ලෝක ආගමික ශාස්තෘ වරුන්ගේ දේශනා අතර නොයෙක් විෂමතා තිබේ.එහෙත්, සියළු ආගමික ශාස්තෘ වරුන් එක සේ අනුමත කරන ආගමික වත් පිළිවෙතක් නම් දානයයි.නමුදු දානය යනු හුදු ආගමික සන්දර්භයකින් යුතු වූවක් ද නොවේ.ආගම් නොඅදහන නිරාගමිකයෝ ද දන් දෙති.දානය යනු අප ජන සංස්කෘතියට ද කෙසේවත් නුහුරු නුපුරුදු දෙයක් නොවේ. බොදු සම්ප්රදායනට අනුව දාන අතුරින් බුද්ධාදී මහෝත්මයන් ප්රමුඛ මහා සංඝරත්නය විෂයෙහි දෙන සාංඝික දානය ප්‍රධාන ය. ඊට අමතරව බෞද්ධ නොවන ජන කොටස් පවා මළවුන් සිහිකොට සහ වෙනයම් සංසිද්ධීන් මුල් කොට දුගී, මගී යාචකාදීන් විෂයෙහි ආහාරපාන ආදිය ලබා දෙන අතර මෙම දාන විෂය සුනඛයන් සහ කපුටන් උදෙසා දෙන බලු කපුටු දාන දක්වාම පැතිර පවතී.නමුදු මේ සියලු දානමාන අතුරින් දේව දානය නම් වන විශේෂිත දානමය කටයුත්තක් ද තිබේ. මෙහි දී දේව දානය වශයෙන් හැඳින්වෙනුයේ එම දෙවිවරුන් උදෙසා පිරිනැමෙන දානය නොවේ. එම දෙවිවරුන්ගේ පිහිටාරක්ෂාව ලබා ගැනීම පිණිස තමන් ජීවත් වන සමාජයේ පිරිස් වෙත ලබා දෙන දානයයි.
සමහරෙක් මෙම දේව දානය සහ දෙවිවරුන් උදෙසා පුදනු ලබන මුරුතැන් පූජාව එකිනෙකට පටලවා ගනිති. මුරුතැන් පූජාව යනු හුදෙක් දානයක් නොවේ. එහි මුරුතැන් යන්න දිව්‍යමය ආහාර හැඳින්වීම පිණිස යොදනු ලබන ‘අමෘත’ යන්නෙන් බිඳී ආ වදනකි.
මුරුතැන් යනු දෙවියන්ට පමණක් කැප වූ, දෙවියන්ටම සරිලන ආහාරයක් තනා පූජා කරනු මිස අප විසින් සකසා ගත් අපගේ ආහාරයක් දානමය වශයෙන් දෙවියන්ට පිදීමක් නොවේ. එමෙන්ම මෙම මුරුතැන් පූජා කෝවිල්, දේවාල ආදිය තුළ පමණක් සිදු කෙරෙන අතර ඒ සඳහා කැප වූ මුරුතැන් රාල නම් වෙනම නිලයක් ද ඇතැම් දේවාලවල තිබේ. එමෙන්ම ඇතැම් ප්‍රාදේශීය දෙවිවරුන් උදෙසා පුදනු ලබන ආහාර පූජාව ‘අඩුක්කුව’ නමින් ද හඳුන්වනු ලැබේ. තෑගි වශයෙන් සකස් කරන ලද ආහාරය උසස් පුද්ගලයන් සඳහා සපයන ආහාරය හැඳින්වෙන අඩුක්කුව නම් වදනට මහනුවර යුගයට වඩා පැරණි ඉතිහාසයක් නොමැති බව පෙනී යයි. එනිසා මෙම අඩුක්කුවලින් පිදුම් ගන්නා දෙවිවරුන් මෑතකාලීනව ජන සම්මතයට පැමිණි උප දේවතාවන් බව පෙනෙයි. ඒ අතර ලග්ගල ප්‍රදේශයේ පිදුම් ලබන ‘අඩුක්කු ගන්න උන්නැහේ’ නම් ප්‍රාදේශීය දෙවිවරු විශේෂ තැනක් ගනී. අපගේ විමසීම් අනුව මෙතුමා අතීතයේ එම ප්‍රදේශයේ විසූ ජන ප්‍රධානියෙකි.
නමුදු මෙම මුරුතැන් පූජා සහ අඩුක්කු ගණයට අයත් නොවන දෙවිවරුන් උදෙසා මිනිසුන් විෂයෙහි ලබන දාන අතුරින් කිරි අම්මලාගේ දානයට විශේෂ තැනක් හිමි වෙයි. අතීතයේ සිට අප රටේ පැවැති කිරි අම්මා දෙවිවරු සංකල්පයට කෝට්ටේ රාජධානි යුගයෙන් පසුව එකතු වූ පත්තිනි දේව සංකල්පය මෙම කිරි අම්මාවරුන්ගේ දානය සම්බන්ධයෙන් එකට මුසු වී ඇති බවක් හැඟෙයි. දරුවන් ලද, දරුවන්ට කිරි පෙවූ මව්වරුන් සත් දෙනකු උදෙසා අලුයම් යාමයේ දෙනු ලබන කිරිබත් සහ රසකැවිලි මුසු දානය මෙනමින් හැඳින්වෙන අතර මෙම දානය ප්‍රාදේශීය වශයෙන් වෙනස්කම් බොහොමයකට ලක් වූ දානයකි. මේ කිරි අම්මාවරුන්ගේ දානයට අමතර දෙවියන් සතුටු කිරීම පිණිස හෝ දෙවියන්ට වූ බාරහාර ඔප්පු කිරීම පිණිස දෙනු ලබන විවිධාකාරයේ දේව දාන පවතී.
අපගේ පෞද්ගලික පිළිගැනීම අනුව මෙම දේව දානය හින්දූන් අතරේ පවතින අන්නාදානම් හෙවත් අන්නාතානම් යන දාන සංකල්පයට අනුරූප වූවකි. මෙහි දී මෙම දේවදාන සම්බන්ධ පොදු සේම ඒකීය ලක්ෂණ ද දක්නට ලැබේ.
බත් සහ මාළුපිණි, රසකැවිලි, පලතුරු, අතුරුපස ආදියෙන් යුතුව පොදුවේ සැමට ලබා දෙන මෙම දේව දාන බොහොමයක දී පුරුෂ සහභාගිත්වය ප්රමුඛ තැනක් ගනී. එම දානය පිසීම, බෙදීම සේම මූලිකව ආහාරයට ගැනීම ද පුරුෂ පක්ෂය විසින් කළ යුතු බවට පිළිගැනීමක් තිබේ. එමෙන්ම එම දානමය කටයුතුවලට කාන්තාවන් සම්බන්ධ වන්නේ නම් ඔවුන් ආර්ථවහරණයට ලක් වූ නොඑසේ නම් ඔසප් සමය නිමා වූ කතුන් විය යුතු බවට නියමයක් පැවතීම මත මෙම දානමය කටයුතුවල දී නව යොවුන් තරුණ හා මැදිවියේ කාන්තාවන් මූලික කොට නොගැනීමට ඔවුන්ගේ ‘කිලි ප්රශ්නය’ බලපා ඇති බව පෙනෙයි. ඒ අනුව පෙනී යන්නේ මෙය බ්‍රාහ්මණ පුරුෂාධිපත්‍යයෙන් යුතු හින්දු සමාජීය චාරිත්‍රයක් බව ය.
මෙම දේව දාන වශයෙන් අපට වුවමනා දේ වුවමනා අයුරින් පිස අප කැමැති අය අතරේ බෙදා හැරීමට නොපුළුවන. මන්දයත් ඒ සඳහා කැප අකැප දේ නම් කරන නියමයක් පවතින බැවිනි.
මේ වන විට ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම ප්‍රාදේශීය දෙවියන් වශයෙන් නම් කළ හැකි රන්වල දෙවියන් සිහිකොට දෙනු ලබන දේව දානයට මස් වර්ග, පුහුල්, අළු කෙසෙල් ආදිය අකැප බවත් කරවල, වට්ටක්කා සහ අච්චාරු වැඩි වශයෙන් යොදා ගත හැකි බවත් මෙම දානය පිසීම පිරිමින්ගේ සහභාගිත්වයෙන් පමණක් සිදුවිය යුත්තක් බවත් ආර්.ඒ. පියදාස මහතා ලියූ රංවල දෙවියෝ (2001) කෘතියෙහි සඳහන් ය. එමෙන්ම මෙම දේව දානවල පවත්නා තවත් එක් විශේෂත්වයක් වනුයේ මෙය දෙනු ලබන්නාට සේම අනුභව කරන්නාට ද එක සේ පින් ලැබෙන බවත් ජනතාව පිළිගැනීම ය.
මේවා ඉවීමේ දී පිළිගැන්වීමේ දී සේම අනුභව කිරීමේ දී පිළිපැදිය යුතු වත් පිළිවෙත් කිහිපයක් හඳුන්වා දී තිබේ. ඒ අතුරින් බිම වාඩි වී කෙසෙල් කොළයක් මතට බෙදා ආහාර අනුභව කිරීම, එම කෙසෙල් කොළය මතට බෙදූ ආහාර කිසිවක් ඉතිරි නොකිරීම, යම් හෙයකින් එසේ ආහාර ඉතුරු වුවහොත් ඒවා සතෙකුට හෝ ආහාර පිණිස දැමීම ඒ අතුරින් ප්‍රධාන කොට ගත හැකි චාරිත්‍ර කිහිපයකි.එමෙන්ම මෙම දානය ආහාරයට ගැනීමේ දී සුරතේ ඇඟිලි වල තැවරුණහොත් ඒවා ලෙව කෑමේ සිරිතක් ද ඇතැම් දේව දාන සම්බන්ධයෙන් තිබේ.සාමාන්‍යයෙන් මෙම දේව දාන සඳහා දිය මස්,ගොඩමස් හෝ පුළුටු යොදා නොගනිති. ඒ ඒවා යකුන් ගේ ප්‍රියතම ආහාර ලෙස සැලකෙන බැවිනි.එහෙත් ඇතැම් හින්දු ආගමික චාරිත්‍ර අනුව දෙවියන් උදෙසා බිලි දෙන සතුන් ගේ මාංශ දේව දාන සඳහා ද යොදා ගැනෙයි.එහෙත්, අප රටේ දෙමළ ජාතිකයන් වැඩිම පිරිසක් අදහන ශිව ආගමේ මෙම චාරිත්‍රය නොමැති බවත් ඔවුන් සත්ව ඝාතන පිළිකුල් කරන බවත් කිව යුතුමය.
තිලක් සේනාසිංහ