ගෝඨාභය මහින්දානන්ද පාදෙණිය පැතිරවූ රාවණා උණ සුවපත් කරමින් ලංකාවට යූරියා පොහොර

rawans

අප රටේ බහුතරය එක්තරා අන්දමක උණ රෝගීහු වෙති.කිසියම් රටක ස්වදේශිකත්වය, ස්වාධිනත්වය වැදගත් වුවද අපේ රටේ බොහොමයකට එය ද උණ රෝගයක් විය.හුදෙක් දේශීය යනු විදේශයන්ගෙන් ලැබෙන සියළු දේ පිටු දැක රාවණ නම් වන කල්පිත චරිතය පරමාදර්ශී චරිතය පදනම් කොට රට සංවර්ධනය කිරීමය යන මායාකාරී උමතුව පසුගිය කාලය තුළ රට පුරා පැතිර ගිය බව පුදුමයක් නොවේ.මේ උමතුව කෙතරම් බියසුණු වීද යත් පසුගිය කොවිඩ් වසංගතයෙන් වටිනා මිනිස් ජීවිත දහසය දහසක් රටට අහිමි වන තුරුම මේ දෙශීයත්ව උන්මාදය මුල් කොට අප රටේ දේශපාලනඥයන් කොවිඩ් රෝගය සඳහා පැණි,දුම් මුට්ටි ආදී ගොඩ වෙදකම් වල පිහිට පැතූ බව අප කාටත් මතක ය.

අප රටේ පැවති මේ දේශීයත්ව උන්මාදයේ එක් රැල්ලක් වූයේ හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ අවිචාරවත් ලෙස දියත් කළ කාබනික පොහොර වහා රැල්ල ය.කෘෂි විද්‍යාව පිළිබඳ මළ පොතේ අකුරක් නොදැන කෘෂි විද්‍යාඥයන් කෘෂි විද්‍යාව නොදන්නා බව කීමට තරම් අඳ බාලයකු වූ වඉ අනුරුද්ධ පාදෙණිය ආදීන් විසින් රසායනික පොහොර භාවිතා කළ වගා අස්වැන්නේ වස විස ඇති බවට කළ විහිළු සහගත ප්‍රකාශය ජාතික මට්ටමට පැමිණීම මෙම උන්මාදයේ තීරණාත්මක සිදුවීමකි.එය මුල් කොට හිටපු ජනපති ගෝඨාභට රාජපක්ෂ අප රට තුළ රසායනික පොහොර සහ කෘෂි රසායනික එක් වරම තහනම් කිරීම මෙරට දේශපාලනයේ අදූරදර්ශීම පියවරකි. එමඟින් මෙරට කෘෂිකරමාන්තය මුළුමකින්ම බිඳ වැටුණි.ඒ පවත්නා යතාර්ථය මුළුමනින් පිටු දැක තමන්ගේ “කෙළ තොළු” වාග් ව්‍යවහාරය උපයෝගී කර ගනිමින් පාර්ලිමේන්න්තුවේ සේම මාධ්‍ය හමුවලත් කට කැත දොඩන්නට වූ මහින්දානන්ද අලුත්ගමගේ හිටපු කෘෂිකර්ම ඇමති වරයා මෙරට ගොවි ජනතාව අතරේ “තුහ් නොදකින්” තත්වයට පත් කරමිනි.

එහෙත්, අද වන විට එම ඊනියා දේශීයත්වය උණය; රාවණා උමතුව රටින් තුරන් වන අතරේ ශ්‍රී ලංකාව යනු අකනිටා බ්‍රහ්ම ලෝකයෙන් ප්‍රථිවි තලයට පතින වූවක් නොවන බවත් ලෝකයේ සෙසු රටවල් අතරේ තවත් එක් රටක් පමණක් යන්නත් කෙමෙන් සනාථවෙමින් තිබේ. ඒ අනුව 2022/23 මහ කන්නයේ වී වගාවට අවශ්‍ය යුරියා පොහොර මෙට්‍රික්ටොන් 13,000ක් රැගත් පළමු නෞකාව ඉකුත් (26) රාත්‍රී කොළඹ වරායට පැමිණි අතර පොහොර ගොඩබෑම අද (28) ආරම්භ කෙරිණි.. මෙම යුරියා පොහොර තොගය චීනයෙන් මෙරටට ගෙන්වන ලද්දකි.

මෙම පොහොර ගොඩබෑමේ කටයුතු නිරීක්ෂණය සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය මොහාන් ද සිල්වා හා අමාත්‍යාංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහත්වරු ද එක් ව සිටියහ.මෙහි දී අදහස් පළ කළ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටියේ ලෝක වෙළෙඳ පොළේ යුරියා පොහොර මිල ඉහළ ගියත් මෙවරත් පොහොර මිටියක් රුපියල් 10,000ක මුදලට ගොවීන්ට ලබා දෙන බවකි.පසුගිය යළ කන්නයේ දී ලබා දුන් යුරියා පොහොර මිටිවල නියමිත බර නැතැයි කියමින් සමහරු දොස් නැගූ බව කී අමාත්‍යවරයා මෙවර මාධ්‍ය ඉදිරියේ ම බර කිරා බැලූ බව ද අහඹු ලෙස පරීක්ෂා කළ හැම පොහොර මිටියකම කිලෝග්‍රෑම් 50ක බරින් යුත් යුරියා පොහොර තිබු බවද වැඩිදුරටත් සඳහන් කළේය.

යූරියා යනු අප රටේ කෘෂිකර්මයට නැතිවම බැරි පදාර්ථයකි.ලෝක බැංකුව විසින් මෙවර මහ කන්නයට අවශ්‍ය යුරියා පොහොර මිල දී ගැනිම සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 105ක මුදලක් ණය වශයෙන් ලබා දීමට පියවර ගෙන තිබේ.. මෙම ණය මුදල යටතේ මෙවර මහ කන්නයේ දී වී හා බඩ ඉරිඟු වගාවට අවශ්‍ය සම්පූර්ණ යුරියා පොහොර ප්‍රමාණය ලබා ගැනීමට කටයුතු යොදා ඇත. එමෙන්ම ප්‍රසම්පාදන කටයුතු විනිවිද භාවයෙන් පවත්වාගෙන යාම සඳහා ලෝක බැංකුවේ නියෝජිත පිරිස නිරන්තර අධීක්ෂණ කටයුතුවලට සහයෝගය ලබා දී තිබේ.. එම නිසා යුරියා පොහොර මිල දී ගැනීමේ දී කිසිදු අක්‍රමිකතාවයක් සිදු නොවීමට වග බලා ගැනීමට හැකි විය.මෙම පළමු යුරියා පොහොර තොගය මඩකලපුව හා අම්පාර හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල වී වගාව සඳහා පළමු, දෙවන හා තෙවන පොහොර යෙදීම සඳහා සම්පූර්ණ අවශ්‍යතාවයම එක්වර ලබා ගැනිමට හැකි වන පරිදි ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත ලබා දීමට කටයුතු යොදා තිබේ.මාස් කන්නයේ වී වගාව තවමත් රට පුරා ආරම්භ වී නැත.

වී වපුරා දින 14ක් තුළ යෙදිය යුතු පළමු යුරියා පොහොර යෙදුම සඳහා අවශ්‍ය යුරියා පොහොර ප්‍රමාණයන් මේ වන විටත් දිවයිනේ සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත යැවීමට පියවර ගෙන තිබේ.මේ අතර මහ කන්නය සඳහා අවශ්‍ය යුරියා පොහොර මිල දී ගැනීම සඳහා කැඳවන ලද දෙවන ටෙන්ඩරය අනුව මෙට්‍රික් ටොන් 120,000ක් රැගත් දෙවන නෞකාව නොවැම්බර් මස අවසන් සතිය තුළ මෙරටට ළඟා වීමට නියමිත බව පැවසෙයි. මෙවන් ත්ත්වයක් යටතේ දේශීයත්වය යනු ජාතික වශයෙන් අගය කළ යුතු සහ අවශ්‍ය ලෙස භාවිතා කළ යුතු සංකල්පයක් වුව ද ගෝඨාභය,මහින්දානන්ද,පාදෙණිය ආදීන් කේන්ද්‍ර කරගත් රාවණා කේන්ද්‍ර කර ගනිමින් රට පුරා පැතිර වූ ඊනියා දේශීයත්ව උණ සුව වීමේ ලක්ෂණ මේ වන විට පිළිබිඹු වීම තරමක් සතුටු දායක තත්වයකි.

දමයන්ති ගමගේ

එතෙර - මෙතෙර