බළලුන් තමන්ගේ සීමාවන් ලකුණු කරන්නේ කොහොමද?

balalun

සුරතල් සතකු ඇති කිරීම තනිකම, මානසික ආතතිය වැනි දේවල් දුරුකර ගැනීමට මහඟු පිටිවහලක්. ඔබ, ඔබ වැනිම මනුෂ්‍යයකු ඇසුරු කිරීමේදී බොහෝ සිත් වේදනාවන්ට කලකිරීම්වලට ලක් වීම නිරන්තරයෙන් සිදු විය හැකියි. ඇතැම්විට මේ කලකිරීම ජීවිතය එපා වීම දක්වාම දුර දිග යාමටත් අවස්ථාව තිබෙනවා. නමුත් ඔබ ඇති දැඩි කරන සුරතල් සතා නිසා ඔබට එවැනි තත්ත්වයක් ඇති වන්නේ නෑ. මිනිසුන්ගේ ආදරය කලින් කලට විවිධ පුද්ගලයන් සම්බන්ධයෙන් වෙනස් විය හැකි වුවත් සුරතල් සතකු තමන්ගේ හාම්පුතාට දක්වන ආදරය ඔවුන්ගේ පණ තියෙන තුරුම එලෙසින්ම පවතිනවා.

සතුන් ඇති දැඩි කිරීමේදී ඔවුන්ගේ හැසිරීම් රටාව පිළිබඳ අවබෝධයක් ඇති කර ගැනීම ඉතාමත් වැදගත්. අද අපි කතා කරන්නේ නිරන්තරයෙන් ඔබ ළඟ ගැවසෙමින් ඔබේ සිරුරේ ඇතිල්ලෙමින් ජීවත් වීමට ප්‍රිය කරන බළලා ගේ බොහොම ප්‍රකට හැසිරීම් රටාවක් වන සීමාවන් ලකුණු කිරීම පිළිබඳවයි.

බළලා හැමවිටම තමන් ජීවත් වන ප්‍රදේශයේ සීමාවන් ලකුණු කිරීමට වග බලා ගන්නවා. මෙහිදී ප්‍රදේශය වශයෙන් අදහස් කරන්නේ බළලා ජීවත් වන නිවස සහ මිදුල අවට යි. බළල් ගැහැනු සතුන්ගේ මෙන්ම පිරිමි සතුන්ගේ ද නළල දෙපැත්තේ, කම්මුල්වල, නිකට සහ කකුල් වල පතුලේ සුවඳ ග්‍රන්ථි පිහිටා තිබෙනවා. මෙම ග්‍රන්ථි මගින් ෆෙරමෝන්ස් (pheromones) නම් රසායනිකයක් නිකුත් වෙනවා. බළලා තමන්ගේ සීමාවන් ලකුණු කර ගන්නේ මෙම රසායනිකය උපයෝගී කර ගෙනයි. ඔබ කොතැනක හෝ සිටගෙන නැතහොත් වාඩි වී ආදී ඕනෑම ආකාරයකින් සිටින විට බළලා පැමිණ ඔබේ පයේ උගේ නළල දෙපැත්ත, නිකට අතුල්ලන හැටි ඔබට මතකද ? මෙලෙස ඇතිල්ලීමෙන් ඌ ඔබව ද උගේ මායිමක් ලෙස ලකුණු කරගන්නවා. මෙසේ ඔබේ සිරුරේ බළලාගේ සුවඳ ග්‍රන්ථියෙන් නිකුත් වන රසායනිකය ඇතිල්ලුනාට එහි වෙනසක් හෝ අමුතු ගන්ධයක් ඔබට දැනෙන්නෙ නෑ. නමුත් බළලුන්ට මෙය හඳුනා ගන්න පුළුවන්.

මේ අයුරින් තමන්ගේ සීමාවන් සලකුණු කර ගැනීමට විශේෂයෙන් පිරිමි සතුන් කරන තවත් දෙයක් තමයි යම් තැනක් හොඳින් ඉව කර ඉන්පසුව වලිගය ඔසවා දෙතුන් වරක් වලිගය ගස්සමින් මුත්‍රා ස්වල්පයක් කිරීම. මෙහිදී බළලා, තමන්ට මුත්‍රා පිට කිරීමේ අවශ්‍යතාව දැනුනු විට පිට කරන මුත්‍රා ප්‍රමාණය මෙන් නොව ඉතා ස්වල්පයක් තමයි පිට කරන්නේ. එය මිදුලේ තිබෙන යමකට, නැතහොත් ඔබේ වාහනයට ඒත් නැත්තම් ගෙතුළ පුටුවකට, මේස කකුලකට හෝ දොර රෙද්දක් වැනි දෙයකට වුවද විය හැකියි.මෙසේ මුත්‍රා පිට කිරීම තුළින් ඔවුන් තමන්ගේ සීමාවන් ලකුණු කරගන්නවා.මුත්‍රා පිට කිරීම තුළින් සීමාවන් ලකුණු කිරීම සුනඛ පිරිමි සතුන්ගේ ද ලක්ෂණයක්.
බළලුන්ගේ ඔබ ප්‍රිය නොකරන සහ ඔබ තුළ දැඩි කේන්තියක් ඇති කරවන ලක්ෂණයක් තමයි ඔබේ නිවසේ තිබෙන ගෘහ භාණ්ඩ ඇතුලු ඕනෑම තද පෘෂ්ඨයක් උගේ ඉදිරි කකුල්වල නියපොතු මගින් සීරීම. එමගින් ද බළලා කරන්නේ උගේ යටිපතුල්වලින් නිකුත් වන රසායනිකය එම පෘෂ්ඨය මත තවරමින් උගේ සීමාවන් ලකුණු කිරීමයි.
සාමාන්‍යයෙන් බළලා තමන් ජීවත් වන නිවස සහ එම මිදුල අවට මෙලෙස සීමාවන් ලකුණු කරන්නේ ආගන්තුක බළලුන් පැමිණියහොත් අඟවන්නටයි. ඒ නිසා ආගන්තුක බළලෙකු මෙසේ තවත් බළලෙකු ගේ සීමාවකට ඇතුළු වෙන්නේ වටපිට බලමින්, බොහොම සුපරික්ෂාකාරීව ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්නට බලාගෙනයි.

මෙලෙස එක් බළලෙකුගේ සීමාවකට තවත් බළලකු පැමිණියහොත් අනිවාර්යෙන්ම ඔවුන් අතර ගැටුමක් ඇතිවෙනවා. ගැහැනු පිරිමි දෙගොල්ලන්ටම එය පොදුයි. ඒ වගේම එවැනි ආගන්තුක බළලුන් සමඟ ඔවුන් හැමදාමත් ඒ අමනාපකම් එලෙසම තබාගෙන සිටිනවා. කල්ගත වන විට මිත්‍රශීලීවීමක් ඔවුන් අතර සිදුවන්නේ නෑ. එනිසා තමන්ගේ සතුරකු ලෙසින් සලකන එවැනි බළලෙකු දකින ඕනෑම මොහොතක එළවාගෙන ගොස් දබරයට පැටලීම බළලුන්ගේ සාමාන්‍ය ලක්ෂණයක්. විශේෂයෙන් පිරිමි සතුන් තමන්ගේ සීමාවට වෙනත් ආගන්තුක බළල් පිරිමි සතෙකු එනවාට කොහෙත්ම කැමැති වන්නේ නෑ. තමන්ගේ සීමාව තුළ සිටින බළල් ගැහැනු සතෙකුට වෙනත් ආගන්තුක බළල් පිරිමි සතෙක් ළංවෙනවාටත් බළලුන් දැඩිව විරුද්ධයි. මේ නිසා පිරිමි සතුන් අතර කොහොමත් ගැටුම් පොරකෑම් ඉතාමත් ම වැඩියි. ගැහැනු සතුන්ගේ ප්‍රජනන කාලයට මෙය ඉතාමත්ම ප්‍රබල ලෙස දකින්න පුළුවන්. ඒ කාලවලදී බළල් පිරිමි සතුන්, එම ප්‍රදේශයට පැමිණෙන වෙනත් ආගන්තුක බළල් පිරිමි සතුන් සමග දැඩි ලෙස පොර කා ගනිමින් තුවාල කර ගැනීම බොහෝ විට දැකිය හැකි දෙයක්. පිරිමි සතුන්ට වඳ සැත්කම කළොත් මේ තත්ත්වය බොහෝ දුරට අඩු වෙනවා.

පශු වෛද්‍ය ඉසුරු අංජුල පෙරේරා

ඉන්දු පෙරේරා

සතුන්ටත් හිමි අපේ ලෝකය