නේද යන කරුණු පිළිබඳව වෛද්‍යවරයා විසින් සොයා බලනු ඇත.
රෝග තත්ත්වය තවම පවතින්නේ මුල්ම අදියරෙහි නම් ඊට අදාළ ව්‍යායාම ( pelvic floor exercise ) සිදු කළ යුතුය. මෙමගින් ගර්භාෂය අවට මාංශපේශි සවිමත් වේ. නමුත් මෙය මුල්ම කාලයේදී මිස රෝග තත්ත්වය වර්ධනය වී යෝනි මාර්ගයෙන් ගෙඩියක් මෙන් පිටතට පැමිණි පසු කිරීමෙන් ප්‍රතිඵලයක් ලැබීම අපහසු ය.
දෙවන ක්‍රමය ගර්භාෂය ඉස්සී සිටින පරිදි යෝනි මාර්ගය හරහා වළල්ලක් ( ring pessary ) දැමීමයි.
සැත්කමක් කිරීමට නොහැකි වියපත් අයට මෙන්ම සැත්කමක් කිරීමට අකමැති අයටත් මේ ක්‍රමය භාවිතා කෙරේ. නමුත් මෙය සීයට සීයක් සාර්ථක ක්‍රමයක් වන්නේ නැත.
අවසන් ප්රතිකර්මය නම් සැත්කමක් මගින් ගර්භාෂය ඉවත් කිරීමයි. එමඟින් මෙම ගැටලුව නිරාකරණය කර ගැනීමට පුළුවන.
බොහෝ කාන්තාවන් මෙම රෝග තත්ත්වය සඳහා ප්‍රතිකාරයක් කර ගැනීමට නොපෙළඹෙන්නේ ලජ්ජාව නිසා ය. නමුත් මෙය ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයකු හමුවී සුව කර ගත හැකි රෝග තත්ත්වයක් බැවින් ලජ්ජාව නිසා සඟවාගෙන පීඩා විඳිය යුතු නොවේ.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ
වෛද්‍ය ආර්. එන්. ජී. රාජපක්ෂ
ඉන්දු පෙරේරා