මීට අවුරුදු හතලිහකට, පනහකට පෙර පොලිස් පහර දීම් පිළිබඳව බහුලව අසන්නට ලැබිණ. නාගරික ඉහළ මධ්‍යම පාන්තිකයන් තරම් සවිමත් සමාජ, ආර්ථික වටපිටාවක් නොමැති ගැමියෝ විවිධ කරුණු මුල් කර ගනිමින් මෙලෙස අමානුෂික පොලිස් පහරකෑම් වලට ලක් වූහ. වර්තමානයට සාපේක්ෂව මූලික මිනිස් අයිතිවාසිකම්, මානව හිමිකම් ආදිය පිළිබඳ විවෘත සමාජ කතිකාවක් ඇති වී නොතිබීම, එසේ පහර කෑම් වලට ලක්වන්නවුන් ගේ ආර්ථික හා සමාජමය අසරණ බව, එකල පොලීසියේ ඇතැම් පිරිස් අධිකරණ බලය ද ඉක්මවමින් දේශපාලනඥයන් ඇතුලු සමාජ සම්මත ප්රභූන්ගේ අවශ්‍යතා පදනම් ව “කුලී හේවායන්”ලෙසින් තම රාජකාරී බලය අවභාවිතා කිරීම ඒ සඳහා හේතු වන්නට ඇත.
කෙසේ වුව ද මෙලෙස පොලිස් පහරකෑම් වලට බඳුන්ව කායික තැළුම් පෙලුම් වලට ලක් වන පුද්ගලයන් සඳහා ඒ කාලයේ ප්‍රකට ශාකසාර ඖෂධයක් ද විය. එනම් ගොනිකා කොළ ය. එම ගොනිකා කොළ යුෂ වශයෙන් හෝ තම්බා හෝ ඒවායින් කැඳ සාදා බීමෙන් හා ගොනිකා කොළ මැල්ලුම් කෑමෙන් එලෙස කායිකව සිදු වී ඇති තැළුම් පෙලුම් ඉතා ඉක්මනින් සුවපත් වන බවට සමාජයේ පැතිර ගත් මතයක් විය.ඒ අනුව කිනම් හෝ හේතුවක් මත පොලීසියේ අමානුෂික පහර කෑමකට ලක්ව නිවසේ ඔත්පලව හිඳින්නවුන් වෙනුවෙන් ගොනිකා කොළ සොයමින් ඇවිදින දෙමාපියන්, බිරියන් සහ පවුලේ සෙසු ඥාතීන් එවක සමාජයේ ජීවත් වුවන්ට අරුමයක් නොවී ය. මීට වසර හතලිහකට පමණ ඉහත අමානුෂික පොලිස් පහර කෑමකට ලක් වූ තම පුතුට කැඳ සාදා දීම පිණිස ගොනිකා කොළ සොයමින් ඇවිදින මාතර ප්‍රදේශයේ පිටිසර ගමක මවක පිළිබඳව අසන්නට ලැබීමෙන් තමන් අතිශය කම්පනයකට පත් වූ බව මාතර ප්‍රදේශයේ ඉපදී හැදී වැඩුණු කීර්තිමත් හෘද රෝග විශේෂඥ වරයකු වන මහාචාර්ය නාමල් විජයසිංහයන් මීට කලකට පෙර ගොනිකා කොළ සම්බන්ධයෙන් ලියූ ලිපියක සඳහන් ව තිබේ.නමුත් ඒ ගොනිකා කොළ යුගයෙන් අත් මිදුණු ශ්‍රී ලංකා පොලීසියේ ගමන් මඟ නැවත ඒ දෙසට යොමු වෙමින් පැවතීමේ පෙර ලකුණු දැන් යළිත් පහළ වෙමින් තිබේ.
පසුගිය දා පානදුර, පල්ලියමුල්ල ප්‍රදේශයේ පැවති විරෝධතාවක් අතරතුර උසස් පොලිස් නිලධාරියෙකු, කාන්තා පොලිස් නිලධාරිනියන් දෙදෙනෙකු “බෙල්ලෙන් අල්ලා තල්ලු කිරීමේ” සිද්ධිය ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කළ හැකි සාක්ෂි සිය ගණනකින් එකක් පමණි. එමෙන්ම අදාළ විරෝධතාව මැඩපැවැත්වීම පිණිස උසස් පොලිස් නිලධාරියා ඉදිරිපත් වූයේ ද “නගරං කාරයකු” ලෙසිනි.ඒ සම්බන්ධ තොරතුරු දිවුරුම් ප්‍රකාශයක් මගින් ඉදිරිපත් කරන ලෙස මානව හිමිකම් කොමිෂන් සභාව පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ.පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙත ලිපියක් යොමු කරමින් එම කොමිසමේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරපන සඳහන් කර ඇත්තේ, කළුතරින් ආරම්භ වූ සාමකාමී පා ගමනක් පානදුරේදී පොලිසිය විසින් නතර කරන ලද බව පානදුර පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කොමිසම හමුවේ පිළිගත් බව ය.
ඒ අනුව, එම පා ගමන සීමා කිරීමට හේතුව සහ පොලිසිය පා ගමන නැවැත්වූයේ කාගේ අණක් මත ද යන වග, එම විධාන හෝ නියෝග රැගෙන ගියේ කවුද? වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව පොලිසිය ආරම්භ කළ ක්‍රියාමාර්ගය පිළිබඳව තොරතුරු දිවුරුම් ප්‍රකාශයක් මගින් ලබා දෙන ලෙස සභාපති වරිය පොලිස්පතිවරයාට දැනුම් දී ඇත.
පානදුර පොලිස් කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා කොමිසම හමුවේ සාක්ෂි දුන් බවත් අවශ්‍ය නියෝග ලබා දෙමින් පාගමනට සහභාගි වූවන් ආරක්ෂා කිරීමට අපොහොසත් වූ විට ඔහු රාජකාරි කඩ කළ බව කොමිසම නිරීක්ෂණය කළ බවත් එහි තවදුරටත් සඳහන් කර තිබේ.
ඒ අනුව, සිද්ධිය වැළැක්වීමට අවශ්‍ය නියෝග ලබාදීමට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා අසමත් වීමට හේතුව දන්වා එවන ලෙස ද කොමිසම පොලිස්පතිවරයාට උපදෙස් දී ඇත.තව ද පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ මෙවැනි “පහත් ක්‍රියා” සිදු නොවීමට පොලිස්පතිවරයා ගෙන ඇති වැඩ පිළිවෙල පිළිබඳව ද දැනුවත් කරන ලෙස එහි සඳහන් කර තිබේ.පසුගිය කාලයේ දක්නට ලැබුණු පරිදි පොලිසියේ නොගැළපෙන හැසිරීම මේ වන විටත් ජනතාවගේ විශ්වාසය බිඳ දමා ඇති අතර ජාත්‍යන්තර වශයෙන් රටේ හොඳ ප්‍රතිරූපය ද ශීඝ්‍රයෙන් විනාශ කරමින් පවතින බව මානව හිමිකම් කොමිසම සිය ලිපිය මගින් අවධාරණය කර ඇත.අදාළ ලිපිය මගින් එම කොමිසම වැඩිදුරටත් පොලිස්පතිවරයාට දැනුම් දී ඇත්තේ, රටේ නීතියේ ආධිපත්‍යය සහ සාමය ආරක්ෂා කිරීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුවේ විනය පවත්වා ගැනීමට පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයා වෙත නිර්දේශ කරන බව ය.
මහජන සේවයක් ලෙස සැලකෙන පොලිසියට මෙවැනි චෝදනා එල්ලවූ පළමු අවස්ථාව මෙය නොවේ. අත්අඩංගුවේ පසු වූ පුද්ගලයන්ට විවිධ වධ හිංසා පැමිණවීම් මෙන්ම පොලිස් අත්අඩංගුවේ සිටියදී වධ හිංසා හේතුවෙන් සැකකරුවන් මියයාම සම්බන්ධයෙන් මීට පෙර ද පොලිසියට චෝදනා එල්ල වී තිබේ.එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කරන ලද ‘වධ හිංසා පැමිණවීම හා කෘර අමානුෂික හෝ අවමන් සහගත අයුරින් සැලකීමේ හෝ දඬුවම් කිරීමේ ක්‍රියාවන්ට එරෙහි අන්තර්ජාතික සම්මුතිය’ට අනුව, පුද්ගල අයිතීන් ආරක්ෂා කිරීමට එහි සාමාජික රටක් වශයෙන් ශ්‍රී ලංකාව බැඳී සිටී.එවන් පසුබිමක් තුළ අප රටේ නීති ගරුක විනය ගරුක පොලිස් නිලධාරීන් පොලිස් සේවයෙන් ඉවත් වීමේ සහ ඇතැමුන් රට හැර යාමේ සම්භාවිතාවක් පැන නැඟී තිබේ.එවන් ඉඩ ප්‍රස්ථාවක් මුල් කොට පසුගිය කාලයේ තරමක් යටපත්ව තිබූ අත් අඩංගුවට ගන්නා පුද්ගලයන් ආයුධ පෙන්වන්නට රැගෙන යාමේ මිනීමරු පොලිස් නාඩගම නව ජවයකින් සමාජ ගත වීමේ පහසු හැකියාවක් තිබේ.
දමයන්ති ගමගේ