මේ දේශපාලනයෙන් රට ගොඩ ගන්න පුළුවන් නම් සබන් බෝල වලින් බෝල ගහන්නත් පුළුවන්

රාජපක්ෂ පවුල් දේශපාලන බලපෑම මුළුමනින් ඉවත් නොවූ පසුබිමක 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මේ වන විට පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් සම්මත වී තිබේ.ප්‍රථම ව්‍යස්ථාව සංශෝධනයක් නොවන බැවින් මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එක්වන්නේ 21 වැනි සංශෝධනය ලෙසිනි.කාරක සභා අවස්ථාවේ දී 22 වැනි සංශෝධනය 21 වැනි සංශෝධනය ලෙස හැඳින්වීමට යෝජනා කෙරුණු අතර ඊට සභාව එකඟවිය.22 වැනි සංශෝධනය දෙවැනි වර කියවීම සම්මත වූයේ වැඩි ඡන්ද 178කිනි. එහිදී 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්ද 179 ලැබුණු අතර විපක්ෂව ලැබුණේ එක් ඡන්දයක් පමණි.රියර් අද්මිරාල් සරත් වීරසේකර සංශෝධනයට විපක්ෂව ඡන්දය භාවිත කරනු ලැබීය.මන්ත්‍රීවරුන් 44 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සභාවට පැමිණ සිටියේ නැත.සමහරකු ඡන්දය විමසන අවස්ථාවේ රටේ වත් සිටියේ නැත.මෙම ව්‍යවස්ථා සංශෝධනය අප රට තුළ දී රාජපක්ෂ පරම්පරා සාටකය කර පළඳින ඇමරිකානු ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසියකු වන බැසිල් රාජපක්ෂගේ පාර්ලිමේන්තු හිමි කම් අහිමි කිරීම අරමුණු කර ගත් එකක් බව සමහරු කියති. “අද ආණ්ඩුව තුළ විශාල අර්බුදයක් තියෙනවා. වැදගත් සංශෝධනයක් ගේනකොට අද කීදෙනා ද පාර්ලිමේන්තුවේ ඉන්නේ, ආණ්ඩුවට 150 නැහැ. නමුත් අපි සහයෝගය දෙනවා. ඒ සහය දෙන්නේ ආණ්ඩුවට නෙමේ.රට බේර ගන්න සහයෝගය දෙනවා.” ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ දී අදහස් දැක්වූ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා කීය.ඔහු වැඩිදුරටත් කියා සිටියේ නව ව්‍යවස්ථාවක් සහ නව මැතිවරණ ක්‍රමයක් මෙරටට අවශ්‍ය බවයි.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය “ද්විත්ව පුරවැසියන් එපා.” යන්න බවත් ඔහු කීය. . 22 මේ අතර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කොන්දේසි තුනක් මත සහය ලබාදීමට සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.එම කොන්දේසි නම් ව්‍යවස්ථාදායක සභාවට සිවිල් සමාජයේ සාමාජිකයින් පත්කිරීමේදී අගමැති සහ විපක්ෂ නායකවරයාගේ එකඟතාවයෙන් තෝරා ගැනීම,ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු වීමේ තහංචිය එලෙසම පැවතීම පාර්ලිමේන්තුව වසර දෙක හමාරකින් විසිර වීමට ජනාධිපතිවරයා සතු බලය එලෙසම තබා ගැනීම යන්න ය. “ද්විත්ව පුරවැසි භාවය තහංචියේ නම් අංශු මාත්‍රයක වෙනසක් වෙන්න බැහැ. එකත් එක්ක සෙල්ලං දාන්න ආවොත් අපි විරුද්ධ වෙනවා.” විපක්ෂ නායක වරයා අවධාරණය කළේය.මෙම කරුණු වලින් පෙනී යන්නේ මෙම ව්‍යවස්ථා සංශෝධනය හා බැසිල් රාජපක්ෂ අතර සෘජු සබැඳියාවක් ඇති බවකි.මේ හේතුව නිසාම අද වන විට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ද කොටස් කීපයකට කැඩී වෙන්වී තිබේ.ඒ කැඩී බිඳී යාම මත සාගර කාරියවසම් ගේ සහ නාමල් රාජපක්ෂගේ වශයෙන් මන්ත්‍රී වරු කොටස් දෙකකට බෙදී සිටිති.සාගර කාරියවසම් ගේ පාර්ශ්වයට සනත් නිශාන්ත, ජයන්ත කැටගොඩ, රෝහිත අබේගුණවර්ධන, ගාමිණී ලොකුගේ යන මන්ත්‍රීවරුන් ඇතුළු 15 දෙනෙකු පමණ මේ වනවිට එක්ව සිටිති. බොහෝ දෙනා පවසන අන්දමට සාගර කාරියවසම් පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ නියෝජනය කරන අතර මෙම පිරිස බැසිල් බලයට ගෙන ඒමට කටයුතු කරමින් සිටිති.මීට අමතරව ජොන්ස්ටන් ප්‍රනාන්දු, කනක හේරත් මෙන්ම රාජ්‍ය අමාත්‍ය ධුර දරන සහ තරුණ මන්ත්‍රීන් පිරිසක් නවීන සමාජය හමුවේ විහිළුවක් වන රාජපක්ෂ පරම්පරා කර පටිය පළඳින නාමල් රාජපක්ෂ ගේ නායකත්වය යටතේ කටයුතු කරන බව වාර්තා වේ.කෙසේ වුවද මහින්දානන්ද අලුත්ගමගේ, එස්.බී. දිසානායක, බන්දුල ගුණවර්ධන, කෙහෙලිය රඹුක්වැල්ල, සුසිල් ප්‍රේමජයන්ත්, ප්‍රසන්න රණතුංග යන ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීන් පිරිසක් වෙන්ව කටයුතු කිරීමට මේ වනවිට පෙළඹී ඇති බවත්, ඒ අනුව ඉදිරියේදී ඔවුන් ජනාධිපති රනිල් රනිල් වික්‍රමසිංහ සමග එක්වීමට ඉඩ ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර තමන් සමඟ එකතුවිය හැකි සුළු පිරිසක් සමඟ හෝ පක්ෂය නැවත ගොඩනගන බවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු ලේකම් සාගර කාරියවසම් පවසනුයේ තම පක්ෂය කැබලි තුනකට කැඩුණු බව පිළිගනිමිනි. පක්ෂය එකමුතුව ඉන්නවා යැයි බොරු කීමට අවශ්‍ය නැති බවත් පොදුජන පෙරමුණ මේ වන විට කොටස් කිහිපයකට වෙන්වී ඇති බවත් පවසන සාගර කාරියවසම් තම අභිප්‍රාය පක්ෂයේ ප්‍රමුඛ ප්‍රතිපත්තිය වන ජාතික ආර්ථිකයක් ගොඩනැංවීම යන තේමාව යටතේ එකට එකතු විය හැකි සුළු හෝ පිරිසක් සමග පක්ෂය යළි ගොඩනැගීම බව කියයි.ඒ එහි නව නායකත්වය අනාගතයේ තීරණය වනු ඇති බව ද සඳහන් කරමිනි.එහෙත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු ජ්‍යෙෂ්ඨතමයන් පවසනුයේ සාගර කාරියවසම් යනු බැසිල් රාජපක්ෂගේ “දේශපාලන පිල්ලියක්” බවකි.
බැසිල් රාජපක්ෂ නිසා නොව ජනාධිපතිවරයා පත්කිරීම, ආණ්ඩු පක්ෂයේම අමාත්‍යවරයෙකු ගෙනෙන ව්‍යවස්ථා සංශෝධනයක් වීම ඇතුළු කරුණු ගණනාවක් මත විසි එක් වැනි සංශෝධනය පිළිබඳ ඒකීය මතයකට ඒමට පොදුජන පෙරමුණට නොහැකි වූ බවත් ඒ නිසා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට තම තමන්ගේ හෘදය සාක්ෂිය මත මෙම සංශෝධනය ගැන තීරණ ගැනීමට නිදහස දී තිබුණු බවත් සාගර කාරියවසම් “නෙක්ස් ටීවී” මාධ්‍ය ආයතනයට පවසා ඇත.නමුත් පසුගිය ඔක්තෝබර් 18 වන දා පැවති මාධ්‍ය හමුවක දී ඔහු කීවේ වෙනම කතාවකි.ඒ බැසිල් රාජපක්‍ෂට එරෙහිව ව්‍යවස්ථා සංශෝධන සිදු කිරීමෙන් විදේශවල සිටින බුද්ධිමතුන්ගේ සේවය මෙරටට ලබා ගැනීමට නොහැකි වන බැවින් 22 වන සංශෝධනයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විරුද්ධ බවකි.එක් පුද්ගලයෙකු, ආගමික කණ්ඩායමක් හෝ වෙනත් පටු අරමුණක් මූලික කරගනිමින් රටට ව්‍යවස්ථාවක් ගෙන එනවා නම් ඊට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විරුද්ධ බව ද ඔහු කීය.මේ සියලු කරුණු කාරණා වලින් වටහා ගත හැකි එක දෙයක් තිබේ.එනම් අප රටේ දේශපාලනය මේ වන විට එකම මඩ ගොහොරුවක් වී ඇති බවකි.එමෙන්ම මෙකී සෑම කෙනකු තුළම රටේ පොදු ජනතාව ඉලක්ක නොවූ අනේක විධ අභිලාෂයන් පවතින බව පැහැදිලි වෙයි.එවන් තත්වයන් තුළ අප රටේ බුද්ධිමත් ජනතාව දේශපාලන දාම් ලෑල්ලේ ඉත්තන් මාරුවන හැටි බලමින් තව කොපමණ කාලයක් ගත කරාවිද? යන්න සැකයක් අප තුළ තිබේ.අප රටේ බලය අත් පත් කර ගන්නා දේශපාලනඥයන්ගේ අදහස් සබන් පෙන බෝල මෙන් වහා වෙනස් වෙයි .ඒ අද වන විට බරපතල අගාධයකට වැටී ඇති රට ගොඩ ගැනීමට නොවේ.බල කාමය මත පදනම් වූ තම තමන් ගේ පෞද්ගලික අභිලාෂයන් මුදුන් පත් කර ගැනීම පිණිස ය,ඒ අනුව මේ දේශපාලනයෙන් රට ගොඩ ගත හැකි නම් සබන් බෝල වලිනුත් බෝල ගැසීමට හැකි විය යුතුය. දමයන්ති ගමගේ

එතෙර - මෙතෙර