“බුදු අම්මෝ චූන් පාන් වෑන් එකක් එනෝ” යන හැඟීමෙන් ජනතාව මුදා ගත යුතුයි

choon pan

පාන් ඇතුළු බේකරි නිෂ්පාදන වල මිල අඩු කිරීමට අවධානය යොමු වී ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන ඊයේ සදහන් කළේ ය.සභාපතිවරයා එහි දී කියා සිටියේ මාධ්‍ය වලින් පළ කරන මිලට පාන් පිටි බේකරි වලට නොලැබෙන බවකි.රුපියල් 320ක් පැවැති පාන් පිටි කිලෝවක මිල 298 ක් දක්වා අඩු වී ඇති බවත් ඒ අනුව බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීමට අවධානය යොමු වී ඇති බවත් සභාපතිවරයා තවදුරටත් සඳහන් කළේ ය.

එහෙත්, සංගමයක සභාපති වරයකු ලෙස මාධ්‍ය විවේචනය කරමින් මාධ්‍ය හමුවේ ම අදහස් ප්‍රකාශ කරන ඔහු සිය සංගමයේ සාමාජික සංඛ්‍යාව සහ ඔවුන් ගේ බේකරි පිළිබඳ ලේඛනයක් කිසිදා ඉදිරිපත් කොට නොමැති බව පවසන ඇතැම් බේකරි හිමියෝ අන් සියල්ලටම පළමු සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ බලය,ශක්තිය පිළිබඳ නිවැරදි වැටහීමක් ජනතාවට ලබා දිය යුතු බව කියති. මේ අතර ඉන්ධන මිල, බේකරි නිෂ්පාදන සඳහා භාවිතා කරන යෙදවුම්වල මිල විටින් විට ඉහළ යාම හේතුවෙන් පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල තීරණය කිරීම අපහසු වී ඇති බව බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන ඉකුත් වසර අවසානයේ කීය මේ නිසා බේකරි නිෂ්පාදනවල මිල තීරණය කිරීම සඳහා තම සංගමය තවදුරටත් මැදිහත් නොවන බව ද ඔහු කීය.
නමුදු පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ගණන් තීරණය කිරීමේ අධිකාරීගත බලයක් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය නමින් පෙනී සිටින බේකරි හිමියන් කිහිප දෙනකුට හෝ එහි සභාපති එන්. කේ. ජයවර්ධනට හිමි නොවන බව පවසන ඇතැම් බේකරි හිමියෝ පාන් ඇතුළු බේකරි නිෂ්පාදන සඳහා වන නිෂ්පාදන පිරිවැය ප්‍රදේශබදව වෙනස් වන අන්දම ද පෙන්වා දෙති.

ඔවුන් පවසනුයේ උදාහරණයක් ලෙස දැව සම්පත් බහුල ප්‍රදේශ වල බේකරි නිෂ්පාදන සඳහා වන ඉන්ධන පිරිවැය පහත වැටීම මත පාන් පිටි මිල යනු නිශ්පාදන පිරිවැය සම්බන්ධ එක් සාධකයක් පමණක් බව ය.එමෙන්ම නාගරික බේකරියක පාන් ගෙඩියක් නිපදවීම සඳහා වැය වන නිෂ්පාදන පිරිවැයට සාපේක්ෂව ගම්බද බේකරි වල ඒ සඳහා වැය වන පිරිවැය තරමක් අඩු බව ඔවුහු පෙන්වා දෙති.

අද වන විට පාන් ගෙඩියට නිශ්චිත මිලක් නැත.”පරණ මිලටම අලුත් පාන්”යනුවෙන් පුවරු සවි කර ගත් චූන් පාන් රථ මේ දිනවල කොතෙකුත් දක්වන ලැබේ.ඒ කරුණු ඇත්ත ය.එහෙත් මිල හා පාන් අළුත් වීම කෙසේ වුවත් ඒවායේ බර ප්‍රමාණය අනුව එක් අයකුට පාන් ගෙඩි දෙක තුනක්ම කා දමන්නට පුළුවන.මේ අතර අඩු බර පාන් අළෙවි කළ පුද්ගලයින් 100 දෙනෙකුට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නීතිමය පියවර ගෙන තිබේ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති ශාන්ත නිරිඇල්ල පැවසුවේ, අඩු බර පාන් අළෙවි කරන පුද්ගලයින් සොයා දීප ව්‍යාප්තව අඛණ්ඩ මෙහෙයුම් කරන බවයි.

අච්චු පාන් රාත්තලක බර ග්‍රෑම් 450 ක් වන අතර එකී නියමිත බර නොමැතිව පාන් අලෙවි කරන තනි ව්‍යාපාරයක හිමිකරුවකුට රුපියල් 1,000 සිට 10,000 දක්වා දඩයක් නියම කරන බවත් එවැනි සමාගමක් සඳහා රුපියල් 10,000 සිට 100,000 දක්වා ද දඩ මුදලක් අය කළ හැකි බවත් ඔහු පවසයි. වැඩි මිලට පාන් අළෙවි කරන සහ ඒ සම්බන්ධ ගැටලු 1977 ක්ෂණික දුරකථන අංකයට දැනුම් දෙන්නැයි, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ජනතාවට දැනුම් දෙයි. නමුදු මේ වන විට රට පුරා පවතින දරුණු ආර්ථික අර්බුදය හේතුවෙන් ඇතැම් සුළු ,මධ්‍යම සේම මහා පරිමාන ව්‍යාපාර සහ කර්මාන්ත හිමියෝ අයුතු ලාභ මඟින් තම ව්‍යාපාර ගොඩ නංවා ගැනීමට මාන බලති.සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති වර්යා පසුගිය කාලයේ කියා සිටියේ රට පුරා ඇති හත් දහසක් පමණ වන බේකරි වලින් හරි අඩකම වැසී යමින් පවතින බව ය.

එහෙත්, අද වන විට ඒ වැසුණු බේකරි බොහොමයක් යළි විවෘත වෙමින් පවතින බව ඔහු කීවේ නැත.නමුදු අද වන විට පාන් ගෙඩියේ සිට මිල අධික කේක් වර්ග වල දක්වා මිල ගණන් අසීමාන්තිකව ඉහළ නැඟීම මත ජනතාව පාන් පිටි නිෂ්පාදන වලින් යම් තරමකට දුරස් වෙමින් සිටිති..සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති වරයාගේ නියාමනයන් හා අර්ථ දැක්වීම් හා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති වරයාගේ අනතුරු හැඟවීම් අතරේ වුව තාමත් “බුදු අම්මෝ,චූන් පාන් වෑන් එකක් එනෝ”යන තවමත් ජනතාව තුළ පවතින බියකරු හැඟීමෙන් ඔවුන් මුදා ගත හැකි සහනශීලී මිලක් බේකරි නිෂ්පාදනයන් සඳහා ලබා දීම ඉහත සඳහන් සැමගේ පොදු වගකීමකි.

දමයන්ති ගමගේ

එතෙර - මෙතෙර