බොලිවුඩයේ සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ රසික රසිකාවියන්ට මෙම 2023 වසර සතුටුදායක වසරක් වනු ඇත. මන්ද යත්, වසර හතරකට ආසන්න විරාමයකින් පසු ෂාරුක් නැවතත් ඔවුන් හමුවට පැමිණීමට නියමිත බැවිනි. ඔහු රඟපාන එක චිත්‍රපටයක් නොව චිත්‍රපට තුනක්ම මෙම වසරේ තිරගත වීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මේ වනවිට 57 වැනි වියෙහි පසුවන ෂාරුක්ගේ චිත්‍රපටයක් අවසන් වරට තිරගත වූයේ 2018 වසරේ ය. ඒ සීරෝ (Zero) නැමැති සිනමාපටය යි. එහි ඔහු සමග ප්‍රධාන කාන්තා චරිතය රඟපෑවේ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලිගේ බිරිඳ වන අනුෂ්කා ෂර්මා ය. එයින් පසු ෂාරුක් සිනමා රංගනයෙන් දිගු කලෙකට සමුගත්තේ ය. ඔහු එවැනි පියවරක් ගත්තේ මන්ද යන්න සම්බන්ධයෙන් එකල විවිධ කතන්දර පළ විය. ඔහු රඟ පෑ අවසන් චිත්‍රපට කිහිපයක්ම සිතූ තරම් ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගන්නට සමත් නොවූ නිසා ෂාරුක් යම් කලකිරීමකට පත්ව සිටි බවට ද කතා පැතිරිණි. තමාගේ මීළඟ චිත්‍රපට වඩාත් සැලකිල්ලෙන් සහ පරෙස්සමින් සැලසුම් කිරීම සඳහා යම් කාලයක් ගැනීමට ඔහුට වුවමනා වූ බවක් ද ඇතැම් මාධ්‍ය වාර්තාවලින් කියැවුණේය. කෙසේ හෝ වේවා, මෙම විරාමය තුළ ෂාරුක් ඔහුගේ පවුලේ අය සමග වැඩි කාලයක් ගත කිරීමට පියවර ගත් ආකාරයක් ද දැකිය හැකි විය.
මෙම දිගු විරාමයෙන් පසු ඔහු රඟපෑමට එක් වූ පළමු චිත්‍රපටය වූයේ ‘පතාන්’ නැමැති චිත්‍රපටය යි. දීපිකා පාදුකෝන් සහ ජෝන් ඒබ්‍රහම් යන ජනප්‍රිය නළු නිළියෝ ද මෙහි ෂාරුක් සමග රඟපාති. ‘පතාන්’ ලබන 25 වැනි දින සිට සිනමාහල්වල ප්‍රදර්ශණය කිරීමට නියමිතව තිබේ. එය අධ්‍යක්ෂණය කළේ බොලිවුඩ් සිනමාවේ දක්ෂ අධ්යක්ෂවරයකු වන සිද්ධාර්ත් ආනන්ද් ය. ෂාරුක්ගේ අවසන් චිත්‍රපටවලට වඩා ‘පතාන්’ යම් සාර්ථකත්වයක් අත් කර ගනීවිද යන්න ගැන ඔහුගේ රසික රසිකාවින් මෙන්ම සිනමා කර්මාන්තයට සම්බන්ධ පාර්ශ්ව ද විශාල අවධානයකින් පසුවන අන්දම දැකිය හැකි වේ.
‘පතාන්’ තිරගත වීමට යන්නේ බොලිවුඩ් සිනමාව යම් අර්බුදකාරී තත්ත්වයක පවතින කාලයක බව අමුතුවෙන් කිව යුතු නොවේ. බොහෝ බලාපොරොත්තු තබා සිටි සිනමාපට රැසක් ම පසුගිය කාලයේ ආදායම් අතින් අසාර්ථක විය.
මෙම චිත්‍රපටයට පසුබිම් වන්නේ දරුණු ගණයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු හඹා යන ඉන්දීය රහස් ඔත්තු නිලධාරියකු සහ නිලධාරිනියක පිලිබඳ කතාවක් බව සඳහන් වේ. මෙහි රූගත කිරීම් රටවල් කිහිපයක දී සිදු විය. ඉන්දියාවේ මෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඇෆ්ගනිස්තානය, ස්පාඤ්ඤය, ඉතාලිය වැනි රටවල ද රූපගත කිරීම් සිදු කළ බව මාධ්‍ය වාර්තා කර තිබිණි.
‘පතාන්’ චිත්‍රපටයට එරෙහිව මෙයට සති කිහිපයකට පෙර විශාල විරෝධයක් ද පැන නැගිණි. එහිදී ෂාරුක්ගේ සහ දීපිකාගේ ඡායාරූප සහ පඹයන් ගිනි තැබීමට පවා විරෝධතාකරුවෝ පියවර ගත්හ. සමහරුන් පැවසුවේ චිත්‍රපටය තහනම් කළ යුතු බවයි. එය වර්ජනය කළ යුතු බවට ද සමාජ මාධ්‍ය තුළ පණිවුඩ සංසරණය වන්නට පටන් ගත්තේය. මෙම තත්ත්වයට ප්‍රධාන වශයෙන්ම හේතු වූයේ චිත්‍රපටයේ එන ගීතයකි. ෂාරුක් සහ දීපිකා පෙනී සිටින එම ගීතමය ජවනිකාවට සරාගි නර්තනයක් ඇතුළත් වේ. එහි දීපිකා හැඳ සිටින්නේ ද සිරුර නිසි පරිදි ආවරණය වන ඇඳුම් නොවේ. එහි එක් තැනක ඇය තද කහ පැහැති ඇඳුමක් හැඳ සිටින අතර එම පැහැය හින්දු ආගමේ ශුද්ධ වර්ණයක් ලෙස සැලකෙන්නකි. ‘පතාන්’ චිත්‍රපටයට එරෙහිව හින්දු ආගමික කණ්ඩායම් වෙතින් විරෝධයක් මතු වන්නට පටන් ගත්තේ මේ නිසාය. ඇතැම් දේශපාලනඥයෝ ද මෙම විරෝධයට එක් වූහ.
‘පතාන්’ චිත්‍රපටයට අමතරව ෂාරුක්ගේ තවත් චිත්‍රපට දෙකක් මෙම වසර තුළ තිරගත වීමට නියමිතව තිබේ. ඒ ‘දුන්කි’ සහ ‘ජවන්’ යන චිත්‍රපට දෙකයි. මෙම චිත්‍රපට අධ්‍යක්ෂණය කළේ ද ඉතා සාර්ථක අධ්යක්ෂවරුන් දෙදෙනකු වන රාජ්කුමාර් හිරානි සහ ඇට්ලි ය. ‘ජවන්’ මෙම වසරේ ජුනි මාසයේ ද, ‘දුන්කි’ දෙසැම්බර් මාසයේ ද තිරගත වීමට නියමිතය.
නිහාල් පීරිස්