ලොව පුරා ක්‍රීඩා ලෝලීන් නොඉවසිල්ලෙන් බලා සිටින තවත් සුවිශේෂි තරගාවලියක් තව නොබෝ දිනකින් ආරම්භ වීමට නියමිතව තිබේ. ඒ පාපන්දු ලෝක කුසලාන තරගාවලිය යි.
මෙවර පැවැත්වෙන්නේ 22 වැනි පාපන්දු ලෝක කුසලාන තරගාවලිය වන අතර එහි සත්කාරක රට වන්නේ කටාර් රාජ්‍යය යි. නොවැම්බර් 20 වැනි දින ආරම්භ වන මෙම තරගාවලිය දෙසැම්බර් 18 වැනි දින දක්වා පැවැත්වෙනු ඇත. ලෝකයේ පාපන්දු කණ්ඩායම් 32 ක් මෙවර ද ලෝක කුසලානය වෙනුවෙන් තරග වදියි. ඔවුහු පළමු වටයේ දී A සිට H දක්වා වන කාණ්ඩ 8 ක් යටතේ තරග වදිනු ඇත.
එම කණ්ඩායම් සහ ඔවුන් අයත් වන කාණ්ඩ මෙසේය:
A කාණ්ඩය
කටාර් |
B කාණ්ඩය
එංගලන්තය |
C කාණ්ඩය
ආර්ජන්ටිනාව |
D කාණ්ඩය
ප්‍රංශය |
E කාණ්ඩය
ස්පාඤ්ඤය |
F කාණ්ඩය
බෙල්ජියම |
G කාණ්ඩය
බ්‍රසීලය |
H කාණ්ඩය
පෘතුගාලය |
මෙවර තරගාවලියේ විශේෂත්වයන් කිහිපයක් දැකිය හැකි වේ. එකක් නම් අරාබි රටක පාපන්දු ලෝක කුසලාන තරගාවලියක් පැවැත්වෙන පළමු වතාව මෙය වීම යි. එමෙන්ම සමස්ත ආසියානු කලාපය තුළ මෙවැනි තරගාවලියක් පැවැත්වෙන්නේ දෙවැනි වතාවට ය. මෙයට පෙර මෙම කලාපයේ තරගාවලියක් පැවැත්වුණේ 2002 වසරේ යි. එවර සත්කාරක රටවල් වූයේ දකුණු කොරියාව සහ ජපානය යි.
මේ දක්වා මෙම තරගාවලියේ මුල් වටය සඳහා කණ්ඩායම් 32 ක් සහභාගි කර ගැනිණි. එම ක්‍රමයට පැවැත්වෙන අවසන් තරගාවලිය මෙය වනු ඇති බව ද පැවසේ. 2026 සිට මෙම සංඛ්‍යාව වැඩි කෙරෙනු ඇති අතර කණ්ඩායම් 48 ක් සහභාගි කර ගනු ඇත. 2026 වසරේ ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන්නේ ඇමරිකාව, මෙක්සිකෝව සහ කැනඩාව යන රටවල යි.
මෙවර තරගාවලිය පැවැත්වෙන කාලය ද විශේෂත්වයක් ගනියි. මෙයට පෙර බොහෝ අවස්ථාවල ලෝක කුසලාන තරගාවලිය පැවැත්වුණේ මැයි-ජුනි-ජුලි මාසවල ය. නොවැම්බර්- දෙසැම්බර් කාලයේ, එනම් උතුරු අර්ධගෝලයේ සරත් සෘතුවේ තරගාවලිය පැවැත්වෙන්නේ පළමු වතාවට යි. මෙම කාලය තෝරා ගෙන ඇත්තේ වෙනත් කාලවල කටාර් හි දැඩි උෂ්ණත්වයක් පවතින බැවිනි.
2022 ලෝක කුසලාන තරගාවලියේ සමාරම්භක උත්සවය සහ පළමු තරගය පැවැත්වීමට නියමිතව තිබෙන්නේ කටාර් රාජ්‍යයේ අගනුවර වන දෝහා හි පිහිටි එල් බෙයිත් ක්‍රීඩාංගනයේ ය. එම තරගය පැවැත්වෙන්නේ සත්කාරක රට වන කටාර් සහ ඉක්වදෝරය අතර යි. අවසන් මහා තරගය පැවැත්වෙන දෙසැම්බර් 18 කටාර් හි ජාතික දිනය වීම ද තවත් විශේෂත්වයකි.
2018 වසරේ පැවැති තරගාවලියේ දී ජයග්‍රාහකයන් වෙමින් ලෝක කුසලානය දිනාගත්තේ ප්‍රංශය යි. එවර අවසන් මහා තරගයේ දී ඔවුන් සමග තරග වැදුණේ ක්‍රොඒෂියාව ය. මෙයට පෙර පැවැත්වුණු ලෝක කුසලාන තරගාවලි හතරේදී ම කුසලානය දිනාගත්තේ යුරෝපීය කණ්ඩායම් ය. 2006 වසරේ ඉතාලිය එම කුසලානය දිනාගත් අතර 2010 වසරේ ජයග්‍රාහකයන් වූයේ ස්පාඤ්ඤය යි. 2014 වසරේ ජර්මනිය ලෝක කුසලානය දිනා ගත්තේය. මෙවරත් යුරෝපයේ කණ්ඩායමක් ජයග්‍රහණය කරනු ඇත් ද යන්න සම්බන්ධයෙන් බොහෝ පාපන්දු ලෝලීන් ගේ කුතුහලය යොමුව ඇති බව පෙනේ. නමුත් පාපන්දු විශේෂඥයන් වැඩි දෙනෙකු ගේ අදහස වී ඇත්තේ බ්‍රසීලය හෝ ආර්ජන්ටිනාව ජයගනු ඇති බවය. තියාගො සිල්වා බ්‍රසීල කණ්ඩායමේ නායකත්වය දරණ අතර ආජන්ටිනා කණ්ඩායමේ නායකයා වන්නේ ලියනෙල් මෙසී ය. යුරෝපයෙන් පිට කණ්ඩායමක් ලෝක කුසලානය දිනාගත් අවසන් වසර වූ 2002 වසරේ ජයග්‍රාහකයන් වූයේ ද බ්‍රසීලය යි.
ලෝක කුසලාන තරගාවලි ඉතිහාසය තුළ වැඩිම වාර ගණනක් කුසලානය දිනාගත් කණ්ඩායම ද බ්‍රසීලය ය. ඔවුන් පස්වතාවක් ලෝක ශූරයන් වී තිබේ. ඒ, 1958, 1962, 1970, 1994 සහ 2002 යන වසරවල යි. වැඩිම වාර ගණනක් අවසන් මහා තරගයට පැමිණ ඇත්තේ ජර්මනිය යි. ඔවුන් 8 වතාවක් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා තිබිණි.
නිහාල් පීරිස්