නව වසරේ ලග්න පලාඵල හරියටම හරිද? – ජ්‍යොතිර්වේදී විචාරයක්

jothi

“නව වසරේ ඔබේ කල දවස”, “ඉදිරි වසර ඔබට කොහොමද ?’ ආදී වශයෙන් වන සිරස්තල වලින් යුතු පලාඵල විස්තර සෑම වසරක් අවසානයේම සහ නව වසරක් ආරම්භයේම පුවත් පත් වල දක්නට ලැබේ. එමෙන්ම ගත වූ දශක කිහිපය තුළ මුද්‍රිත මාධ්‍යය අබිබවා රූපවාහිනී විද්‍යුත් මාධ්‍ය සම්බන්ධ ජනප්‍රියතාව ඉහළ නැංවීමත් සමඟ නව වසර සඳහා අනාවැකි නම් වන විශේෂ වැඩසටහන් ද ප්‍රචාරය විය. මීට අමතරව කලින් අප සමාජයේ අලෙවි වූ බිත්ති ලිත අද වන විට “ලිතයි පොතයි” යන නව ආකෘතියක් දක්වා ප්‍රවර්ධනය වී තිබේ. ඉහත සඳහන් පුවත් පත්, රූපවාහිනී සහ ලිත් සමඟ විකිණෙන පොත් ආදී සෑම දෙයකින්ම පැවසෙනුයේ එක් එක් පුද්ගලයාට හිමි ලග්නය අනුව නව වසර හා සම්බන්ධ අනාවැකි කීමකි. එහෙත්, මෙලෙස අනාවැකි අසන්නෝ සහ කියවන්නෝ බොහොමයක් මෙම අලුත් අවුරුදු පලාඵල සම්බන්ධ පසුබිම් කතාව නොදනිති.මේ ඒ සම්බන්ධයෙන් ජ්‍යොතිෂය මතම පදනම් ව කෙරෙන විචාරයකි.

එම ක්‍රමයේ ඇති සාධනීය බව කෙසේ වෙතත් එක් එක් පුද්ගලයාගේ ලග්නය පදනම් කර ගනිමින් අනාවැකි කීමේ මූලික හැකියාවක් ජ්‍යොතිෂය සතුව තිබේ.ක්‍රි.ව පස් වන සියවසේ ඉන්දියාවේ විසූ වරාහමිහිර වැනි පඬි වරුන් ද ඒ බව කියා තිබේ. ඒ අනුව එය සිද්ධාන්ත විරෝධී යැයි කිසිවකුටත් කිව නොහැක. එමෙන්ම එක් එක් පුද්ගලයාගේ ලග්නය කේන්ද්‍ර ගතව සේම ඒ පුද්ගලයා ගේ ජන්ම නැකත ආදී වෙනයම් සාධක පදනම් කර ගනිමින් අනාවැකි කීමේ හැකියාවක් ද ජ්‍යොතිෂය සතුව තිබේ. නමුදු ජ්‍යොතීර්වේදයේ සම්මත නැකත් ප්‍රමාණය විසි හතක් වන අතරේ ලග්න ප්‍රමාණය දොලහක් වීම සේම බොහෝ දෙනකු තමන් ගේ ජන්ම නැකත නොදැන හිඳීම ආදී හේතු මුල් කොට මෙලෙස එක් එක් පුද්ගලයාගේ ලග්නය මත පදනම්ව අනාවැකි කීම ලොව පුරා ජනප්‍රිය වී තිබේ. නමුදු උපන් නැකත අනුව පලාඵල කියන්නේ නම් එම පලාඵල විස්තර තව දුරටත් විවිධාංගීකරණයට ලක් කළ හැකි වනු ඇත.

එමෙන්ම “එළැඹෙන හෝ එළැඹි නව වසරේ ඔබට කොහොමද?” යනුවෙන් දෙසැම්බර් අවසානයේ ජන මාධ්‍ය මගින් ලග්න පලාඵල විසුරුවා හැරෙන අතරේ ජනවාරිය ඉක්ම ගොස් සිව් මසක් ඇවෑමෙන් එළැඹෙන සිංහල අලුත් අවුරුද්ද පදනම් වන පලාඵල ගොන්නක් ජනතාව අතරේ මුදා හැරීමේ මාධ්‍ය සම්ප්‍රදායක් ද තිබේ. ඒ අනුව අප සමාජයේ බොහෝ දෙනකු සිතා සිටිනුයේ සෑම වසරකම ජනවාරි පළමු වැනිදා සහ සිංහල අලුත් අවුරුදු දා එලෙස අනාවැකි කීමේ විශේෂත්වයක් ජ්‍යොතීර්වේදය සතුව පවතින බවකි. නමුදු ඒ සම්බන්ධ සත්‍ය පුවත වනුයේ මෙවන් පලාඵල කථනයක යෙදීමට ජනවාරි පළමු වෙනිදා සේම ජුනි හත් වෙනිදා අගෝස්තු එකොලොස් වෙනිදා ආදී වශයෙන් වන වසරේ ඕනෑම දිනයක් තුළ කිසිදු විශේෂත්වයක් නොමැති බවකි. ඒ අනුව වසරේ ඕනෑම දිනයක් මුල් කොට එවන් පලාඵල විස්තරයක් සැකසිය හැකි බව ඒකාන්ත වශයෙන් පැවසිය යුතු ය.

නමුදු ජන මාධ්‍ය යන ජන මනැස, ජන විඥානය හා සමාන්තර ගමනක යෙදෙන විෂයකි. සෑම වසරක් වැනි සමාජමය වශයෙන් වැදගත් කාලමය සංසිද්ධියක් මුල්කොට ජන මනැස පුබුදුවා ලීමේ සමාජමය යුතුකමක් හා වගකීමක් ජන මාධ්‍ය සතුව පවතී. ඒ අනුව සෑම වසරකම ඇරඹුම, සිංහල අලුත් අවුරුද්ද වැනි ජන මනැස තුළ නවතාවයක් සනිටුහන් කෙරෙන කාල වකවානු මුල් කොට ජනතාව තුළ සුබවාදී බලාපොරොත්තු දල්වා ලීම පිණිස මෙම නව අවුරුදු ලග්න පලාඵල එළිදැක්වීම කරනු ලැබේ.නමුත් එය සාධනීය තත්වයක් වනුයේ එය සුබවාදී ආකාරයෙන් ඉදිරිපත් කළ හොත් පමණි.

මේ අතර එක් එක් පුද්ගලයාගේ ලග්නය හා පදනම්ව පලාඵල කීමට ඇති හැකියාව ප්‍රායෝගික ලෙස කෙතරම් සත්‍යයක් ද යන්න ද අප විශ්ගේෂයෙන් සලකා බැලිය යුතු තත්වයකි. මෙම තත්වය බලවත් සමාජ අර්බුදයක් බවට පත් වූයේ පසුගිය කාලයේ ජ්‍යොතීර්වේදීන් ලෙසින් වෙස්වලා ගෙන රූපවාහිනී මැදිරි වලට අරක් ගෙන සිටි සිද්ධාන්තමය ජ්‍යොතීර්වේදය පිළිබඳ හයක් හතරක් නොදත් අඳ බාලයන් ගේ කියුම් කෙරුම් නිසා ය. යමකු ගේ ජන්ම කේන්ද්‍රයක් මුල් කොට අසුබ අයහපත් ග්‍රහ පිහිටීමක් පෙන්නුම් කෙරෙන විට එය ඒ පුද්ගලයාට සෘජු ලෙස නොපැවසීමේ ජ්‍යොතීර්වේදී ආචාර ධර්ම සම්ප්‍රදායක් අප සමාජයේ සිටි සම්භාවනීය ජ්‍යොතීර්වේදී පරපුර සතුව තිබිණ. ඒ අනුව ලග්න පලාඵල වැනි පොදු සාධක මුල් කොට පලාඵල කීමේදී ඒවා හුදු අනාවැකි ලෙස ඉදිරිපත් නොකිරීමට ද ඔව්හු වගබලා ගත්හ.

නමුදු පසුගිය කාලය තුළ ජ්‍යොතීර්වේදීන් ගේ වෙස්ගෙන රූපවාහිනී මැදිරි වලට අරක් ගත්ත නා නා ප්‍රකාර කේවට්ටයන් ලග්න පලාඵල මුල් කොට පවා “මේ අවුරුද්දේ මැද භාගයේ ඔබට හදිසි අනතුරක් සිදුවීමේ හැකියාවක් තිබේ” යනු කිසිදු ශාස්ත්‍රීය පදනමකින් තොර බේගල් ජ්‍යොතිෂ අනාවැකි වශයෙන් ඇද බානු අපි දැක ඇත්තෙමු. එහෙත් 2020 වසරේ මුල් භාගයේ ලෝක වසංගතයක් දක්වා පැතිර ගිය කොවිඩ් වසංගතය අත ළඟටම පැමිණ තිබියදී 2019 වසරේ දෙසැම්බරයේ ඔවුන් පළ කළ ජ්‍යොතිෂ අනාවැකි පට්ටපල් බොරු බවට පත් වීම ආදී හේතු සාධක මත අද වන විට එම තොරොම්බල් ජ්‍යොතිෂ නඩයට කුමක් වූයේ ද ? යන්න පවා අපි නොදනිමු. එහෙත් ඔවුන් ජ්‍යොතීර්වේදය වැනි උතුම් ශාස්ත්‍රයක් එලෙස කුණු කොල්ලයට විකිණීමෙන් සිදුවූ සමාජමය අලාභය එක් වරම පියවා ගැනීම ද අසීරු කරුණක් වනු ඇත.

මෙම ලෝක ධාතුවේ සිදු වන සෑම සංසිද්ධියක්ම තත්කාලීන ග්‍රහචාරය මත පදනම් ව සිදු වන බවට කිසිදු ජ්‍යොතිෂ සිද්ධාන්තයක නොදැක්වෙයි.ග්‍රහචාරය යනු ලෝකයේ පැවැත්ම සම්බන්ධයෙන් අතීතයේ විසූ මහා ප්‍රාඥයන් හෙළි කර ගත් එක් සත්‍යයක් පමණි.නමුදු මෙම යථාර්ථය;සෛද්ධාන්තමය සත්‍යය යටපත් කර ගන්න නූගතුන් සහ කපටි කයිරාටිකයන් අද වන විට මෙම විෂය පථය “ගරානාවක්” කර ගෙන තිබේ.
වර්තමාන ජන මාධ්‍ය කරුවන් හා සසඳන විට මීට දශක කිහිපයකට මෙරට ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ පතාක යෝදයන් වශයෙන් සිටි ගුණදාස ලියනගේ වැන්නවුන් තම පුවත් පත් වල පළවන ලග්න පලාඵල ආදිය ද පෞද්ගලික විමර්ශනයට ලක් කළ අතර “මිනිස්සු බිය ගන්වන පලාඵල නම් පැත්ත පලාතක ගේන්න එපා” යැයි එම පුවත් පත් වලට ජ්‍යොතිෂය ලිපි සැපයූ ජ්‍යොතීර්වේදීන්ට විහිළුවක ස්වරූපයෙන් පැවසූ බව ප්‍රකට රහසකි.

ජ්‍යොතිෂයට අනුව සාමාන්‍යයෙන් වර්ෂයක් තුළ චන්ද්‍රයා දින දෙක හමාරක් වශයෙන් ද රවි සහ බුද මාසයක් වශයෙන් ද කුජ සහ ශුක්‍ර දින හතලිහක් වශයෙන් සිය ගෝචර ගමන් රටාවේ නියුතු වෙයි. ඒ අනුව ලග්නමය පදනම පසෙක තැබුවද එක් එක් පුද්ගලයාට හිමි සුබ අසුබ ආදී පලාඵල වෙනස් වීමට බලපාන තවත් සාධක බොහොමයක් සිද්ධාන්තමය ජ්‍යොතීර්වේදය පෙන්වා දෙයි. ඒ අතරින් ප්‍රධානතම තැනක් ගනුයේ එම පුද්ගලයා ගේ කේන්ද්‍රයයි.

මේ සියලු තත්වයන් යටතේ වසරේ ලග්න පලාඵල ලෙසින් විවිධ ජන මාධ්‍ය මගින් ඉදිරිපත් කෙරෙන එකි`නෙකට ඉදුරාම වෙනස් පලාඵල සියල්ල පිළිගැනීමට සේම එක් වරම බැහැර කිරීමට වඩා කළ යුතු වැදගත් කාරියක් පිළිබඳව ජ්‍යොතිෂයට සම්බන්ධ අයකු ලෙස මට මෙසේ කිව හැක. එනම් ඒවා පිළිබඳව සිහිනුවණන් විමසා බලන ලෙසයි.

හේම ශ්‍රී අමරසිංහ

එතෙර - මෙතෙර