ලිහිණියාවේ හඳුන් දිවි අකල් මරණ වලකන ක්‍රමයක් නැද්ද?

lihiniyawe

කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ලිහිණියාව ප්‍රදේශයේ දී පසුගිය 20 වන දින සවස් කාලයේදී මාර්ගය හරහා ගමන් කරමින් සිටි හඳුන් දිවියෙකු මාර්ගයේ ධාවනය වූ වාහනයක ගැටී අවාසනාවන්ත ලෙස දිවි අහිමි වී ඇති බවට වාර්තා විය. මෙලෙස මියගිය සත්වයාගේ සිරුර අනතුර සිදුවූ ස්ථානයේ මඳ වේලාවක් තිබී ඇති අතර පසුව මියගිය සත්ත්වයාගේ සිරුර අනතුර සිදුවූ ස්ථානයෙන් අතුරුදහන් වී ඇත. අනතුරෙන් මිය ගිය මෙම වනජීවී සත්වයාගේ සිරුර කිසියම් අයෙකු රැගෙන ගොස් ඇති බවට ප්‍රදේශ වාසීහු සැකකරති.

ශ්‍රී ලංකාවේ ඉහලම ජෛව විවිධත්වයක් දක්නට ලැබෙන මෙම ප්‍රදේශය යගිරල රක්ෂිත වනාන්තරය සහ පැණිවැල් මූකලාන, නාවලකන්ද රක්ෂිත කලාපය, මීගහතැන්න රක්ෂිත කලාපය, හලවල් කැලේ වනාන්තරය, මල්ගස්ඕවිටදෙණිය කඩොලාන සංරක්ෂිත වනාන්තරය ආදී වැසිවනාන්තර පද්ධති කිහිපයකින්ම ආවරණය වී ඇත. මෙම සුවිශේෂී පරිසර කලාපය තුළ ඉහල ශාක සහ සත්ත්ව විවිධත්වයක් පවතින අතර මෙරටට ආවේණික වනජීවීන් විශාල ප්‍රමාණයක් මේ ආශ්‍රිතව වාසය කරති. නමුත් මෙම වනජීවීන් සම්බන්ධව කටයුතු කිරීම සඳහා ප්‍රදේශය තුළ වනජීවී කාර්යාලයක් නොමැති නිසාවෙන් ඉතාමත් අවාසනාවන්ත ලෙස අපගේ වටිනා වනජීවී සම්පත් අහිමි වීම සිදුවේ.

මතුගම සිට පැලවත්ත දක්වා දිවෙන මාර්ගයේ ලිහිණියාව ප්‍රදේශයේ ඉතාමත් කෙටිකාලයක් තුළ දී මෙලෙසම වාහනවල ගැටී හඳුන් දිවියන් කිහිප දෙනෙකුගේම දිවි අහිමිවීම සිදු වූ අතර මෙම ප්‍රදේශය ආශ්‍රිතව දිවියන් වාර්තා වීම නිසාවෙන් සහ දිගින් දිගටම මෙලෙස අනතුරු මගින් මෙම සතුන්ගේ දිවි අහිමිවීම නිසාවෙන් එම සතුන්ගේ සහ අනෙකුත් වනජීවීන්ගේ ජීවිත ආරක්ෂා කිරීම ඉතා වැදගත් අවශ්‍යතාවකි.ඒ සඳහා අඩුපාඩුවක්ව පවතින වනජීවී කාර්යාලයක් වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට ලබා දෙන ලෙස වනජීවී දෙපාර්තමේන්තුවෙන් වසර ගණනාවක ‌සිට ඉල්ලා සිටියද, එය ඉටු නොවීම නිසාවෙන් මෙලෙස අහිංසක ජීවිත විනාශවීම දැකිය හැක.
2022 වර්ෂයේ මාර්තු මස සිට වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ වනජීවී කාර්යාලයක් ක්‍රියාත්මක කිරීම සඳහා අප සියළු කටයුතු සිදු කර ඒ සඳහා වනජීවී දෙපාර්තුමේන්තුවේ අනුමැතිය ලබා ගෙන ඇතත් වනජීවී දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් විසින් තවමත් එම කාර්යාලය ක්‍රියාත්මක නොකර වනජීවීන් සංරක්ෂණයට කටයුතු නොකරමින් සිටිනු දක්නට ලැබේ.

තවද පළමු හඳුන්දිවියාගේ මරණය වාර්තාවූ පසු මාර්ග සංවර්ධන අධිකාරියේ පාරිසරික හා සමාජ සංවර්ධන අංශය දැනුවත් කළ පසු එම අංශයේ නිලධාරීන් විසින් මෙම ප්‍රදේශයේ ස්ථානීය පරීක්ෂණයක් සිදුකොට මෙම මාර්ගය ආශ්‍රිතව වාර්තා වන වනජීවීන් හට මෙවැනි අකල් මරණයන්ට ඉදිරියේදී ගොදුරු වීමට ඉඩ නොදී ඔවුන්ගේ ජීවිත රැකගැනීම සඳහා අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ඔවුන් පවසා සිටිය ද අදටත් එය වචනයට පමණක් සීමා වී ඇත.

මෙම ප්‍රදේශය ආශ්‍රිතව මෙවැනි වන ජීවීන් විශාල වශයෙන් වාර්තා වන අතර වනජීවී දෙපාර්තමේන්තුව විසින් මෙම ප්‍රදේශයට අනුමත වී ඇති වනජීවී කාර්යාලය ඉක්මනින්ම පිහිටුවා වනජීවීන් සංරක්ෂණය කිරීම සඳහා කටයුතු කරන්නේනම් ඉදිරියේදි මෙවැනි අවාසනාවන්ත මරණ වලක්වා ගැනීමට හැකියාව ලැබේ. එමෙන්ම සිංහලෙන් හඳුන් දිවියා සහ ඉංග්‍රීසි බසින් Fishing cat සහ Prionailurus viverrinus යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මෙම වනජීවී සත්වයා වනසත්ව හා වෘක්ෂ­ලතා ආර­ක්ෂණ ආඥා පනත මගින් ආරක්ෂිත සත්ත්වයෙකු බැවින් මියගිය සත්ත්වයෙකු වුවද වනජීවි දෙපාර්තමේන්තුවේ ඇති නිර්දේශයන්ට යටත්ව අවසන් කටයුතු සිදු කළ යුතු වේ. නිසි අවසරයකින් තොරව සත්වයාගේ ශරීර කොටස් රැගෙන යාම සිදු කළ නොහැකි නමුත් මෙම සත්වයාගේ සිරුරට සිදුවූ දේ පිළිබඳව සොයා බලා නීතිය ක්‍රියාත්මක කිරීම අදාල නිලධාරීන් විසින් සිදුකළ යුතුවේ. තවද අපගේ වටිනා තවත් වනජීවී සම්පත් මෙලෙස අවාසනාවත්ත ලෙස අහිමි වීමට ඉඩ නොදී ඒ සඳහා ගතයුතු කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම සඳහා අදාල ආයතන ද කටයුතු කළ යුතු වේ.

පේශල පසන් කරුණාරත්න

හරිත දනව්ව