ඇමරිකාවේ කතානායකවරිය නැන්සි පෙලෝසි ගේ සැමියාට දරුණු ප්‍රහාරයක්

nansi

ඇමරිකානු කොංග්‍රසයේ කතා නායකවරිය වන නැන්සි පෙලෝසි ගේ සැමියා පෝල් පෙලෝසි දැඩි ප්‍රහාරයකට ලක්ව ඇති බව වාර්තා වේ. මේ වනවිට 82 වැනි වියෙහි පසුවන පෝල් පෙලෝසි ට මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ කැලිෆෝනියා හි සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර පිහිටි ඔවුන්ගේ නිවසට කඩා වැදුණු පුද්ගලයෙකි. පෙලෝසි ගේ හිසට මිටියකින් පහර දී ඇති බවත්, ප්‍රහාරයෙන් ඔහුගේ හිස් කබල පුපුරා ඇති බවත් සඳහන් වේ. ඊට අමතරව ඔහුගේ අතකට ද බරපතල තුවාල සිදු වී ඇත. මේ වනවිට ඔහු සකර්බර්ග් සැන් ෆ්‍රැන්සිස්කෝ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර සැත්කමකට ද මුහුණ දී තිබිණි.

සිකුරාදා (28) අලුයම 2.30 ට පමණ මෙම ප්‍රහාරය එල්ල වන අවස්ථාව වනවිට නැන්සි පෙලෝසි එම නිවසේ සිට නැත. ඇය ඒ වනවිට වොෂින්ටන් නුවරට ගොස් සිටි බව මාධ්‍ය වාර්තා කර තිබිණි. සිද්ධිය සම්බන්ධයෙන් 42 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති බව ද වාර්තා වේ. ඒ මිනීමැරීමට තැත් කිරීමේ චෝදනාව මත ය.

මෙම සිද්ධිය සිදුව ඇත්තේ ඇමරිකානු කොංග්‍රසයේ නියෝජිත මන්ත්‍රණ සභාවට නියෝජිතයන් තේරීමේ මැතිවරණය පැවැත්වීමට දින කිහිපයක් තිබියදී වීම විශේෂත්වයකි. මෙහි දී ඉහත මන්ත්‍රණ සභාවේ ආසන 435 ක් සඳහා ඡන්ද විමසීම් පැවැත්වෙනු ඇත. එයින් අනතුරුව නව කතානායකවරයකු තෝරා ගැනීමට ද නියමිතව තිබේ. මෙම ඡන්ද විමසීම පැවැත්වෙන්නේ නොවැම්බර් 8 වැනි දින යි. වත්මන් කතා නායකවරියගේ සැමියාට එල්ල වූ ප්‍රහාරය සහ මෙම ඡන්ද විමසීම අතර සම්බන්ධයක් තිබෙනවාද යන්න කා තුළත් කුතුහලයක් ඇති කර තිබෙන කාරණයකි.

ප්‍රහාරකයා පැමිණ ඇත්තේ නැන්සි පෙලෝසි සොයාගෙන බවක් ද හෙලි වී තිබේ. ඔහු නිවසට ඇතුල්ව තිබුණේ නැන්සි හමුවීමට අවශ්‍ය බවක් පවසමිනි. ‘කෝ නැන්සි?’ යනුවෙන් ඔහු කෑ ගසා ඇති බව ද සඳහන් වේ. නැන්සි පැමිණෙන තුරු පෝල් ගැට ගසා තැබීමට ප්‍රහාරකයා උත්සාහ ගෙන ඇති බවක් ද පොලිස් ආරංචි මාර්ග පවසා තිබිණි.

ප්‍රහාරකයා කතානායකවරියගේ නිවසට ඇතුල් වී ඇත්තේ නිවසේ පිටුපස කොටසේ fදාරකිනි. එහි වීදුරුවක් බිඳී ඇති අන්දම ද ආරක්‍ෂ කැමරාවල සටහන්ව ඇත. ප්‍රහාරකයා පෝල්ට තර්ජනය කරද්දී ඔහු තමාට නාන කාමරයට යාමට අවශ්‍ය බවක් පවසා මොහොතකට එම ස්ථානයෙන් ඉවත්ව ගොස් පොලිස් හදිසි ඇමැතුම් අංශයට ඇමැතුමක් ගෙන තිබිණි. ආරක්‍ෂක නිලධාරීන් එහි පැමිණෙද්දීත් පෝල් සහ ප්‍රහාරකයා පොර බදමින් සිට ඇති බවක් ද මාධ්‍ය වාර්තා කර තිබේ.

නැන්සි පෙලෝසි ඇමරිකානු දේශපාලන ක්‍ෂේත්‍රයේ සිටින ප්‍රබල, එඩිතර මෙන්ම ආන්දෝලනාත්මක චරිතයකි. ඇය මේ වනවිට කිහිප වතාවක්ම එරට කතානායකවරිය ලෙස කටයුතු කර තිබේ. පසුගිය 2021 වසරේ ඇය එම ධුරයට පත් වූයේ සිව් වැනි වතාවට ය. මේ වනවිට ඇය රට පුරා යමින් ඩිමොක්‍රටික් පක්‍ෂයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල නිරත වෙමින් සිටියි.

ඇයගේ සැමියා පෝල් ව්‍යාපාරිකයෙකි. ඔහු සැන් ෆ්‍රැන්සිස්කෝහි ම උපන් කෙනෙකු වන අතර ව්‍යාපාරික කටයුතු කරන්නේ ද එහි ය. නැන්සි සහ පෝල් විවාහ වූයේ 1963 වසරේ යි. ඔවුන්ට දරුවෝ පස් දෙනෙක් සිටිති. පෝල්ගේ ව්‍යාපාර නිසා ඔවුන් ඉතා ධනවත් පවුලක් වන අතර නැන්සි එරට කොංග්‍රසයේ සිටින ධනවත්ම සාමාජිකාවකි.

සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර පිහිටි ඔවුන්ගේ නිවසට ප්‍රහාරයක් එල්ල වූ පළමු අවස්ථාව මෙය නොවේ. පසුගිය වසරේ ද ඊට ප්‍රහාරයක් එල්ල වූ අතර නිවසේ බිත්තිවල යම් යම් දේ ලියා තිබිණි.

ඩිමොක්‍රටික් පක්‍ෂයේ සාමාජිකාවක වන නැන්සි නිතර එරට රිපබ්ලිකන් පක්‍ෂයේ විවේචනයට ලක්වන කෙනෙකි. 2021 ජනවාරි මාසයේ ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ආධාරකරුවන් කොංග්‍රස් මණ්ඩල ගොඩනැගිල්ලට කඩා වැදී කළබල කළ අවස්ථාවේ ඔවුන් නැන්සි පෙලෝසිගේ කාර්යාලයට ද ඇතුල් වී විනාශයක් කර තිබිණි.
පෝල් පෙලෝසි මෙම වසර මුලදී ද මාධ්‍ය තුළ යම් අවධානයක් දිනා ගත්තේය. එයට හේතු වූයේ මත්පැන් පානය කර රිය පැදවීමේ සිද්ධියකි. ඊට වරදකරු වූ ඔහු දින පහක් සිරගතව ද සිටියේය.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර