අංජනම් බැලීම, අංජනම් ඇරීම, අඳුන් බැලීම ආදී වශයෙන් හැඳින්වෙන ගුප්ත ශාස්ත්‍ර හා සබැඳි කටයුත්ත පිළිබඳ නොදත් අයකු නොමැති තරම් ය. එහෙත්, ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමසීමේ දී පෙනී යන විශේෂතම කරුණක් ද තිබේ. එනම් අප සමාජයේ බොහෝ දෙනකු තුළ ඒ සම්බන්ධ නාමික දැනීමකට වැඩි යමක් නොමැති බවකි. කොටින්ම නූතන සමාජයේ බොහෝ දෙනකුට අංජනම් බැලීම, අංජනම් යැවීම හෝ අඳුන් බැලීම තවත් එක් “පාරිභෝගික සේවාවක්” පමණි. අංජනම් එළි බැලීමේ දී ඊට උපකාර වන ප්‍රධාන චරිත දෙකක් තිබේ.එනම් අංජනම් දේවී හා හනුමන්තා ය.අංජනම් දේවී අංජානා අන්ජානි සහ අංජලී ලෙස ද හැඳින්වේ, හින්දු වීර කාව්‍යයක් වන රාමායනයේ ප්‍රධාන චරිතයක් වන හනුමාන්ගේ මව වන අන්ජනා කිෂ්කින්ධා හි පදිංචිකාරියක් බව සඳහන් ය. හින්දු දේව ප්රවාදයකට අනුව, අංජනා යනු මිහිපිට උපන් පුඤ්ඤිකස්තලා නම් අප්සරාවකි ඍෂිවරයෙකුගේ ශාපය හේතුවෙන් වානර කුමරියක ලෙස උපන් බව පැවසෙයි.අංජනාගේ සැමියා කේසරි නම් වන අතර පුත්‍රයා වන හනුමාන් දෙමළ සම්ප්රදායේ අංජනේය හෝ අංජනයර් ලෙස ද හැඳින්වේ.
හනුමාන්ගේ උපත පිළිබඳ ජනප්‍රවාද කිහිපයක් තිබේ. එක්නාත්ගේ භාවාර්ථ රාමායණයේ (ක්‍රි.ව. 16 වැනි සියවස) සඳහන් වන්නේ අංජනා වායු දෙවියන් වන්දනා කරන විට අයෝධ්‍යාවේ දශරථ රජු දරුවන් ලැබීම සඳහා පුත්රකාමේෂ්ටි පූජා චාරිත්‍රය සිදු කරමින් සිටි බවයි. එම පූජාවේ ප්‍රතිඵලයක් වශයෙන්, රාම, ලක්ෂ්මණ, භාරත සහ ශතෘඝ්න යන අයගේ උපතට මුල් වූ ඔහුගේ භාර්යාවන් තිදෙනාට බෙදා දීමට ඔහුට පායාසම් (පූජනීය පුඩිම) ලැබුණි. එහෙත්, දෙවියන්ගේ ආඥාවකට අනුව සරුංගලයක් මඟින් එම පායාසම් කැබැල්ලක් උදුරාගෙන විසින් අංජනා වායු දෙවියන් වන්දනාවේ යෙදී සිටි වනාන්තරය මැද බිම හෙලනු ලැබිණ. වායු දෙවියා වැටෙන පුඩිම අංජනගේ දෑත් වෙත ලබා දුන්නේය. හනුමාන්ගේ උපතට ඉවහල් වන පරිදි අංජනා ගැබ් ගත්තේ එය අනුභව කිරීමේ ප්‍රතිඵලයක් ලෙසය. අංජන සහ කේසරි තම දරුවා ලෙස වායුගේ බල පරාක්‍රමය බිහි කරන ලෙසට වායු දෙවියන්ට යාච්ඤාවක් කළහ. ඔවුන්ගේ භක්තිය ගැන සතුටු වූ වායූ ඔවුන් සෙවූ වරය ලබා දුන්නේය.හනුමාන් නම් වානර දෙවියා සුළඟ මෙන් සැරිසරා ලොව සියළු රහස් දැන ගත හැකි බවට හින්දූන් විශ්වාස කරනුයේ ඒ අනුව ය. ශිව භක්තිකයෝ බොහෝ විට හනුමාන් ශිවගේ එකොළොස්වන අවතාරය ලෙස සලකති.අංජනම් එළි මඟින් අප හමුවට එන හනුමන්තා ගේ සහ අංජනම් දේවීගේ කතාව සරල ලෙස එලෙසිනි.
අප සමාජයේ පැරණි, ගතානුගතික, සාම්ප්‍රදායික ජන විශ්වාස, ඇදහිලි බොහොමයක් නවීන සමාජයේ දැඩි විවේචන සහ උපහාස අපහාස ආදියට ලක් වෙයි. එහෙත් පැරණි සාම්ප්‍රදායික ගතානුගතික ගුප්ත විශ්වාස සම්බන්ධයෙන් දක්නට ලැබෙනුයේ ඊට ඉඳුරාම වෙනස් ප්‍රතිවිරුද්ධ තත්ත්වයකි. මා එසේ පවසනුයේ මෙම අංජනම් බැලීම නම් වන ක්‍රියාව වෙත අප අති නවීන යැයි හඳුන්වනු ලබන සමාජයේ බොහෝ දෙනකු ද යොමු වී සිටින බැවිනි.අංජනම් බැලීම, අංජනම් ඇරීම හෝ අඳුන් බැලීම කරුණු රැසක් සම්බන්ධයෙන් යොදා ගැනේ. නැති වූ පුද්ගලයන් සහ භාණ්ඩ සොයා ගැනීම, විවිධ පුද්ගලයන් තුළ පවත්නා රෝගාබාධ පිළිබඳව දැන ගැනීම, එළැඹී ඇති විපත් අනතුරු, අමනුෂ්‍ය දෝෂ ආදිය සම්බන්ධයෙන් දැන ගැනීම ආදී කරුණු සලකා බලන විට මෙම අංජනම් බැලීමේ පොදු සාධකය ලෙස ප්‍රකෘති මනැසින් වටහා ගත නොහැකි දේ වටහා ගැනීමට උපකාර කිරීම වශයෙන් හඳුනා ගත හැක.නමුදු මෙම අංජනම් බැලීම සම්බන්ධ පවත්නා එක් විශේෂත්වයක් පිළිබඳව ද මෙහි දී කිව යුතුය. එනම් ඇතැමුන් සිතන අන්දමට ගුප්ත අනාවැකි කීම සම්බන්ධයෙන් මෙම අංජනම් යොදා ගත නොහැකි බවකි. ඒ අනුව මෙය දැනට පවත්නා තත්ත්වය හෙවත් තත්කාලීන සාධක පමණක් පදනම් කරගත් තොරතුරු දැන ගැනීමේ ශාස්ත්‍රයක් බව විශේෂයෙන් කිව යුතුම ය.
භූත විද්‍යා විෂය පථය අෂ්ට කර්මය නම් කොටස් අටකට බෙදා තිබේ. අංජනම් බැලීම අයත් වනුයේ එහි හය වැන්න වන උච්චාටන කර්මයටය. මෙහි අදහස පලවා හැරීම, ඉහිල් වීම යන්නය.අංජනම හෙවත් අඳුන යනු මූලික වශයෙන් සත්ත්ව, ශාක, පාෂාණ ආදී කොටස් සුසංයෝග කොට තනා ගන්නා තලපයක් වැනි දෙයකි. මෙය කාන්තාවන්ගේ නේත්‍රා සම්බන්ධ රූපලංකරණ ද්‍රව්‍යයක් සේ යොදා ගැනේ. ‘අඳුන් තැබීම’ යන වදනින් පැවසෙනුයේ එයයි. මීට අමතරව යම් යම් රෝග සඳහා වන ඖෂධ සංයෝගයක් ලෙස ද මෙම අඳුන් යොදා ගැනෙයි. ඒ කල්ක හා චූර්ණ වශයෙනි.නමුදු විවිධ සත්ව, ශාක සහ පාෂාණ සංයෝගයන් අඹරා හෝ දවා ලබා ගන්නා තලපය මගින් එක් එක් කාර්යයන් සඳහා වන අංජනම් තනා ගැනේ. එම අංජනම යොදා දැල්වෙන පහන් වැටියක දැල්ල දෙස බලාගෙන කියැවෙන විස්තරය අංජනම් එළිය ලෙස හඳුන්වනු ලැබේ. මෙම තලපය වීදුරු තලයක, බුලත් කොළයක තැවරීමෙන් ද මෙම අංජනම් බැලීම සිදු කළ හැකි බව පැවසෙයි.විවිධාකාර අංජනම් බැලීම් අතරින් අප රටේ ජනප්‍රියම ක්‍රමය මල් බුලත් පුටුව මත පහනක් දල්වා සිදු කරන අංජනම් බැලීමය. මෙය කොතරම් ප්‍රචලිත ද කිවහොත් චිත්‍රපට ටෙලි නාට්‍ය ආදියේ අංජනම් බැලීම දැක්වෙනුයේ ද මෙම ආකාරයටමය. අපට දැන ගැනීමට අවශ්‍ය කරුණ වෙත හනුමන්තා පිටත් කරනුයේ එම අංජනමට අධිගෘහිත අංජනම් දේවිය බව පැවසෙයි.
මෙම හනුමන්තාගේ කතාව අපට හමු වන්නේ ලෝක ප්‍රකට භාරතීය වීර කාව්‍යයක් වන රාමායනයෙනි. හනුමන්තා යනු රාමායනයේ අසමසම වීරයා වන රාම කුමරුගේ වානර සේනාවේ ප්‍රබල සෙන්පතියෙකි. එහි සඳහන් රාම-රාවණ වෘත්තාන්තයට අනුව සීතා දේවිය සඟවා සිටින රාවණගේ ලංකා රාජ්‍යයේ ඔත්තු බැලීමට රාම කුමරුන් එවනුයේ හනුමන්තා ය.අප රටේ බලනු ලබන අංජනම්වල දී ද පහන් දැල්ල තුළින් මතුවන වානර රුව හනුමන්තා යැයි විස්තර කෙරේ. එසේ පහන් දැල්ල තුළින් දිස්වන හනුමන්තා අංජනම බලන්නාගේ අවශ්‍යතාව පෙරදැරිව නියමිත ස්ථාන කරා ගමන් කරන බව ජන සම්මතයයි. එහෙත් අප රටේ බැලෙන සෑම අංජනමකම හනුමන්තා නොමැති අතර එය හැඳින්වෙනුයේ ශ්‍රී රාම දෘෂ්ටි අංජනම යනුවෙනි.
ඉහත සඳහන් ශාක, සත්ව හා පාෂාණ සංයුතියක් නොමැතිව හුදෙක් පහන් දැල්ලෙන් පමණක් බැලිය හැකි අජංනම් විශේෂයක් ද තිබේ. එය හැඳින්වෙනුයේ ‘දීපශිඛාංජනම’ යනුවෙනි. දීප ශිඛාව යනු පහන් සිලය. ඒ සඳහා කිව යුතු වෙනම මන්ත්‍ර තිබේ. එහෙත් මෙම මන්ත්රවල ඒකීයත්වයක් නොමැති බව ද කිව යුතුය.මෙම අංජනම් බැලීමට අවශ්‍ය ශක්තිය ලැබීම සම්බන්ධයෙන් ද සමාජයේ විවිධ මතවාද පවතී. ඉන් වඩාත් පොදු මතය වනුයේ දේව, යක්ෂ, ප්‍රේත ආදී අමනුෂ්‍ය ගණායාගේ ශක්තිය මත පදනම්ව මෙම අංජනම් සඳහා බලය ලැබෙන බවකි. දිව්යාංජනම්, භූතාංජනම්, යක්ෂාංජනම්, දේවාංජනම් ඒ සඳහා වන නිදසුන් කිහිපයකි.
මේ අතර වත්මන් කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් හත්කෝරලයේ ප්‍රචලිතව පැවැති ‘තාම්බූලාංජනම’ නම් අංජනමක් පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට මට හැකි විය. වෙද මහතුන්ට වටහා ගත නොහැකි රෝග පීඩා ආදිය පිළිබඳ තොරතුරු දැනගත හැකි එම අංජනම හෙවත් අඳුන බුලත් කොළයක තැවරීමෙන් ක්‍රියාත්මක කළ හැකි බව මට දැනගත හැකි විය. එහෙත් එහි දී වැඩිදුරටත් ප්‍රකාශ වූ අන්දමට එම තාම්බූලංජනම සඳහා යොදා ගන්නා දේශීය බුලත් විශේෂය මේ වන විට සොයා ගැනීමට නොහැකි වී තිබේ.මේ අතර මා විසින් ගොනු කරගත් කරුණු අනුව අංජනම් බැලීම සැමට කළ නොහැක්කකි. සෑම විටෙකම අංජනම් බැලීම මනුෂ්‍ය ගණයට අයත් අයකු විසින් කළ යුතු අතර දේව හෝ රාක්ෂ ගණ පුද්ගලයෝ ඊට නුසුදුස්සෝ වෙති. ඒ හැරුණු කොට රෙහෙණ, පුනාවස, පුවසල, උත්‍රසල, සුවණ, පුවපුටුප, උත්‍රපල් යන නැකැත්වලින් හා වානර යෝනියට අයත් නිල් සහ දුඹුරු ඇස් සහිත වූවන්ට අංජනම් වඩාත් හොඳින් පෙනේ. නමුත් මෙම අංජනම් මඟින් යම් පුද්ගලයකුගේ යටි සිත පිබිදුවීමෙන් දැන ගත හැකි යමකට වඩා කිසිවක් දැන ගත නොහැකි බව මේ සම්බන්ධ විද්‍යාත්මක නිගමනයයි.එමෙන්ම මේ වන විට ලොව පුරා ප්‍රචලිත පලිඟු බෝල අනාවැකි( Cristal ball prediction ) ද මේ විද්‍යාත්මක කරුණු මත පදනම් වූවකි.මේ සියලු කරුණු අනුව අපට වැටහී යන්නේ මිනිස් යලි සිතේ ක්‍රියාකාරීත්වය එළි දැක්වෙන අංජනම් බැලීමට අංජනම් දේවි හා හනුමන්තා අවශ්‍යම නොවන බවකි.
තිලක් සේනාසිංහ