සීතා දේවිය සඟවා තැබූ බව කියන රාවණා උමං මග සහ නිල්දිය පොකුණ 

nildiya-pokuna

අපේ රටේ දැනට සොයා ගෙන තිබෙන විශාලතම භූගත ගල් ගුහාව සහ එය කෙළවර පිහිටි ඉතාමත් පිරිසිදු වූ නිල් පැහැයෙන් දිස්වන ජලය ඇති නිල්දිය පොකුණ ගැනයි මේ කතා කරන්නෙ. සොබාදහමේ අතිසුන්දර නිමැවුමක් වුවත්, ඇත්තටම මෙය නැරඹීමට යාම බිහිසුණු අත්දැකීමක් බව විශේෂයෙන් සඳහන් කළ යුතුයි. අප මෙය ඉදිරිපත් කරන්නේ ඔබට එහි යාමට උනන්දුවක් ඇති කිරීමට වඩා අපේ රටෙහි මෙවැනි සොබාදහමේ විස්මිත නිමැවුම් තිබෙන බවට ඔබ දැනුවත් කරන්නටයි.

බණ්ඩාරවෙල, ඇල්ල හරහා වැල්ලවාය මාර්ගය තමයි නිල්දිය පොකුණට යන මාර්ගය වන්නෙ. රාවණා රජු දිය නෑ බවට ජනප්‍රවාදයෙහි එන රාවණා දිය ඇල්ල ගලා බසින කඳු යායේ නිල්දිය පොකුණ පිහිටා තිබෙනවා. මෙම ගුහාව තුළ රාවණා රජු විසින් සීතා දේවිය සඟවා තැබූ බවට ද ජනප්‍රවාදයෙහි එනවා. ඇල්ල – වැල්ලවාය මාර්ගයේ කරඳගොල්ල පාසල ආසන්නයේ තිබෙන කි. මී. දහයෙ කණුව අසලින් ඇති අඹ වතුයාය පටු මාර්ගයේ කි. මී. දෙකක් පමණ දුරක් උස් කඳු යාය දිගේ ඉහළට යා යුතුයි. ඉන්පසු කඳුයායේ බෑවුම දිගේ කෙටි දුරක් ගිය විට ගුහාවට පිවිසෙන මාර්ගය හමු වෙනවා.⁣මෙම පිවිසුම් මාර්ගය වැටී තිබෙන්නේ ගල් පර්වත දෙකක් අතරිනුයි.

අඩි දෙක තුනකට වඩා විශාල නොවූ විෂ්කම්භයක් ඇති විවරයකින් ඇතුල් වී අඩි දෙසීයක් පමණ ප්‍රපාතයක පිහිටි උමං මග දක්වා යා යුත්තේ එක්කෙනා පසුපස එක්කෙනා ලෙසිනුයි. මෙම උමග රාවණා උමග ලෙසින් ද හඳුන්වනවා. තබන අඩියක් අඩියක් පාසාම අඩි ගණනක් පහතට වූ ප්‍රපාතයන්ගෙන් මෙම රාවණා උමග සමන්විතයි. අනෙක් විශේෂම දේ මේ තුළ තිබෙන්නේ කෑලි කැපිය හැකි තරමේ ඝන අඳුරක්. ඒ නිසා මේ ගමන යන කෙනෙකුට තියුණු එළියක් සහිත විදුලි පන්දම් භාවිත කරන්නට වෙනවා. ඒ වගේම මේ උමං මාර්ගය වවුලන්ගේ සහ වැහිලිහිණියන් ගේ රජදහනක්. ඔවුන්ගේ කෑගැසීම් එම උමං මාර්ගය තුළ දෝංකාර දෙන්නේ එක්තරා ආකාරයක අද්භූත හඬක් ලෙසිනුයි.

උමං මාර්ගයේ පළමු අදියර අවසානයේ දී දක්නට ලැබෙන්නේ අර්ධ ගෝලාකාර වූ පියැස්සකින් යුතු සුවිශාල ශාලාවක් වැනි ගුහාවක්. එම ශාලාව පසුකර උමං මාර්ගයේ දෙවැනි අදියර ටික දුරක් යනවිට භූගත ගුහාවලටම ආවේණික වූ ඉතා අලංකාර හුණුගල් මල් දැකිය හැකියි.

ඊළඟට පසු කරන්නට තිබෙන්නේ ඉතාමත් අවදානම් වූ පටු මාර්ගයක්. මෙය තරමක් ලිස්සන සුළුයි. අඩියෙන් අඩිය පහතට ගමන් කරන විට ඉතාමත් සුන්දර වූ, තද නිල් පැහැයෙන් යුතු, කිසිදු සෙලවීමක් නැති, අති පිරිසිදු ජලය තුළින් පතුල පවා පැහැදිලිව පෙනෙන නිල්දිය පොකුණ දැකගන්නට ලැබෙනවා.
මෙලෙසින් උමං මාර්ගයේ ආරම්භක ස්ථානයේ සිට නිල්දිය පොකුණ දක්වා ඇති දුර දළ වශයෙන් මීටර් 400ක් පමණ වන බවයි සඳහන් වන්නේ.

සැබැවින්ම මෙම පොකුණ විශ්වාස කරන්නට අපහසු තරමේ අපූරු අලංකෘත නිර්මාණයක්. මෙහි විශාලත්වය දළ වශයෙන් අඩි 40 -50 ක පමණ ප්‍රමාණයක් බව බැලූ බැල්මට පෙනෙනවා. ඉවුරේ සිට අඩි 10 – 15ක පමණ වන තරමේ ගල් කුලකුත් පොකුණත් යා වී තිබෙන්නේ පොකුණට සෑදුණු පියැස්සක් ආකාරයටයි. පොකුණ මධ්‍යයට වන්නට ගල් බැම්මක් ඇති අතර ඉන් එපිටට ද පොකුණ විහිදී තිබෙනවා. පොකුණෙහි පතුල මුළුමනින්ම නිර්මාණය වී තිබෙන්නේ ගල් කුට්ටිවලින්. මුදුනේ ඇති ගල් අතරින් ජල බිංදු බැගින් පහතට වැටෙන ආකාරය විදුලි පන්දම් එළියෙන් දකින්න පුළුවන්. ඒත් එවැනි දෙයක් මිස පොකුණට ජලය ගලා එන ආකාරයක් හෝ ජලය පිරී ඉතිරී ගලා යන ආකාරයක් දකින්නට නැහැ. එය ඇත්තෙන්ම විශ්මය ජනකයි.

පොකුණේ ජලය ද පිරී ඉතිරී යන ප්‍රමාණයකින් නොවෙයි පවතින්නේ. එය සාමාන්‍යයෙන් වැඩුණු පුද්ගලයෙකුගේ පාදයේ පතුලේ සිට දණහිස දක්වා වන ප්‍රමාණයක්. එම ජලයට මඩ මිශ්‍ර නෑ. පොකුණ තුළ තද නිල් පැහැයෙන් දිස් වුවත් එම වතුර භාජනයකට රැගෙන ගොස් හිරු එළියට අල්ලා බැලූ කල එය ඉතාමත්ම පිරිසිදු අවර්ණ වතුරක් බව ඕනෑම කෙනෙකුට පෙනී යනවා.

මෙහි ඇති සුන්දරත්වය තරමටම එම ගමනෙහි ඇති අවදානමත් ප්‍රබලයි. යම් හෙයකින් මෙම රාවණා උමග සහ නිල්දිය පොකුණ නරඹන්නට කැමැත්තක් ඔබ තුළ තිබෙනවා නම් ඒ සඳහා පළපුරුදු මගපෙන්වන්නකුගේ උපකාරය ලබා ගැනීම වඩාත් ඥානාන්විත පියවරයි.

ඉන්දු පෙරේරා

ජායාරූප අන්තර්ජාලයෙනි

හරිත දනව්ව