පසුගිය වසර වලට සාපේක්ෂව දැන් එළැඹ ඇති සංචාරක සමයේ අප රටට විදේශීය සංචාරකයන් වැඩි පිරිසක් පැමිණ සිටින බව පෙනෙන්නට තිබේ. විවිධාංගීකරණය මගින් සුවිසල් විදේශ විනිමයක් උපයා ගත හැකි ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය තවමත් ඒ තිරසාර ගමන් මඟට අවතීර්ණ වී නැත. ජන වරමක් තබා ශ්‍රී ලංකාවේ පුරවැසි බවක් වත් නොමැති යැයි ඇතැමුන් පවසන වත්මන් සංචාරක රාජ්‍ය අමාත්‍යවරිය වන ඩයනා ගමගේ නමින් පෙනී සිටින නයනා සමන්මලී දිවා රෑ මුළුල්ලේ මතුරන සංචාරක ප්‍රවර්ධන උපාය මාර්ගයක් තිබේ.එනම් ගණිකා වෘත්තිය ඇතුළු කාම සුඛල්ලිකානු වාදය කේන්ද්‍ර කර ගත් රාත්‍රී ආර්ථිකයක් ප්‍රවර්ධනය කරවීම තුළින් ශ්‍රී ලංකාවට සංචාරක කර්මාන්තය අතින් සෙසු බොහෝ රටවල් අභිබවා දිග් විජය කළ හැකි බවකි. නමුදු ලෝක සංචාරක කර්මාන්තයේ නව ප්රවණතා සහ විවිධාංගීකරණ ස්වරූපය දෙස විමසිලිමත් වන ඕනෑම අයකුට පහසුවෙන් වටහා ගත හැකි කරුණක් තිබේ. එනම් ඇය තම දැනුම අවබෝධය සහ අත්දැකීම් පදනම් කරගත් මානසිකත්වය මත එවන් ප්‍රකාශ කරන බවකි. ඒ කෙසේ හෝ මේ වන විට අප රට තුළ දක්නට ලැබෙන විදේශීය සංචාරක බහුලතාව මත සෙසු කරුණු පසෙක තිබිය දී යම් විදේශ විනිමය ප්‍රමාණයක් වත් අත මිට ගුලිකර ගන්නට ශ්‍රී ලංකාව සමත් වන බව බැලූ බැල්මට යමකුට වැටහී යා හැක.එහෙත්, ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ආශ්රිත විවිධ පාර්ශවයන් ගෙන් කරුණු විමසා බැලමේ දී පෙනී යනුයේ ඊට ඉඳුරාම වෙනස් තත්වයකි.
“දැන් එන හුඟක් ටුවරිස්ට්ලා ඉස්සර වගේ නෙවෙයි; සල්ලි වියදම් කරන්නේ ඉතාමත් සීරු මාරුවට කොහේ හරි අඩුම මිලකට කාමරයක නතර වෙලා හිටියට ඒ හුඟ දෙනෙක් ඒ හෝටල් වලින් කෑම බීම ගන්නේ වත් නෑ … උදේට දවල්ට රෑට ඒ හෝටලෙන් එළියට ඇවිත් පාර අයිනේ තියන පෙට්ටි කඩේකින් ආප්ප, වඩේ, කොත්තු රොටි, කෙසෙල් ගෙඩි පලතුරු වගේ දේවල් කාලා කෝලා බිම එකක් බීලා කාමරේට එන එක තමයි කරන්නේ”මේ සම්බන්ධයෙන් අප හා මුල්වරට අදහස් පළ කළ කල්පිටිය ‘බෝට් ට්‍රිප්’ හි සංචාරක මඟ පෙන්වන්නකු වන ජූඩ් එමානුවෙල් ප්‍රනාන්දු කීය. දේශීය, විදේශීය සංචාරකයන් කල්පිටිය ආශ්රිත මුහුදේ ඩොල්ෆින් මසුන් සහ තල්මසුන් නිරීක්ෂණ චාරිකා සඳහා කැඳවාගෙන යාම සහ ඒ කල්පිටි අර්ධ ද්වීපයේ රාත්‍රී පරිසර කඳවුරු සංවිධානය කිරීමත් ඔහුගේ වෘත්තියයි.
“ඉස්සර වගේ නෙවෙයි බෝට් ට්‍රිප් එකකදී විදේශිකයන් ගෙන් ලැබෙන ටිප් පුදුම විදියට අඩුවෙලා. අපේ රටේ පවුලක් බෝට් ට්‍රිප් එකක් ගියාම ඒ ගත කරන කාලය වෙන මහන්සිය සළකලා රුපියල් පන්සීයක් දාහක් වගේ ටිප් එකක් දෙනවා. ඒත්, දැන් සමහර විදේශ සංචාරකයෝ දික් කරන්නේ පනහේ කොළයක් නැත්නම් සීයේ කොළයක්”
මුතුරාජවෙල පරිසර කේන්ද්‍රයේ අධ්යක්ෂ අරුණ වීරසිංහ ද වර්තමාන විදේශීය සංචාරකයන් ගේ මෙම වියදම් රටාව පිළිබඳ තම අදහස කියා පෑවේ මෙලෙසිනි.
“අපේ රට බංකොලොත් කියන කතාව දැන් ජාත්‍යන්තරයට ගිහින්. අද ලංකාවට එන හැම විදේශිකයෙක්ම එන්නේ ඒ කතාවත් ඔළුවේ තියාගෙන. බංකොලොත් රටක හොර මැරකම් වංචා දූෂණ බහුල බව ඒ මිනිස්සු දන්නවා. පහුගිය දවසක මීගමුවට ආපු විදේශ සංචාරකයෝ දෙන්නෙක් පාර අයිනේ මැස්සක තියන තැඹිලි පෙන්නලා කීයද? කියලා ඒවා විකුණන මනුස්සයා ගෙන් ඇහුවා. ඒත්, ඒ සංචාරකයෝ අපේ රටට වඩා පොහොසත් රට වලින් ආපු බව දන්න හින්දා රුපියල් දෙසීයයි කියලා ඒ විකුණන මනුස්සයා කියලා තියනවා. එතකොට ඒ එක සංචාරකයෙක් ගෙඩි විස්සක් විතර තැඹිලි වල්ල පෙන්නලා හිනාවෙලා කියනවා ‘උඹ ඔය කියන්නේ ඔය එක්කොගෙම ගාණනේ ඒත්, අපි ඇහුවේ ඔය එක ගෙඩියක ගාණ කියලා’. ඔන්න ඕකයි අද විදේශ සංචාරකයන් ගේ තත්වය”.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි පසුගිය දා පවසා සිටියේ දැන් අපේ රටට එන විදේශ සංචාරකයන් අප රට තුළ දී විදේශ විනිමය වියපැහැදම් කරනු වෙනුවට මෙරට අර්ධකාලීන රැකියා සහ ව්‍යාපාර කොට මුදල් ඉපැයීමට පවා පෙළඹී සිටින බවකි.ඔවුන් ගෙන් සමහරකු පීසා සහ ආප්ප අලෙවි හල් පවත්වාගෙන යන බවත් තවත් පිරිසක් කොණ්ඩා කැපීම්, ටින්කර් වැඩ ආදියෙන් මෙරට දී මුදල් උපයන බවත් වීරක්කොඩි කීය.සංචාරක වීසා මත මෙරට රැඳී සිටින කිසිවකුටත් මෙරට දී රැකියාවල හෝ ව්‍යාපාර වල යෙදීම සපුරා තහනම් ය. එහෙත් අද ඒ කිසිවක් වගකිව යුතු කිසිවකු ගේ අවධානයට යොමු නොවේ. මේ අතර දකුණු පළාතේ සංචාරක කර්මාන්තය සඳහා ප්‍රකට හික්කඩුව,ගාල්ල, උණවටුන, පොල්හේන, මාතර ආදී ප්‍රදේශ කිහිපයකින් ලැබුණු තොරතුරකින් පැවසුණු අන්දමට රුසියාව, යුක්රේනය ආදී රටවලින් දෙතුන් දෙනා වශයෙන් අප රටට පැමිණෙන තරුණියෝ මෙරට දී අත දිග හැර මුදල් වැය කරන අවස්ථා තිබේ. එහෙත් ඔවුන් එසේ විය පැහැදම් කරනුයේ මෙරට දීම උපයාගත් මුදල් මිස තම මව්රටවලින් ගෙන ආ මිල මුදල් නොවේ.
ඔවුන් අප රටේ දී මෙලෙස මුදල් උපයනුයේ ශ්‍රී ලාංකිකයන් හට තම සිරුරු විකිණීම හෙවත් ගණිකා වෘත්තියෙනි. ඒ ඔවුන්ට එම වෘත්තිය සඳහා කොමිස් මුදලට ගනුදෙනු කරුවන් සපයා දෙන දේශීය තැරැව්කාර ප්‍රජාවක් ද එම ප්‍රදේශවල ස්ථාන ගත වී සිටිති. නමුත් මෙම අප්‍රසන්න රහස හෙළි දරව් වීම කෙරෙහි එම ප්‍රදේශවල ව්‍යාපාරික ප්‍රජාව දැඩි සේ විරුද්ධ වන බවත් එමගින් තම ව්‍යාපාර වලට හිමිවන ආදායම් අඩුවීම ඊට හේතුව බවත් අනාවරණය වී තිබේ. එමෙන්ම එම සංචාරක තරුණියන් අතුරින් කතුන් අතුරින් වඩාත් තරුණ සහ රූමත් කතුන් එමගින් සැළකිය යුතු ආදායම් ලබන බවත් එම මුදල් වලින් තම නේවාසික කාලය දීර්ඝ කර ගන්නා බවත් අප රට තුළ දී එසේ උපයන මුදල් විවිධාකාරයෙන් තම රටවල් වෙත සම්ප්‍රේෂණය කරන බවත් ප්‍රසිද්ධ රහසකි.තම් රට වලට එළඹෙන ශීත සෘතුව හමුවේ උනුසුම, හිරු එළිය සේම විනෝදමත් ජීවිතය (fun life) අපේක්ෂාවෙන් තමන් මෙහි පැමිණි බව පවසන ඔවුන්ගෙන් සමහරකු එම රට වල උසස් අධ්‍යාපනයේ යෙදෙන්නියන් බව ද කියනු ලැබේ. එවන් තත්වයක් යටතේ වත්මන් සංචාරක සමයේ මෙරටට සංචාරකයන් ගේ පැමිණීමේ සාධනීය බව එක් දේශීය ජන වහරකින් ප්‍රකාශ කළ හැක. එනම් ‘ලෙඩා මළත් බඩ සුද්දයි’ යන්න ය.
සම්පත් නිශාන්ත වෙදගේ