මහනුවර ශ්‍රී දළදා මාලිගාවට සමාන අන්දමේ ඉදි කිරීමක් පොතුහැර ප්‍රදේශයේ තිබීම මුල් කොට ගනිමින් පසුගිය දිනවල මහත් ආන්දෝලනයක් ඇති විය. විවිධ පුද්ගලයන් වෙතින් ලත් අති විශාල මුදල් සම්භාරයක් යොදා එය තනා තිබුණේ තමන් මතු බුදු වන පාරමී බල සම්පන්න බෝධිසත්වයකු ලෙස කලෙක සිට හඳුන්වා ගනිමින් සිටින පුද්ගලයකු විසිනි. සම්මත වෛද්‍ය ක්‍රමයකින් තොර තමන් සතු හාස්කම් බලයකින් රෝග සුව කරන බවට කලක සිට මහත් ප්‍රචාරයක් ලබා දී තිබූ මොහු ලවා තම රෝග සුව කර ගැනීමට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් රෝගීන් පැමිණෙන බව කියනු ලැබේ. මෙම සිද්ධියත් සමඟ වාර්තා වී ඇති අන්දමට එසේ රෝගීන් සුවපත් කරනුයේ තමන් සතු පාරමිතා බලයකින් බව පවසා ඇති ඔහු ඒ පාරමී බලයේ අනුහසින් දළදා වහන්සේ ද සෘද්ධි බලයෙන් තමන් සමීපයට වැඩම කරන බව කලෙක සිට ප්‍රචාරය කොට තිබේ. මහනුවර ශ්‍රී දළදා මාලිගාවේම ආකෘතියේම දළදා මැදුරක් තනවනුයේ දළදා වහන්සේ වඩා හිඳුවීමට බව ද පවසා ඇති මොහු එම ඉදිකිරීම සඳහා ඔහු තම බෝසත් බව පිළිගන්නා අනුගාමිකයන් විශාල පිරිසකගෙන් අති විශාල මුදල් සම්භාරයක් එක් රැස් කර ගෙන සිටි බව ද පැවසෙයි.
නමුදු මෙම හාස්කම් බලයෙන් රෝග සුව කිරීම නමින් හැඳින්වෙන උපශමනමය ( Healing) කාරිය ලෝක ප්‍රකට මනෝ විද්‍යාඥයකු වූ ප්‍රංශ ජාතික එමිල් කූ විසින් මුල්වරට ලොවට හෙළි කරදුන් තුෂ්ටක බලපෑම (Placebo effect ) නම් සරල මනෝ විද්‍යාත්මක රීතිය අවභාවිතා කිරීමක් බව විද්වත් ලෝකයාට රහසක් නොවේ. ලොව කොතැනක කවුරුන් හාස්කම් බලයෙන් රෝග සුව කරන බව කීව ද එය ඉහත සඳහන් තුෂ්ටක බලපෑම හැරුණු කොට තිරසාර සාධනීය ප්‍රතිකාර ක්‍රමයක් නොවන බව කිව යුතුම ය. මේ අතර රුවන්වැලි සෑ දාගැබේ තැන්පත් කොට ඇති සියළුම ධාතූන් වහන්සේලා තමන් සතු පුන්‍ය මහිමයෙන් තම නිවසට වැඩම කොට ඇති බව පැවසූ අනුරාධපුර ඇලයාපත්තුව ප්‍රදේශයේ කාන්තාවක ද පසුගිය කාලයේ විශේෂ සමාජ අවධානයට ලක් විය. එහි දී රුවන්වැලි සෑ ධාතු ගර්භයෙන් නික්මී සෘද්ධි බලයෙන් තම නිවසට වැඩම කළ ධාතුන් වහන්සේලා වශයෙන් කරඩුවක තැන්පත් කොට ඇති යම් යම් දේ එහි පැමිණෙන්නවුන්ට පෙන්වීම මත පසුගිය කාලයේ එම කාන්තාව ද සුවිසල් “පුද පඬුරු” ප්‍රමාණයක් හිමි කරගෙන සිටි බව ද දැනගන්නට ඇත.
ඉහත සඳහන් ආකාරයේ සමාජමය ආටක නාටක ඕනෑම ජන සමාජයක ඕනෑම ආගමකට පොදු සංසිද්ධීන් ලෙස හැඳින්විය හැක. එහෙත්, ඒවා යම් යම් අගතිගාමී සංසිද්ධීන් ලෙස හැඳින්වෙමින් ඒවා පොදු සමාජයේ නිග්‍රහයට ලක්වීම වෙනුවට ඒවාට මෙතරම් “ජනකාන්ත බවක්” හිමි වනුයේ ඇයි? ඇලයාපත්තුවේ හා පොතුහැර සිදුවීම් වලින් පසු නැවත අප රටේ කුමන හෝ ප්‍රදේශයකින් එබඳු විලම්බීතයක් ගැන අසන්නට ලැබෙන තුරු ඊට හේතු වන කරුණු පිළිබඳව සංතීක්ෂණ අවධානය යොමු කිරීම පොදු සමාජමය යුතුකමක් හා වගකීමක් බව අපගේ විශ්වාසයයි.
ඊට පෙර ශ්‍රී ලාංකේය බුද්ධ ශාසනය නමින් හැඳින්වෙන සමාජ ව්‍යුහය තුළ මීට දශක කිහිපයක සිට වරින් වර ඇති වූ මෙවන් විකල්ප ධාරාවේ පෙරැලි කිහිපයක් පිළිබඳව අපි මෙලෙස ඔබගේ අවධානය යොමු කරමු.
“විනයෝ නාම සාසනස්ස ආයු විනයෝ ඨිතෙ සාසනං ඨිතං හෝතු” (සසුනේ ආයුසය විනයයි. විනය පවතින තුරු සසුන පවතී) යන පළමු ධර්ම සංඝායනාවට නිමිත්ත වශයෙන් මහා කාශ්‍යප මහරහත් වහන්සේ විසින් දෙසන ලද්දක් බව පැවසෙන ඉහත සඳහන් වැකිය පදනම් කර ගනිමින් මීට දශක කිහිපයකට පෙර සමාජ කරලියට පිවිසි ශ්‍රී ලංකා විනයවර්ධන ව්‍යාපාරය බුදු සසුනේ රැකීමේ වගකීම භික්ෂු, භික්ෂුනී, උපාසක, උපාසිකා යන සිව් වනක් පිරිසටම සමසේ බෙදා දෙන ලද්දක් මිස එය භික්ෂුන්ගේ තනි උරුමයක් නොවේය යන අදහස පෙරදැරි කරගත් හිහි ප්‍රජා ක්රියාකාරීත්වයකි. ශ්‍රී ලාංකේය බෞද්ධ සංස්කෘතික ධාරාවේ බොහෝ අය දැඩිව හෙළා දුටු විනය වර්ධන පර්ෂදය ඉදිරිපත් කළ ඇතැම් තර්ක සංවාදාත්මක වුව ද ඔවුන්ගේ ප්‍රතිපත්ති වල පැවැති දෘඩ ලක්ෂණ නිසා එය අප රටේ සාමාන්‍ය ජනතාව අතර එතරම් ප්‍රචලිත නොවිණි.
ඒ අතර ඊට පසුකාලීනව කඩවත, වෑබඩ ප්‍රදේශයේ තරුණයකු කේන්ද්‍ර කර ගනිමින් බිහි වූ තාපස නිකාය ද සාම්ප්‍රදායික බුද්ධාගමට ඉඳුරාම පටහැනි විකල්ප ධාරාවේ ප්‍රජා එකමුතුවක් විය. බෞද්ධ විනයට අනුව භික්ෂුව දැඩි රුක්ෂ ප්රතිපදාවන් හිම නියැළිය යුතුය යන අන්තගාමී ස්ථාවරයක සිටි එම නිකායේ පැවිදි වූවන් දිය නෑමෙන් පවා වැළකී සිටි බවක් පැවසෙයි.
මේ අතර හැත්තෑව දශකයේ මුල භාගයේ දී තමන් කොළඹ වරාය බුදු මැදුරේ දී බුද්ධත්වය ලබා ගත් බවත් මින් පසු තමන් “සූර්ය බුදුන්’ ලෙස හැඳින්වෙන බවත් පැවසූ එක්තරා පුද්ගලයෙක් අලව්ව ප්‍රදේශයේ කන්දක් මතට නැඟ අමුතුම දහමක් දේශනා කිරීමට පටන් ගත් අතර ඒ කාලයේ අප බෞද්ධ සමාජයේ යම් කොටසක් එම සූරිය බුදුන් බැහැ දැක ඔහුගේ ධර්මය කෙරෙහි පැහැදුණු බව ද එවක අසන්නට ලැබිණ.
කෑගල්ලේ සීසර් උපාසක නමින් ප්‍රසිද්ධියට පත් පුද්ගලයෙක් ද නිවැරදි බුදු මඟ වශයෙන් අමුතුම අදහස් පතුරුවමින් දේශනා පවත්වන්නට පටන් ගත් අතර සාම්ප්‍රදායික බුද්ධාගමින් ඉවත් වූ යම් පිරිසක් ඔහුගේ අනුගාමිකයන් බවට ද පත් වූහ.එවක කෑගල්ල රෝහලේ සේවය කළ වෛද්‍යවරුන් කණ්ඩායමක් ද ඔහු ගේ අනුගාමිකයන් වූ බව ද දැන ගන්නට ලැබිණ.
එමෙන්ම පංචස්කන්ධය පදනම් කර ගනිමින් ලෝකයේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ස්වභාවය පහදා දුන් බුදුන් වහන්සේ ස්ත්‍රී පුරුෂයන් ගේ ලිංගික භේදය පදනම් කර ගනිමින් දහමක් දෙසා නැතැයි පැවසූ සිවුරු දරා සිටි ස්ත්‍රී පුරුෂ පිරිසක් “අවබෝධ නිකාය” වශයෙන් සමාජයේ ප්‍රසිද්ධියට පත්වූහ. ඉඟිනිමිටිය සහ පොලොන්නරුව ආදී ප්‍රදේශවල තිබූ ඔවුන් ගේ ආරාම තුළ භික්ෂුන් සහ භික්ෂුනීන් වශයෙන් පෙනී සිටි කාන්තාවන් සහ පුරුෂයන් එක්ව දිවි ගෙවනු දක්නා ලදී. ඒ වන විට එම අවබෝධ නිකාය සැබෑ බුදු දහමට එකඟ වූවක් ලෙස පිළිගත් පිරිසක් එසේ එකට ජීවත් වන කාන්තාවන්ටත් පිරිමින්ටත් සිව් පසයෙන් උපස්ථාන කළහ.
මේ අතර බුදු දහමේ එන සෝවාන් හෙවත් සෝතාපත්ත යන්නෙහි අදහස සෝත (කණට) පන්න (ඇසීම) බවත් ඒ අනුව සත්‍යාවබෝධය කරගත් අයකු ගේ කන් වලට නියම ධර්මය ඉබේ ඇසෙන බවත් තමන් ඒ මාර්ගයෙන් සත්‍යාවබෝධය කරගත් පුද්ගලයකු බවත් පවසමින් පෙනී සිටි වඳුරඹ සිරිවර්ධන නමැත්තෙක් ද අනුගාමිකයන් බොහෝ දෙනෙක් එක් රොක් කර ගැනීමට සමත් විය. තම අනුගාමිකයන් විසින් ‘උත්තමයා’ ලෙස හැඳින්වුණු ඔහු මහාමායා දේවියගේ අභාවය සැබැවින් සිදු වූවක් නොව සිදුහත් කුමරුන් මායා මායාවෙන් මිදීමක් ලෙසට අමුතුම ලෙසකින් අර්ථ කථනය කිරීම මත සාම්ප්‍රදායික බුද්ධාගමින් හෙම්බත්ව සිටි සැළකිය යුතු පිරිසක ගේ ගෞරවාදරයට පාත්‍ර විය.
මේ පසුබිම යටතේ නිවනට පාටක් හෙවත් වර්ණයක් නොමැති බැවින් භික්ෂුන් චීවරය කාසාය වර්ණයෙන් යුතු වීම බුදු දහමට පටහැනි යැයි කියමින් සුදුපැහැති සිවුරකින් සැරසී නාරම්මල ප්‍රදේශයේ පර්වතාශ්‍රිත ප්‍රදේශයක සිට අමුතුම ආකාරයේ බණක් දෙසූ පුද්ගලයකු වටා ද සැළකිය යුතු අනුගාමික පිරිසක් රැස් වූහ. ඔහු තමන් හඳුන්වා ගත්තේ ‘වජිර ශුරෝ’ යන නමකිනි. විදුරු හෙවත් දියමන්ති බඳු ඥානයකින් හා ශූර බවකින් යුතු නිසා තමන් ඒ නමින් හඳුන්වා ගන්නා බව ඔහු සිය අනුගාමිකයන්ට කීය. කෙසේ හෝපසුගිය දශක කිහිපය තුළ අප සමාජයේ සාම්ප්‍රදායික බුද්ධාගම අතික්‍රමණය කරමින් මෙම පුද්ගලයන් සහ ප්‍රජා ක්‍රියාකාරීහු මේ වන විට මුළුමනින්ම පාහේ නිහැඬියාවක නිමග්නව සිටිති. නමුදු ඔවුනට සාපේක්ෂව අද වන විට බුදු දහමේ නාමයෙන් සමාජ කරලියේ රඟ දැක්වෙන බහු රූ කෝලම් පිළිබඳව අප අමුතුවෙන් විස්තර කළ යුතු නැත.
පිපාසයෙන් පීඩිත වූවකුට දුර ඇති සුනිල විලට වඩා ළඟ ඇති ගවර වල අගයකින් යුතු බවට කතාවක් තිබේ.ඒ අනුව මිරිඟු දිය පසුපස දිවයන මුවන් මෙන් ආධ්‍යාත්මික සුවයක් පතා ශ්‍රී ලාංකේය ජන සමාජය මෙලෙස බුදු දහමේ නාමයෙන් මූලික ධර්ම විනය මුළුමනින් වනසා දැමෙන මෙවන් මිසදිටු මංපෙත් ඔස්සේ දිව යමින් අන්ත අසරණ අනාථ භාවයට පත් වනුයේ ඇයි ? ඉතා අකමැත්තෙන් වුව කිව යුතු පරිදි මෙම ජාතික ශාසනික ව්‍යුහය සම්බන්ධ මූලික වගකීම මෙරට සමස්ත භික්ෂු ප්‍රජාව වෙතම පැවරෙන බවකි. හුදු, කේවල. හෙවත් පුද්ගල වශයෙන් මෙම වගකීම සැම භික්ෂුවක වෙතම එල්ල කිරීමේ යම් අයුක්ති සහගත බවක් තිබිය හැක. එහෙත්, සමාජ සංස්ථාවක් ;ප්‍රජා ඒකකයක් වශයෙන් මෙම චෝදනාවෙන් නිදොස් කළ හැකි භික්ෂුන් කොටසක් පිළිබඳ නිශ්චයකට එළැඹීමේ අසීරුවක් පවතී.
ශ්‍රී ලාංකේය බෞද්ධ සමාජය හමුවේ මෙවන් අනේක විධ විපරීතයන් ඉදිරිපත් වීමට පැහැදිලි හා ද්‍රශ්‍යමාන හේතුවක් තිබේ. එනම් ශ්‍රී ලාංකේය බෞද්ධයන් ගේ ආධ්‍යාත්මික අවශ්‍යතා සංතෘප්ත කිරීමට මෙරට භික්ෂු පරපුර මෙතෙක් පළ කොට ඇති අසමත් බව ය.ඒ හිඩැස; රික්තය ප්‍රයෝජනයට ගත් ඇතැම් භික්ෂුහු බෞද්ධ සමාජයේ විවිධ කොටස් තමන් වෙත ඒකරාශී කරමින් ආගමික කල්ලි (Cult ) ස්වරූපයෙන් ප්‍රජා ඒකක ස්ථාපිත කිරීමට යුහුසුළු වෙති. භික්ෂුන් හට අත් වන ලාභ ප්‍රයෝජන බහුල වීම (ලාභග්ග මහන්තතා ) ශාසනික පරිහානියට හේතු වන බව ආසවට්ඨනීය ධර්ම හෙවත් ශාසනික අපවිත්‍රකාරක හේතූන් වශයෙන් බුදු දහමේ පැහැදිලිව විස්තර තිබේ.එවන් පසුබිමක මෙම භික්ෂුන් තමන් ගේ පෞද්ගලික සහ ප්‍රතිරූපය සහ පෞරුෂය වඩවා ගැනීම මගින් තමන් හට පමණක් ආවේණික අනුගාමික පිරිස් ඒකරාශී කර ගෙන හිඳින බව නොරහසකි. එසේ ආගමික කල්ලි ස්වරූපයේ ප්‍රජා ඒකකයන්ට සම්බන්ධ තම පාරම්පරික දායක කාරකාදීන් සාම්ප්‍රදායික ලෙස ගමේ විහාරස්ථානය හා සහ සම්බන්ධතා නොපැවැත්වීම පමණක් නොව ගමේ විහාරස්ථානය සහ එහි භික්ෂුන් විවේචනය කරන බවට ද තොරතුරු තිබේ.නමුත් ඒ සඳහා එම භික්ෂුන් ගේ ද යම් දොසක්;අඩුපාඩුවක් ඇති බව අකමැත්තෙන් වුව පිළිගන්නට අපට සිදුවෙයි.
මෙලෙස මෙරට භික්ෂු සමාජයෙන් කොටසක් භික්ෂුන් ගේ නෛසර්ගික උරුමයක් වන ශ්‍රමණ ආකල්ප වලින් පිට පැන දේශපාලනමය භූමිකාවන්ට අවතීර්ණ වීම, කාමභෝගීත්වයට නැඹුරු වීම භික්ෂුවක සිය උරුමය වන “සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්ච කරනත්ථාය ආදී වශයෙන් පැවසෙන පැවිදි ආයාචනා වාක්‍යය මත පදනම් වන ආර්ය මාර්ගයෙන් පවා පිට පැන අන්‍යතර කටයුතු වල නිරතවීම බෞද්ධයන් ගේ දැඩි කළකිරීමට හේතු වී තිබේ. ඒ සම්බන්ධයෙන් මෙරට භික්ෂු සමාජය තුළ ද නිරන්තර කතිකාවක් පවතින මුත් එය මෙරට ගිහි සමාජය හමුවට පැමිණෙනුයේ කලාතුරකිනි. නමුදු මේ වන විට සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පදවිය හොබවන මැදගම ධම්මානන්ද හිමියන් දඹරාවේ ධම්මාරාම හිමියන් සමඟ එක්ව 2005 වසරේ සම්පාදනය කළ ‘සසුන නසන මිසදිටු හඬ’ නම් කෘතියෙහි දැක්වෙන මෙම සඳහන ඊට එක් නිදසුනකි. “ඇතැම් භික්ෂුන් ගේ හැසිරීම් රටාවල අඩු පාඩු දැක ඒ භික්ෂුන් ගෙන් පලිගැනීම සඳහා ආගම වෙනස් කිරීමට කටයුතු කරන මෝඩ අය ද වෙති. පැවිද්දන් ගේ අඩුපාඩු නිසා උතුම් බුදු දහම අතහැරීමෙන් පාඩු සිදුවන්නේ තමන්ටම බව තේරුම් ගන්නට ඔවුනට නොහැකි ය. බෞද්ධයකු ගේ සිත් තුළ තෙරුවන් කෙරෙහි ඇති ශ්‍රද්ධාව නොබිඳෙන ලෙස භික්ෂුව හැසිරිය යුතු යන ධර්ම විනය නියාමයකි. එයින් මිදෙන්නට භික්ෂුවට ඉඩක් නැත”(උපුටා දැක්වීම අවසන්)
මෙම තත්වය යටතේ බුද්ධාගම නම් සමාජ සංස්ථා ව්‍යුහයෙන් ඉවත් වන ජනතාව අන්‍යාකාරයෙන් යළි එක්කර ගැනීම පිණිස බෞද්ධ ධර්ම ශාස්ත්‍රීය විග්රහයන්ට සාවද්‍ය ආරෝපණයක් ලබා දෙමින් රුපියල් කෝටි ගණන් මුදල් වැය කොට නිසරු පූජා චාරිත්‍ර පවත්වමින් ජනකාන්ත භාවයට පත් වීමට වෙර දරන හා එසේ පත් වූ භික්ෂු පිරිසක් මේ වන විට සමාජ කරලියේ මනාව ඉස්මතු වෙමින් සිටිති.ඔවුන්ගේ අනුගාමිකයෝ ද අප සමාජයේ භික්ෂූන් හැඳින්වීමට යොදන පූජ්‍ය යන හැඳින්වුම අභිබවා මිල අඩුම අරක්කු “අති විශේෂ” ලෙස හැඳින්වෙන්නක් මෙන් එම භික්ෂූන් “අති පූජනීය” වශයෙන් හඳුන්වමින් ඔවුනට අධිආරෝපණ ලබා දීමට කටයුතු කරනු පෙනෙයි. නමුත් බෞද්ධ ධර්ම විනයානුකූල සම්ප්‍රදායන් උල්ලංඝනය කරමින් හමාජ කරලියේ හැසිරෙන සද්ධර්ම ප්‍රතිරූපක නමින් හැඳින්වෙන මෙම භික්ෂුන් ගේ අත්තනෝමතික ක්‍රියාකාරකම් මත ශ්‍රී ලාංකේය බෞද්ධ සමාජයේ ඒකීයත්වය බරපතල ලෙස බිඳී ගොස් හා බිඳී යමින් තිබේ. ඒ සඳහා වන අප යෝජනා කරන එකම විකල්පය මේ වන විට කෙටුම්පතක් වශයෙන් ඉදිරිපත්ව තිබෙන ථේරවාදී භික්ෂු කතිකාවත පනත පක්ෂ විපක්ෂ භේදයකින් තොරව හැකිතාක් ඉක්මනින් පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමය. මා එසේ පවසනුයේ එය ඉදිරි සමාජ සංස්ථාමය යහපැවැත්ම උදෙසා එය සාධනීය පියවරක් ලෙස සමාජ මානව විද්‍යාත්මක වශයෙන් ප්‍රකාශ කළ හැකි බැවිනි.
මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර