මඟී ජනතාවගේ වදන් වලින්ම කිවහොත් සේවා අවශ්‍යතා නොසළකා “මහ දැනමුත්තාගේ න්‍යාය”ට අනුව ශ්‍රී ලංකා දුම්රිය සේවයේ සේවකයන් 500 කට ආසන්න සංඛ්‍යාවක් විශ්‍රාම ගැන්වීම් හේතුවෙන් මේ වන විට නියමිත දුම්රිය වාර සැලකිය යුතු ලෙස අවලංගු වෙමින් තිබේ.එනිසා මේ වන විටත් ජනතාව “කැඩෙන බිඳෙන දේවල් කොතෙකුත් ඇති” දුම්රිය ස්ථාන වල “බලු දුක්” විඳිති.මේ අතර දැනට පවත්නා සේවක හිඟය මත දුම්රිය සැලකිය යුතු ප්‍රමාණයක් අවලංගු විය හැකි බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරි ගාමිණි සෙනවිරත්න ප්‍රකාශ කරයි.කෙසේ වෙතත් මින් සිදුවන අපහසුතා මඟහරවා ගැනීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව කඩිනමින් අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ද නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරි වරයා වැඩිදුරටත් සඳහන් කරයි.දුම්රිය දෙපාර්තතමේන්තුව පසුගිය දෙසැම්බර් 31 වන දා සේවා අවශ්‍යතා නොසළකා එම දුම්රිය සේවකයන් 500 කට ආසන්න පිරිසක් විශ්‍රාම ගන්වා ඇත්තේ 2021 අංක 21 දරන සේවකයන් විශ්‍රාම යාමේ අවම පනත අනුව ය.එම පනත උල්ලංඝනය කරන කවරකුට එරෙහිව හෝ නඩු පැවරීමේ බලය කම්කරු කොමසාරිස් ජනරාල් වරයා සතුව පවතී.
මේ අතර දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසා හිඳිනුයේ දුම්රිය සේවාව සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම පිණිස එම සේවකයන් කොන්ත්‍රාත් පදනම යටතේ යළි සේවයට බඳවා ගන්නා බවකි.මේ අතර සේවක හිඟය හේතුවෙන් දුම්රිය ගමන්වාර 60 කට වැඩි සංඛ්‍යාවක් අද (2) දිනයේදී අවලංගු විය හැකි යැයි දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න ද ඊයේ මාධ්‍ය හමුවක දී පැවසීය. මේ දක්වාත් එම සේවකයන් කොන්ත්‍රාත් පදනම මත නියමිත පරිදි සේවයේ පිහිටුවා නොමැති බව කී සභාපති වරයා භාණ්ඩාගාර අනුමැතියකින් තොරව වසර එක හමාරක් කොන්ත්‍රාත් පදනම මත සේවය කළ සේවකයන් සිවු දෙනකු ගෙවීම් නොකර සේවයෙන් ඉවත්කර ඇති බව ද සඳහන් කළේය.ඔහු ගේ එම ප්‍රකාශය තුළ බරපතල ගැටළුවක් ගැබ් ව තිබේ.එමෙන්ම ඒ අනුව පසුගිය 31 වන දා විශ්‍රම ගිය කිසිවකුත් කොන්ත්‍රාත් පදනම යටතේ සේවය කිරීමට නො එනු ඇත. අත්‍යවශ්‍ය සේවාවක් ලෙස සැලකෙන දුම්රිය සේවාව සඳහා කොන්ත්‍රාත් පදනමින් යළි සේවයේ පිහිට වූ ඉහත සඳහන් සේවකයන් සිවු දෙනාට දීමනා ලබා දීමට භාණ්ඩාගාර අනුමැතිය නොලැබුණේ මන්ද යන්න විස්මයට කරුණකි.
රජයේ දෙපාර්තමේන්තුවක් වෙනයම් ආයතනයක් හෝ පෞද්ගලික ආයතනයක් සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩලය එහි දැනට හිඳින කාර්ය මණ්ඩලය සහ සේවක අතිරික්තය සහ පුරප්පාඩු සංඛ්‍යාව පිළිබඳ නිවැරදි දර්ශකයක් එම ආයතනයේ පාලනාධිකාරිය සතුව තිබිය යුතුම ය.එමෙන්ම ඒ සේවක සංඛ්‍යාවෙන් කොටසක් පුරප්පාඩු වන විට එය අභ්‍යන්තරික ලෙස පිරවීමේ යාන්ත්‍රණය ද ඔවුන් සතුව තිබිය යුතුම ය.එසේ නොමැති වීම ප්‍රමාණවත් පරිදි ඉන්ධන නොමැති දුම් රිය කට්ටලයක් දුර සේවා ධාවනයක යෙදවීමක් මෙනි.මන්ද යත් අතර මඟ කොතෙක් ඉන්ධන පිරවුම් හල් තිබුණ ද දුම්රියට ඉන් ඵලක් නොමැති බැවිනි. දුම්රිය දෙපාර්තමේන්තුව තුළ පවතින මෙම අකාර්යක්ෂම භාවය කොතෙක් ද යත් අද වන තුරු දුම්රිය සේවයේ විශේෂිත පුහුණු ශ්‍රමික ශ්‍රේණි ගණනාවක පුරප්පාඩු පවතින බවත් දැනට ඒවායේ නියුක්ත වන්නවුන් විශ්‍රාම ගිය පසු ඒවා ඉදිරියට පවත්වා ගෙන යාම ගැටළුවක් බවත් දුම්රිය සේවකයෝ පෙන්වා දෙති.ඊට හේතුව එම ඇබෑර්තු සඳහා සුදුස්සන් පත් නොකිරීම බව ද කියනු ලැබේ.එමෙන්ම දෙපාර්තමේන්තුව දුම්රිය ස්ථානාධිපතිවරුන් බඳවාගත්ත ද තනතුරු අනුමත කිරීම 2013 වසරෙන් පසු මේ දක්වාම ක්‍රියාත්මක කර නොමැති බවත් මෙම තනතුරු ප්රශ්නය හේතුවෙන් මාතර සිට බෙලිඅත්ත දුම්රිය ස්ථාන ඉදිරියේ වසා දැමීමට සිදුවන බවත් දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති වරයා කීය.දුම්රිය බලධාරීන් මෙම ගැටලුවලට විස්තර නොදෙන්නේ නම් ලබන 9 වැනිදා සිට වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.
මේ තත්වය යටතේ අප රටේ දුම්රිය සේවය පිළිබඳව තිබූ මහජන විශ්වාසය බරපතල ලෙස බිඳ වැටී ඇති බවත් අද වන විට අප රටේ දුම්රිය සේවය”එදා වේල ටුවර්ස්”තත්වයට පත් ව ඇති බවත් මඟීහු මැසිවිලි නඟති.එහෙත්, ඔවුන්ගේ මෙම කතාව බරපතල ප්‍රතිවිපාක පිළිබඳ ඉඟියක් බවට පත් වනුයේ ප්‍රවාහන අමාත්‍ය වරයාගේ සිට දෙපාර්තමේන්තු ප්‍රධානීන් දක්වා ගෙන යන මෙම “එදා වේල ටුවර්ස්” ප්‍රතිපත්තිය තුළින් දිනපතා දුම්රිය සේවය යොදා ගන්නා රජයේ සේවකයන් ඇතුළු පොඩි මිනිහාට “එදා වේල සොයා ගත නොහැකි වීමේ” පැහැදිලි අවදානනමක් පැන නැඟී ඇති බැවිනි.නමුත් ඊට පෙර ජනතාව ද ඇස් කන් පියා ගෙන නිහඬව නිදි වදිතැයි සිතීමට අපට නොපුළුවන.
දමයන්ති ගමගේ