ජාතියට තාක්ෂණික නාඬිය ලබා දුන් අම්පාරේ “හාඩි”යත් ජාඩි දමයි ද? අම්පාරේ හිටපු මහ දිසාපති වරයකු ගෙන් හෙළිදරව්වක්

අගනුවරින් බොහෝ දුර බැහැරක පිහිටීම නිසා දෝ පොදු ජන අවධානයෙන් ගිලිහී පවතින අම්පාරේ හාඩි ආයතනය ගැන යළි කතා බහක් ඇරඹී ඇත. සුපුරුදු පරිදි මෙවරත් හාඩි කතාව පටන් ගත්තේ සිසුන්ම ය. හාඩි ආයතනය ගැන අම්පාරේ තරුණ පරපුර හරි හැටි දන්නේ නම් සිසුන්ටත් පෙර පාරට එන්නේ ඒ දරුවන් ය. නමුත් අවාසනාවට හාඩි එක ගැන හරියට දන්නේ හැට පැනපු අය ය. ඊට හේතුව අම්පාරේ තරුණ හා මැදි වයසේ ජීවත් වන්නන් ගේ වරදක් නොවේ. 1980 පසුව උපන් අය දැක්කේ හාඩි ආයතනය යනු විශාල ප්‍රදේශයක් වසාගෙන අබලන් වූ ගොඩනැගිලි විශාල සංඛ්‍යාවක් හා වල් අලින් නිතර ගමන් කරන අම්පාර නගර මායිමේ ඇති පිටස්තරින් සිසුන් සුළු ප්‍රමාණයක් ඇවිත් මොන මොනවා දෝ ඉගෙන ගන යන තැනක් ලෙස ය. මේ අබලන් ගොඩනැගිලිවල වෙන වැදගත්කමක් නොදන්නා ඔවුන්ට හාඩිය ගැන ඔවුන් නිහඬ වන්නට ඇත්තේ ඇතැම් විට මේ නිසා ය. මේ නිසාම මා දන්නා වර්තමානයේ “මර ඇඳට වැටී” ඇති හාඩි ආයතනය ගැන යමක් ලිවීමට සුදුසුයැයි සිතමි.

හාඩි උසස් තාක්ෂණ ආයතනය හා හාඩි කාර්මික විද්‍යාලය නමින් හැඳින්වෙන ආයතන දෙකක් ගැන මේ වන විට කතා කළත්, මෙය අම්පාරේ සියල්ලට මුල් වූ ගල්ඔය සංවර්ධන මණ්ඩලය විසින් 1954 වසරේ ආරම්භ කරන ලද්දකි.ඒ එම මණ්ඩලයේ කාර්මිකයින් පුහුණු කිරීමේ ආයතනය ලෙස ය. දැනට ආයතනය පිහිටුවා ඇති ස්ථානය ඊට වෙන් කර කොළඹ ක්‍රමයේ ආධාර ඇතිව වර්තමානයේ හාඩි ආයතනයේ අනන්‍යතාව ලෙස පෙන්නුම් කරන දෙමහල් ගොඩනැගිල්ල ඉදිකරවනු ලැබුවේ ගල්ඔය සංවර්ධන මණ්ඩලයයි. මීට සමගාමීව සිසුන් හැත්තෑපස් දෙනෙකුට නේවාසික පහසුකම් සැපයිය හැකි ගොඩනැගිල්ලක් ද ඉදිකරනු ලැබ ඇත. ආරම්භයේදීම මේ ආයතනය ගල්ඔය නිම්න සංවර්ධනයට අවශ්‍ය කාර්මිකයින් බිහිකර ගැනීමේ අරමුණින් ස්ථාපිත කිරීමට ගියත් එය ජාත්‍යාන්තර මධ්‍යස්ථානයක් බවට පත් වූයේ පාඨමාලා ආරම්භයත් සමඟම ය. එවක අග්නිදිග හා දකුණු ආසියාවේ බර යන්ත්‍ර භාවිතා කරමින් ඉඩම් සංවර්ධනය කෘෂිකාර්මික සංවර්ධනය ඇතුළු යටිතල පහසුකම් සංවර්ධන ය සිදුකෙරුණු ප්‍රමුඛ ස්ථානය ගල්ඔය නිම්නයයි.

මේ නිසාම මේ ආයතනය ආරම්භයේදීම අග්නි දිග හා දකුණු ආසියාවේ කලාපීය තාක්ෂණික හමු පැවැත්වෙන ස්ථානය මෙන්ම ඉඩම් සංවර්ධනය ද ඇතුලත් කම්හල් ගැටලු හා ගොවිපල් යාන්ත්‍රීය කරණය පිළිබඳ මධ්‍යස්ථානය ලෙස තෝරා ගන්න ලදී. මේ සඳහා අනුග්‍රහය ලබා දුන්නේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයයි. 1954 දී එම විෂයේ මුළු දකුණු හා අග්නිදිග ආසියාවේම කේන්ද්‍රස්ථානය අම්පාරේ තාක්ෂණික පුහුණු මධ්‍යස්ථානය වූ බව වර්තමානයේ කවරකු නම් දනීද? නමුත් අග්නිදිග හා දකුණු ආසියානු රජයන්ට අදාල යන්ත්‍රෝපකරණ තෝරා ගැනීම පිළිබඳ තොරතුරු හා විස්තරාත්මක පුහුණුව, ඒවා ක්‍රියා කරවීමේ තාක්ෂණික ක්‍රම, ප්‍රමාණවත් පදනමින් ක්‍ෂේත්‍ර වැඩ හල් අවශ්‍යතාව, සේවා හා නඩත්තු පහසුකම්, ඉඩම් සංවර්ධනයේදී යන්ත්‍ර සූත්‍ර අලුත්වැඩියාව හා ලාභදායිත්වය කෘෂිකර්මයේ යාන්ත්‍රීකරණය, පිළිබඳ මධ්‍යස්ථානය වූයේ මේ තාක්ෂණික පුහුණු ආයතනයයි.
1954 වර්ෂයේ සැප්තැම්බර් වන විට ගොඩනැගිලි දෙක සම්පූර්ණ කළ මේ ජාත්‍යන්තර කලාපීය පුහුණු මධ්‍යස්ථානය දෑ අවුරුදු පාඨමාලාව මුලින්ම ඇරඹුවේ 1956/1/16 දිනදී ය.

බඳවා ගැනීමේ සුදුසුකම වූයේ ජේෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර විභාගයෙන් ගණිතය හා භෞතික විද්‍යාව සමත් අවුරුදු 18-23 වයස් කාණ්ඩයේ තරුණයින් ය. මේ පාඨමාලාව කොටස් තුනක් ලෙස සංවිධානය කර ඇත. මුල්ම කොටසින් ගල්ඔය සංවර්ධන ව්‍යාපෘතියේ ක්‍රියාකාරකම් ගැන අධ්‍යනයක් සිදුකිරීමටත් ඒ අනුව ඔවුන් විශේෂයෙන් හැදෑරිය යුතු අංශයන් පිළිබඳව හා ලබා ගත යුතු ඉංජිනේරු තාක්ෂණ අවශ්‍යතාව පිළිබඳ අවබෝධය ලබා ගැනීමටත් හැකි විය. ඊළඟ කොටසින් දේශන මගින් දැනුමත් ප්‍රායෝගික පුහුණුව මගින් කුසලතාව වැඩිදියුණු කිරීමත් සිදුකෙරිණ. අවසාන කොටස ඉංජිනේරු තාක්ෂණයේ විශේෂිත ක්‍ෂේත්‍රයක (විදුලි, යාන්ත්‍රික, සිවිල් වාරි මාර්ග වැනි) අධ්‍යාපනය හා පුහුණුව ලබා දීම සිදු විය. මේ ක්‍රමයට පැවැත් වූ පුහුණු පාඨමාලාවන් සඳහා දේශීය මෙන්ම ඉන්දුනීසියා, මැලේසියා, තායිලන්ත, බුරුමය වැනි රට වල පුහුණු ලාභීන්ට ද අවස්ථාව සැලසිණි. දකුණු හා අග්නි දිග ආසියානු රටවල සහභාගිත්වයෙන් තාක්ෂණික අවශ්‍යතා හා ගොවිපල් යාන්ත්‍රික කරණයට අදාල සම්මන්ත්‍රණ ද නිරතුරුව මේ ආයතනයේ පැවැත්වුණි.

පනහ දශකය අවසානය වන විට රටේ ඉංජිනේරුමය කාර්ය මණ්ඩල වල මධ්‍යම මට්ටමට අදාල ශිල්පීන් බිහි කළ ප්‍රමුඛතම ආයතනය වූ කොළඹ කාර්මික විදුහල හා සම මට්ටමේ පුහුණු ආයතනයක් ලෙස රජයේ ඇගයුමට ද මෙම ආයතනය පාත්‍ර විය.

අනාගතයේ ඩිප්ලෝමා මට්ටමේ පාඨමාලාවන් හරහා ඉංජිනේරු ක්‍ෂේත්‍රයේ විශිෂ්ට ආයතනයක් බවට මේ ආයතනය පත් වන්නේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය යටතේ විශේෂඥයෙකු ලෙස මේ ආයතනයට සේවය සඳහා පැමිණෙන කැනේඩියානුවෙකු වූ ඒවන් ඒ හාඩි මහතා ගේ අප්‍රතිහත ධෛර්යයෙනි. එතුමා මේ ආයතනයට ඉටු කළ මෙහෙවර අගයමින් එම ආයතනය හාඩි කාර්මික විදුහල ලෙස නම් කෙරිණි. ඉංජිනේරු අංශයේ විදුලි යාන්ත්‍රික සිවිල් ක්‍ෂේත්‍ර තුනේම ඩිප්ලෝමා පාඨමාලා සමඟ හාඩි කාර්මික විද්‍යාලයටම අනන්‍ය වූ කෘෂිකර්ම ඩිප්ලෝමා පාඨමාලාවෙන් ද විශිෂ්ට වෘත්තිකයින් රටට දායාද කිරීමට මේ ආයතනයට හැකියාව ලැබුණි. 1970 දශකයේ පුරාමත් මේ ආයතනයරටේ ප්‍රමුඛතම ඉංජිනේරුමය පුහුණු ආයතනයක් ලෙස කාර්මික අධ්‍යාපන හා පුහුණු දෙපාර්තමේන්තුව යටතේ මේ ආයතනය ක්‍රියාත්මක විය. ගල්ඔය සංවර්ධන මණ්ඩලය ගල්ඔය නිම්නයේ සිය කටයුතු රජයේ ආයතන වලට පවරා ගල්ඔය නිම්නයෙන් සමු ගත්තේ 1973 වසරේදී ය.

ඊළඟට එන්නේ මේ ආයතනයේ පිරිහීමේ කථන්දරයයි. 1977 බලයට පත් රජයේ විවෘත ආර්ථික ප්‍රතිපත්තියේ විශේෂ අවධානයට යොමු වූයේ බස්නාහිර පළාතේ ශීඝ්‍ර කර්මාන්ත සංවර්ධනයයි. ඒ සඳහා අවශ්‍ය පහසුකම් සඳහා අනෙකුත් පළාත් භාවිතා කෙරුණි.කටුනායක හා බියගම නිදහස් වෙළඳ කලාප බිහි කර සිය ගණන් කර්මාන්ත ඇරඹීමට විදුලිය ලබා ගැනීම සඳහා මහවැලි කඩිනම් යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම ද, රටේ අනික් පළාත් වලින් එකී කර්මාන්ත සඳහා අවශ්‍ය ශ්‍රමය ලබා ගැනීමට වැඩි දෙයක් සිදු නොකෙරිණි. මෙසේ නිදහස ලබනවාත් සමඟ ලංකාවේ පමණක් නොව මුළු අග්නිදිග හා දකුණු දිග ආසියාවේ සිදුකෙරුණු ප්‍රමුඛ සංවර්ධන ව්‍යාපෘතියට තිබූ අවධානය විවෘත ආර්ථිතිකයේ බස්නාහිර සංවර්ධනය තුළින් රට සංවර්ධනය කිරීමේ උපාය මාර්ගයෙන් වැසී ගියේය.

ඒ අනුව අම්පාර පිළිබඳව තිබූ උනන්දුව හා ප්‍රමුඛ ස්ථානය නැතිවී ගියේය. ජේ.ආර්. ජයවර්ධනගේ පාලනය තුළ විසූ පතාක යෝධයින්ට පවා ස්වකීය පළාත් වල සැලකිය යුතු යමක් කිරීමට අපහසු විය.එවන් වාතාවරණයක් තුළ එම රජය නියෝජනය කළ අම්පාරේ “කදෝ පැණියන්”ට හැකි වූයේ විවෘත ආර්ථිකයේ පිහිටෙන් තමන් උදෙසා ධනෝපායන මාර්ග සකසා ගැනීම පමණි.ඒ කාලයේ හාඩි ආයතනයේ ඉංජිනේරු පාඨමාලා වූ විදුලි යාන්ත්‍රික හා සිවිල් ඩිප්ලෝමා පාඨමාලා එවක කටුබැද්ද කාර්මික විදුහලට සම්බන්ධ කෙරිණි. කෘෂිකර්ම ඩිප්ලෝමාව සම්බන්ධ කිරීමට තැනක් නොවූයෙන් එය ඉතිරි විය. කාර්මික විදුහල ගැන සොයා බලන කිසිවෙක් නොවීය. අවුරුද්දේ ජුලි ඔක්තෝම්බර් අතර කාලයේදී නොවැරදීම වන අලි මේ කීර්තිමත් ආයතනය මැදින් ගොස් හිඟුරාන සීනි ආයතනයේ සරුසාර උක් වගාවෙන් සිය කුසගින්න නිවා ගත්හ.

මේ සංචාරය අතර හාඩි ආයතනයේ සේවකයෙකු හෝ සාමාන්‍ය වෘත්තීය පාඨමාලා හදාරන සිසුවෙකුට පහරදී මරා දැමූ අවස්ථාවක පමණක් හාඩිය අම්පාර නගරයේ කතා බහට ලක්විය. නවක සිසුන් බඳවා ගන්නා අවස්ථාවල නවක වදය ගැන ද අසන්නට ලැබුණි. වෙන කිසි දෙයක් ගැන බැලූවෙක් නොවූහ. මේ ගැන සොයන්නට සිටි දේශපාලකයෝ ගල් කැඩූහ. උක් වැව්වෝය. හිමිහිට හාඩි ආයතනයේ තිබූ යල මහ දෙකන්නයටම හොඳින් පැහෙන කුඹුරු අක්කර පහලොව අල්ලා ගෙන “ඩී.එස්. සේනානායක ගුණානුස්මරණ සභාව” නමින් වාර්ෂිකව බදු දී සල්ලි ගත්තෝය.

මේ ලියන මා අම්පාර ප්‍රාදේශීය ලේකම්ව සිටියදී ඔය කුඹුරු අක්කර පහලොව දේශපාලන හස්තයෙන් මුදාගෙන හාඩි ආයතනයේ එවක විදුහල්පති අමරදේව අප්පුහාමි මහතාට භාරදුන්නේ වාර්ෂිකව හාඩි උත්තමයාගේ ගුණසමරු පිංකම ඉන් ලැබෙන ආදායමෙන් සිදුකිරීමට හැකිවන ලෙස ය. විශිෂ්ට විදුහල්පතිවරයෙකු වූ අමරදේව අප්පුහාමි මහතා වාර්ෂිකව දේශපාලකයාට කප්පම් ගෙවමින් ඒ කුඹුර වැඩ කරමින් සිටි එවක හාඩි සේවකයින්ටම බදු දී ලැබෙන ආදායමෙන් එක හාඩි ගුණසමරු පිංකමක් කළ බව මට මතකය.

ඉන්පසු එතුමා කාටත් දෙන සේවා දිගුව නොදී හදිසියේ විශ්‍රාම යැව්වේ නවක වදයකින් සිසුවෙකු මියයාමේ සිද්ධියක් හාඩි භූමියේ වූ නිසාය. (ඒ න්‍යාය අදටත් වලංගු වූයේ නම් ලංකාවේ ගෑස් කොම්පැණි දෙකේම ලොක්කන්ට අද ඉන්දියන් සාගරේ පීන පීනා ඉන්නට සිදුවන්නට තිබුණි.) ඉන්පසු ඒ කුඹුර ඒ කාලේ වැඩ කල අයම සින්නක්කර කරගෙන බව ආරංචි ය. සමහරුන් තමන් වැඩ කළ කොටස් වෙන අයට විකුණා ඇති බව ද අසන්නට ඇත.හාඩියේ විදුහල්පතිවරු ඕවා ගැන දන්නේ ද නැත දැන ගත්ත ද ඕවා රකින්න ගොස් අමරදේව අප්පුහාමිට වූ දේ සිහි වී නිහඬව සිටින්නේ දැයි නොදනිමි. ඒකාලයේ ඉඳහිටවත් හාඩිය ගැන දේශපාලන ලොක්කන්ගෙන් ඇහුවොත් උත්තරය ලැබුනේ “මේ යුද්ධය තියෙන අස්සේ ඕකේ උගන්නන්න කවුරුත් පිටින් එන්නේ නෑ. ඉගෙන ගන්න එන්නෙත් නෑ. ඉතින් මක් කොරන්නද?” යන පිළිතුරයි.

මෙසේ වූ දේශපාලකයින්ට බලය අහිමි වී නව රජයක් බලයට පැමිණ අග්නිදිග විශ්ව විද්‍යාලය ඔලුවිල්වල හදන්න පටන් ගනිද්දී අම්පාරේ සම්බන්ධිකරණ කමිටුවේදී පරණ දේශපාලන බලවතා නව රජයේ බලවතා ගෙන් හාඩිය විශ්ව විද්‍යාලයක් නොකර ඔලුවිල් විශ්ව විද්‍යාලයක් හදන්නේ මන්දැයි ඇසුවේ අපත් සිටි රැස්වීමේදීය. ජනාධිපති නීතීඥයෙකු වූ නව බලවතා ගත් කටටම ඇසුවේ “මට ඔලුවිල් වල විශ්ව විද්‍යාලයක් හදන්න සිදුවී ඇත්තේ ඔබ තුමා හාඩිය විශ්ව විද්‍යාලයක් නොකළ නිසා නේදැ”යි කියා ය. පරණ බලවතා ඒ රැස්වීම අවසන් වනතුරු යළි හිස එසෙව්වේම නැත. නව රජය යටතේ කලකට පසු ඉතුරු වූ එකම ඩිප්ලෝමාව වූ කෘෂි ඩිප්ලෝමාව උසස් තාක්ෂණ ආයතනය නම් ආයතනයකට සම්බන්ධ කර හාඩි නම ඊට දී කාර්මික විදුහල එළියට යැවීමට උත්සාහයක් දියත් කෙරිණි. සුපුරුදු ලෙස සාමාන්‍ය පාඨමාලා හැදෑරූ කොල්ලෝ පාරට බැස්සෝය. හාඩි නමත් ස්ථානයත් දිවි ගියත් අත නොහරින බවට සපථ කළකාර්මික විද්‍යාල සිසු කොල්ලෝ අවසානයේ ජයග්‍රහණය කළෝය. හාඩිය කාර්මික විද්‍යාලය හා උසස් තාක්ෂණ ආයතනය ලෙස දෙකක් එකම නම ඇති ආයතන විය. උසස් තාක්ෂණ හාඩි ආයතනය තමන්ගේ හයියෙන් කීර්තිමත් හාඩියේ අනන්‍ය ගොඩනැගිල්ල වසා නොගැලපෙන තට්ටු ගොඩනැගිල්ලක් හදාගෙන එහි පදිංචි විය.

ඒ අතර හාඩි කාර්මික විද්‍යාලය තමන් ගේ වෘත්තීය පුහුණු පාඨමාලා කීපය පවත්වාගෙන ගියේය. ආයතනයේ ගොඩනැගිලි වල් බිහි විය.වන අලි බියෙන් නේවාසිකාගාර වැසිණි. මා අම්පාර දිසාපති සමයේ 2010 මැතිවරණ ඡන්ද හාඩියේ ගණන් කළයුතු යැයි තීරණය කර මැතිවරණ වියදමෙන් පැරණි ගොඩනැගිලි වල දිරාගිය වහලවල් අලුත්වැඩියා කර මුළු හාඩියම පිළිසකර කරන ලෙසට එවක දිසා වන නිලධාරී කීර්තිමත් වන වෘත්තිකයෙකු වන ලලිත් ගමගේට පැවරුවෙමි.ඔහු සිය කණ්ඩායම සමඟ අතනින් මෙතනින් සම්පත් සපයාගෙන ඒ කාර්යය මැනවින් කළේය. එලෙස හාඩියේ ඡන්ද ගණන් කිරීමක් සිදු වූයේ හැත්තෑ හතෙන් පසුව ය.එමඟින් සෙසු කාල වද දී කෙසේ වෙතත් ඡන්ද කාල වල දී හාඩිය කල එළි වැටුණි.ලංකාවේ වසර හයක් තුළ ඡන්ද හතරක් පවත්වන නිසා හැම ඡන්දයකදීම හාඩිය අලුත් වැඩියා කර දීමට හැකිවන පරිදි එබඳු තීරණයක් ගැනීමට හැකිවීම ගැන අවංකව සතුටු ය.එපරිද්දෙන් දැනුත් කෙරෙනවාද නම් දන්නේ නැත.

හාඩියේ කතාව ඉන් අවසන් නොවීය. ඉන්පසු එළඹියේ හාඩිය විශ්ව විද්‍යාලයක් කිරීමේ කතාවයි. හැම මැතිවරණයකදීම හාඩිය විශ්ව විද්‍යලයක් කිරීමට පිට පොට ගසති. ඡන්දය නිම වූ පසු හාඩියේ ගොඩනැගිලි දෙක තුනක් ඇද වැටීම හැර වෙන දෙයක් නොවීණි. සුප්‍රකට “දැයට කිරුලේ” ඡන්දදී හාඩිය විශ්ව විද්‍යාලයක් කළේ දැයට කිරුළ පැලැන්ද වූ සති දෙකට පමණ ය. අවසානයේ හාඩිය විශ්ව විද්‍යාලය කිරීම අයියාගෙන් මල්ලීට ගියේය. මල්ලීගෙන් අයියගේ පුතාටත් යැවීමට දෝ තවම එසේ නොවිණි. එහෙම ගොස් විශ්ව විද්‍යාලය කිරීමට පෙර අපභ්‍රංශ ගැසටයක් ගසා උසස් තාක්ෂණ ආයතනයෙන් හාඩිය ඉවත් කර කාර්මික විද්‍යාලයට සියල්ල පැවරුවේය. මූනු පොතේ දේශපාලකයෝ පිංතූර ද දමා ගෞරවයට ද අයිතිවාසිකම් කීවෝය.

සුපුරුදු ලෙස කොල්ලෝ කලබල වූහ. මේ එන්නේ හාඩිය විශ්ව විද්‍යාලයක තත්වයකට ගොඩ නැඟීමට නොව කාර්මික විද්‍යාලයටත් වැඩේ දෙන්න බව තේරුම් ගිය කොල්ලෝ පාරට බැස්සෝය.ගැසටය රිවස් කෙරිණි. දැන් ආයෙත් තිබුණු හැටියට ය. ඒ අතර අම්පාරේ මිනිස්සුන් ගේ නියෝජිතයෙකු “මේකේ අම්පාරේ අය නෙවෙයි ඉන්නේ පිට අයයි’ කියා කකුල කටේ දා ගත්තේය. හාඩිය යනු ඊට අනන්‍ය සුවිශේෂී ආයතනයක් මිස පොදු අච්චු වල දමා පාලනය හැකි එකක් නොවේ. එදා හාඩියට සමානව තිබුණේ කොළඹ කාර්මික විද්‍යාලයේ ඉංජිනේරු පුහුණු අංශයයි. එය කටුබැද්දට ගෙන ගොස් ලංකාවේ ප්‍රමුඛ ඉංජිනේරු සරසවිය වන විට හාඩිය නම් වූ එදා තිබුණු ජාත්‍යන්තර කලාපීය පුහුණු මධ්‍යස්ථානය ලෙස ක්‍රියාත්මක වූ කාර්මික විද්‍යාලයත් දෙකඩ කැඩී දඟලමින් සිටින්නේ තඹුත්තේගම යෝධයා සිහිපත් කරවමිනි.

අසාමාන්‍ය කාය ශක්තියකින් යුතුව බිහිවී හැදීවැඩුණු තඹුත්තේගම හේරත් බණ්ඩා නම් වූ යෝධයාව මේ රටේ යොදා ගත්තේ දේශපාලන වේදිකාවේ ඡන්ද හිඟා කෑමට ය.අවසානයේ බීමට ඇබ්බැහි වූ යෝධයා දියවැඩියාව හැදී අකාලයේ පරලොව ගියේය. හාඩි ආයතනය ද මේ අන්දමින් පරලොව යවන්නේ එයින් ගත හැකි ප්‍රයෝජන ගැන අවබෝධයක් නැති නූගත් දේශපාලකයන් ගේ අතිනි. හාඩි ආයතනයේ ඉගෙන ගන්නා හා ඉගෙන ගත්තා වූ සිසුන්ට පින් සිදුවන්නට මේ තරමින් හරි හාඩිය ඉතුරු වී තිබේ.හාඩිය රැක ගැනීම ගැන මුලුමහත් ගෞරවයම දිය යුත්තේ ඊට “බඩ බැඳගෙන ආදරය කරන” එහි සිටි හා සිටින කොල්ලන්ට හා කෙල්ලන්ට ය. මේ නිසා හාඩිය සතු ඓතිහාසික අනන්‍යතාවය සහිත සුවිශේෂී ආයතනයක් නිර්මාණය කර මාස හයේ පාඨමාලාවේ සිට උපාධි දක්වා ප්‍රගුණ කරන අධ්‍යාපනය දෙන ආයතනයක් බිහි කරන්න පුළුවන් පාලනයක් රටට ලැබෙන තුරු හාඩිය බේරා ගැනීම එහි ඉන්නා හා හිටපු කොල්ලන්ට හා කෙල්ලන්ටම භාර ය.මා එසේ කියන්නේ ශ්‍රී ලාංකීය තාක්ෂණික අධ්‍යාපනයට නාඬි බලය ලබා දුන් අම්පාරේ හාඩිය වත්මන් දේශපාලකයන් විසින් ජාඩි දැමීමට ඇති අවදානම සැලකිල්ලට ගනිමිනි.

සුනිල් කන්නන්ගර කොළඹ,රත්නපුර සහ අම්පාර හිටපු මහ දිසාපති

එතෙර - මෙතෙර