මේ දිනවල පැතිර යන නාඳුනන වෛරස් උණ ඇතැමුන්ට මාරක වෙන්නත් පුළුවන්

fever

මේ දිනවල රට පුරා ශීඝ්‍රයෙන් පැතිර යන වෛරස් උණ රෝගය විශේෂයෙන් ගර්භණී සහ වයස්ගත පුද්ගලයින් ට මාරාන්තික තත්ත්වයක් වුවද ඇති කළ හැකි බව ශ්‍රී ලංකා කායික රෝග විශේෂඥ වෛද්‍ය සංගමයේ උප සභාපති,කායික රෝග විශේෂඥ වෛද්‍ය නන්දන දික්මාදුගොඩ මහතා පවසයි.ඒ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. “දැනට මාස දෙක තුනක් තිස්සේ බොහෝ දෙනක් උණ රෝගයෙන් පෙළෙනවා.මේක ශ්වසන පද්ධතියේ ඇති වෙන ආසාදනයක් විදියට දකින්න පුළුවන්. මේකට හේතුව දැනට පැතිරී යන වෛරස් එකක්. නමුත් ඒ වෛරසය අපි හඳුනාගෙන නැහැ. ඒත්, අපි හිතනවා ඒක ඉන්ෆ්ලුවෙන්සා එක් ප්‍රභේදයක් කියලා. නමුත් බොහෝ රෝගීන්ට මෙම වෛරස් රෝගය දවස් දෙක තුනකින් සුව වුණත් ඊට පසුව දීර්ඝ කාලීනව පවතින කැස්සකට ලක්වෙනවා. ශරීරය විසින් මේ වෛරසය මර්දනය කිරීම සඳහා නිෂ්පාදනය කරන ප්‍රතිදේහ සහ ඒවා ක්‍රියාත්මක වීම නිසා පෙනහළුවල තියෙන නාල කුඩා වීමක් සිදුවෙනවා.

සීතලට ලක්වුණොත් නැත්නම් රාත්‍රී කාලයේ දී මේ සීතලට ලක්වූ නාල තුළින් වාතය ගමන් කිරීම මඳක් අපහසුයි. එතකොට හුස්ම ගැනීම අපහසු වෙනවා. හතිය වගේ රෝග ලක්ෂණයක් එන්න පුළුවන්.ඉතාමත් වැදගත් දේ තමයි ගර්භණී මාතාවක් එහෙම නැත්නම් වයසක අවුරුදු 70, 80 හෝ 90ක කෙනෙකුට මේ වෛරසය ඇතුළු වුණොත් නැතිනම් වකුගඩු අක්‍රීය තත්ත්වයෙන් පෙළෙන රෝගියෙකුට මේ වෛරසය ඇතුළු වුණොත් ඒ තත්ත්වය මාරාන්තික මට්ටමක් දක්වා යන්න පුළුවන් වීම”එම මාධ්‍ය හමුවේ දී අදහස් දැක් වූ විශේෂඥ වෛද්‍ය නන්දන දික්මාදුගොඩ කීය.මේ අතර මෙම රෝග ලක්ෂණ මුල් කොට හිතු මනාපේ ෆාමසි වලින් බෙහෙත් ලබා නොගෙන සුදුසුකම් ලත් වෛද්‍ය වරයකු හමු වී රෝග පරීක්ෂාවක් කොට සුදුසු ඖෂධ නියම කරවා ගන්නා ලෙස ද ඔහු කීය. විශේෂඥ වෛද්‍ය වරයා දැක්වූ අදහස් වලට අනුව මේ කාලයේ රට පුරා පැතිර යන වෛරසය කුමක් ද?යන්න මෙතෙක් නිසි හඳුනා ගැනීමකට ලක් ව නැත.ඒ අනුව වර්තමාන උණ රෝගයට හේතු වී ඇත්තේ එකම වෛරස කාණ්ඩයක් ද?නැතහොත් වෛරස කාණ්ඩ කිහිපයක් ද?යන්න පවා හරිහැටි අනාවරණය වී නැත.එමෙන්ම ඩෙංගු සහ මී උණ යන රෝග ද මේ වන විට සමාජයේ යම් ව්‍යාප්තියක් පළ කිරීම මත වෛද්‍ය වරුන්ට මෙම වෛරසය කුමක්ද?යන්න අනුමාන වශයෙන් හඳුනා ගත හැක්කේ රෝග ලක්ෂණ අනුව පමණි.

ඒ අනුව එම රෝගීන් සඳහා ඔවුනට මූලික වශයෙන් නියම කළ හැක්කේ රෝග ලක්ෂණ සඳහා වන ප්‍රතිකාර( Symptomatic treatment )පමණි. අප කවුරුත් දන්නා අන්දමට සෑම රෝගයක් සඳහාම ඊට ආවේණික රෝග ලක්ෂණ තිබේ.එහෙත්, එම රෝග ලක්ෂණ විෂම වන අවස්ථා ද අඩු නැත.ඒ අනුව සුදුසුකම් ලත් වෛද්‍ය වරයකුට වුව මෙම රෝගියාට වැළඳී ඇත්තේ ඉන්ෆ්ලුවෙන්සා ප්‍රභේදයක් ද නැතහොත් ඩෙංගු ද එසේත් නැතිනම් රසායනාගාර පරීෂණ වලින් තොරව නිවැරදිව නිශ්චය කිරීමේ යම් නොහැකියාවක් පවතී.ඒ කෙසේ හෝ සෑම වෛරස ආසාදනයකම සංකූලතා සේම අතුරු සහ පශ්චාත් ඵල ඇතිවීමේ යම් අවකාශයක් ද පවතී. ඒ අනුව ඉන්ෆ්ලුවෙන්සා ප්‍රභේදයක් ලෙස අනුමාන කෙරෙන උණ රෝගය ඉන් අත්මිදීමේ කිසිදු හැකියාවක් නැත.එනිසා මේ වන විට පැතිර යන උණ රෝගය කුමක් හෝ එහි සංකූලතා සහ අතුරු සේම පශ්චාත් ඵල අවම කර ගැනීම පිණිසත් කායික රෝග විශේෂඥ වෛද්‍ය නන්දන දික්මාදුගොඩ කී ලෙසම සුදුසුකම් ලත් වෛද්‍ය වරයකු මුණගැසීම අනිවාර්ය අවශ්‍යතාවක් බව අපි ද අනාවරණය කරමු. උණ යනු යම් රෝගයක් නොව රෝගයක සංකූලතාවක් බව බටහිර වෛද්‍ය මතයයි.ඒ අනුව වෛරස් උණ යනු යමකුගේ ශරීරයක් තුළට වෛරසයක් පිවිසී ඇති බව හඟවන එක් ලක්ෂණයකි.නමුත් ආයුර්වේදයට අනුව “ජ්වර” යනුවෙන් හඳුන්වන රෝග‍ය ද උණම බව පෙනෙයි.

ඒ අතර අපගේ අතීත ජන සමාජය උණ රෝගය ද තුන් දොහේ උණ,හත් දොහේ උණ ආදී වශයෙන් වෙන්කොට හඳුනා ගත් බවක් පෙනෙයි.එමෙන්ම ඇතැම් උණ සඳහා අත් බෙහෙත් සහ වතුර මැතිරීම් වැනි සුළු ශාන්ති කර්ම ප්‍රමාණවත් බව ද පැරණි ගැමියෝ දැන සිටියහ.ඒ මානසික මූලයන් මත හට ගන්නා මනෝජ උණ(Psychogenic fever) තත්වයන් සඳහා ද විය හැක.එහෙත්, අද වන විට නවීන විද්‍යාත්මක සොයා ගැනීම් අතින් ඉතා ඉහළ තත්වයක පවතින සමාජයක ජීවත් වන අප තුළ මේ දිනවල පැතිර යන උණ රෝගය පිළිබඳව එපමණකවත් දැනුමක් නොමැති වීම විස්මයටත් කණගාටුවටත් කරුණකි.ඊට අමතර එය වඩාත් අවාසනාවන්ත තත්වයක් වනුයේ මෙවන් රෝග සඳහා හනික වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු නොවීම මත එම රෝගය සම්බන්ධ ඇතැම් වෛද්‍ය වාර්තා රෝගියා ගේ මතක බණ දිනයේ හත් දවසේ දානය දිනයේ දී ලැබීමේ යම් සම්භාවිතාවක් ද පවතින බැවිනි.

දමයන්ති ගමගේ

එතෙර - මෙතෙර