අපේ රට තුළ සංරක්ෂණ වනාන්තර ලෙස දැනට හඳුනාගෙන ඇති වනාන්තර අතරින් එක් වනාන්තරයකටයි මේ ඔබව කැඳවාගෙන යන්නෙ.මේ කොට්ටව වනාන්තරය.
දකුණු පළාතේ ගාල්ල උඩුගම මාර්ගයේ කිලෝ මීටර් 13 ක් පමණ ගිය විට හමුවන කොට්ටව වනාන්තරය දැකුම්කළු තෙත් කලාපීය සදාහරිත වැසි වනාන්තරයක්. හෙක්ටයාර 435 ක පමණ ප්‍රමාණයකින් යුතු වුණත් දැන් මෙය ඊට වඩා අඩු වී ඇති බවයි පැවසෙන්නේ. මෙම වැසි වනාන්තරය යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් වසමට අයිත්. දෙවන ලෝක යුද සමයේ මෙම වනාන්තරය බ්‍රිටිෂ් එම්පයර් නම් යුද මෙහෙයුම් ආරක්ෂක මූලස්ථානය ලෙස භාවිතයට ගැනුනා. මෙය වනෝද්‍යානයක් ලෙස නම් කරනු ලැබුවේ 1930 වසරේදීයි.
අධ්‍යාපනික අතින් වගේම පර්යේෂණවලටත් බොහෝ සෙයින් යොදා ගන්නා මෙම වනාන්තරය ජෛව විද්‍යාත්මක වැදගත්කම අතින් ඉතා ඉහළ ස්ථානයක් ගන්නවා. ජාතික සංරක්ෂණ විමසුමට අනුව මෙම වනාන්තරය නම් කර තිබෙන්නේ ඉහළ ප්රමුඛත්වයක් දී සංරක්ෂණය කළ යුතු වනාන්තරයක් ලෙසිනුයි. එසේම කොට්ටව වනාන්තරය තුළ පර්යේෂණ කටයුතු සඳහා ම වෙන් කළ හෙක්ටයාර් දහයක් පමණ වූ ස්වභාවික වන උද්‍යානයක් ද පිහිටා තිබෙනවා.
මෙම රක්ෂිතය තුළින් තුන් දොළ, දුනුකෙයියා දොළ, උඩුමුල්ල දොළ, හල් දොළ යන සුන්දර දොළ පාරවල් ගලා බසිනා අතර පොල් අතු මෝදර ගඟේ ජල පෝෂක ප්‍රදේශය ද මෙය යි.
නාග ආරණ්‍යය සහ මළුවේගොඩ ආරණ්‍යය යන ආරණ්‍ය සේනාසන දෙක ම පිහිටුවා තිබෙන්නේ මෙම කොට්ටව වනාන්තරය තුළ.
මේ වනාන්තරයට ඇතුළු වී මඳ දුරක් ගිය විට නොයෙකුත් දිසාවන්ට විහිදුණු මංපෙත් කිහිපයක් දැකිය හැකියි. එක් මාර්ගයක් අලංකාර තුරුවැල් වියනක් යටින් ඈතට දිව යන ඉතාමත් සුන්දර මංපෙතක්. මෙය වනයේ සුන්දරත්වය නැරඹීම සඳහා පැමිණෙන අය වෙනුවෙන් පවතින්නේ.
තවත් මාර්ගයක් තේ වගාව සඳහා වෙන් වෙනවා. පහත රට තේ වගාව නරඹන්නට ඒ මාර්ගයේ යන්න පුළුවන්. මෙම වනාන්තරය ආසන්නයේම තමයි තේ පර්යේෂණායතනය පිහිටා තිබෙන්නේ.
අනෙක් මාර්ගයෙන් කොට්ටව ස්වභාවික ජල තටාකය වෙත යන්න පුළුවන්. ස්වභාවික දිය උල්පත්වලින් වතුර ගලා එන මෙම ජල තටාකයෙහි නියං සමයේදීවත් ජලය සිඳෙන්නෙ නෑ. මෙම ජල තටාකය දෙස් විදෙස් සංචාරකයන් බහුලව නරඹන්න එන තැනක්.
මෙම වනාන්තරයේ ශාක වර්ග අතරින් වර්ග 45 ක් ම මෙරටට ආවේණිකයි. වැලිපැන්න, හැඩවක, හොර, ගොඩපර, කිරිහැඹිලිය, වෙනිවැල්, වල්ල, කැකුණ, දුනුකෙයියා වැනි දෑ මේ අතරින් කිහිපයක්.
කොට්ටව වනාන්තරයේ කුරුල්ලන් ද විශාල වශයෙන් ජීවත් වෙනවා. අලු ගිරවා, අලුකෑඳැත්තා, කොට්ටෝරුවා, කහ කොණ්ඩයා, බටගොයා, උලමා, බකමූණා, හබන් කුකුළා, වලි කුකුළා මෙහි සිටින කුරුල්ලන් රාශියක් අතරින් වර්ග කිහිපයක් පමණයි.
එසේම මෙහි තැන් තැන්වල ගලා යන දිය දහරාවල සුන්දර මාළුන් විශේෂ ගණනාවක් සිටිනවා. මෙයින්ද බොහොමයක් අපේ රටට ආවේණිකයි. දණ්ඩියා, බුලත් හපයා, හඳයා මෙම මත්ස්‍යයින් වර්ග අතරින් කිහිපයක්.
ඔබ ස්වභාවික පරිසරයට ආදරය කරන, තුරුලතා ඇළදොළ ආදියෙහි සැබෑ සුන්දරත්වය විඳින්නට කැමති කෙනෙක් නම් කොට්ටව වනාන්තරය ඔබට කියාපු තැනක්. ඒ වගේම මෙහි යාමත් ඉතාම පහසුයි.
(ඡායාරූප අන්තර්ජාලයෙනි)
ඉන්දු පෙරේරා