වසර 60 කට පසු පළමු වතාවට චීනයේ ජනගහණය අඩු වෙලා

ලෝකයේ ජනගහණය වැඩිම රට හැටියට සැලකෙන්නේ චීනය යි. එහි ජනගහණය බිලියන 1.4 කට ආසන්න වේ. කෙසේ හෝ වේවා, වසර 60 ක කාලයකට පසු පළමු වතාවට චීනයේ ජනගහණය අඩු වීමට පටන්ගෙන ඇති ආකාරයක් මේ වනවිට දැකිය හැකි වේ. පසුගිය දා මේ පිලිබඳ සඳහන් වූයේ එරට ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශය විසින් නිකුත් කරන ලද වාර්තාවක ය.

මෙම වාර්තාව පෙන්වා දෙන ආකාරයට 2022 වසරේ අවසානය වනවිට චීනයේ ජනගහණය 2021 වසරට සාපේක්‍ෂව 850,000 කින් පහත වැටී තිබේ. මේ ආකාරයෙන් ජනගහණයේ අඩු වීමක් වාර්තා වී තිබුණේ 1961 වසරට පසු පළමු වතාවට යි. 1961 වසරේ ජනගහණය ඒ ආකාරයෙන් පහත වැටීමට හේතු වී තිබුණේ රට තුළ පැතිරුණු මහා සාගතයකි. මෑත ඉතිහාසයේ චීනය තුළ හටගත් දරුණුම සාගතය එය ලෙස සැලකේ. චීනයේ සුප්‍රකට නායක මාඕ සේතුංගේ ඇතැම් කෘෂිකර්ම ප්‍රතිපත්ති ද මෙම තත්ත්වයට බලපෑ බව විශ්වාස කෙරේ.

2022 වසරේ එරට උපත් සංඛ්‍යාව සටහන්ව තිබුණේ මිලියන 9.56 ක් ලෙසිනි. මරණ සංඛ්‍යාව මිලියන 10.41 ක් ලෙස සටහන්ව ඇත.

තවමත් ලෝකයේ වැඩිම ජනහහණයක් ජීවත්වන රට චීනය වුවත් ළඟදීම ඊට එම තත්ත්වය අහිමි වනු ඇති බව ජනගහණ විශේෂඥයන්ගේ අදහස යි. නුදුරේදී ම ඉන්දියාවේ ජනගහණය චීනයේ ජනගහණය ඉක්මවා යනු ඇති බවට මේ වනවිට අනාවැකි පළ වී තිබේ.

චීන ජනගහණයේ අඩුවීමක් නිල වශයෙන් වාර්තා වූයේ පසුගිය වසරේ වුවත් ඇතැම් නිරීක්‍ෂකයන් පවසන්නේ මෙයට වසර කිහිපයකට පෙර සිටම එරට ජනගහණය අඩු වීමේ තත්ත්වයක් පෙන්නුම් කළ බවයි. රට තුළ උපත් අනුපාතය පහත වැටීම කාලයක සිටම චීනයේ දක්නට ලැබිණි. එයට ප්‍රධාන වශයෙන්ම බලපා තිබූ කාරණයක් වූයේ දරුවන් ලොකු මහත් කිරීම සඳහා මව්පියන්ට අධික වියදමක් දැරීමට සිදු වීම යි. එමෙන්ම පවතින තරගකාරී සමාජය තුළ රැකියා වැනි කටයුතු සඳහා විශාල කාලයක් මිඩංගු කිරීමට සිදුවීම නිසා තරුණ තරුණියන් විවාහ වීමට සහ දරුවන් හැදීමට පසුබාන බවක් දක්නට ලැබිණි.

‘නිවාස මිල ගණන් ඉතාම ඉහළයි. රැකියා සොයා ගැනීමත් පහසු නැහැ. මේ තත්ත්වය තුළ මම කැමැතියි තනියම ජීවත් වෙන්න. සමහර වෙලාවට තනිකමක් දැනෙනවා. එහෙම දැනෙන කොට මම යහළුවන් සමග කාලය ගත කරනවා. නැත්තං සුරතල් සතුන් ඇති කරනවා’ එසේ පවසා තිබුණේ බීජිං නුවර වාසය කරන 23 හැවිරිදි තරුණියකි.

පසුගිය වසරේ චීනයේ ජනගහණය අඩු වීමට කොවිඩ් වසංගතය හේතුවක් වන්නට ඇති බව ද ඇතැම් නිරීක්‍ෂකයන්ගේ විශ්වාසය යි. වසංගතය නිසා එරට ආර්ථිකයේ ඇතිව තිබෙන අඩාල වීම මෙයට එක් හේතුවක් වන්නට ඇතැයි ඔවුහු පවසති. චීනය තුළ කොවිඩ් මරණ සංඛ්‍යාව සම්බන්ධයෙන් ද පවතින්නේ යම් අවිනිශ්චිතතාවකි. රජය නිකුත් කරන නිල සංඛ්‍යාලේඛනවලට අනුව මරණ සංඛ්‍යාව අඩු මට්ටමක පැවතියත් ඇතැම් විශේෂඥයන් පවසන්නේ එය සැබෑ තත්ත්වය නොවීමට ඉඩ ඇති බවයි. සැබෑ මරණ සංඛ්‍යා රජය පවසන සංඛ්‍යාවලට වඩා බෙහෙවින් වැඩි විය හැකි බව ඔවුහු පවසති. කෙසේ හෝ වේවා, පසුගිය සතියේ නිකුත් වූ රජයේ නිල වාර්තාවකට අනුව ගෙවී ගිය මාසයක කාලයක් තුළ සිදුව තිබූ කොවිඩ් ආශ්‍රිත මරණ ගණන 60,000 කි. එම මරණ සිදුව තිබුණේ දෙසැම්බර් 08- ජනවාරි 12 කාලය අතරතුර ය. චීනයේ කොවිඩ් රෝගයෙන් මිය යන පුද්ගලයන් ආදාහනය කිරීම සඳහා වෙන් කර ඇති ආදාහනාගාර විශාල වශයෙන් කාර්යබහුල බවක් ද පසුගිය කාලයේ විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ජනගහණය අඩුවීමට පටන් ගැනීමත් සමග රටවල් මුහුණ දෙන බරපතල ගැටලුවක් වන්නේ මහළු පුද්ගලයන්ගේ ප්‍රතිශතය ඉහළ යාමයි. එහි දී වැඩ කළ හැකි වයසේ පසුවන සංඛ්‍යාව අඩුවන අතර ඔවුන්ට රැකබලා ගැනීමට සිදුවන වියපත් පුද්ගලයන්ගේ සංඛ්‍යාව ඉහළ යයි. මෙය රටවල ආර්ථික වර්ධනයන්ට විශාල බලපෑමක් කරන තත්ත්වයකි. චීනය වැනි රටවල ආර්ථික වර්ධනයට ද ඉදිරියේ දී මෙය විශාල බලපෑමක් කරනු ඇතැයි විශ්වාස කරන අතර එය නායකයන් තුළ යම් ආතතියක් ඇති කර තිබේ. චීනය වැනි රටවල ආර්ථික වර්ධනය පහත වැටීම සමස්ත ලෝකයටම බලපාන කාරණයක් බව ද අමතක කළ හැකි නොවේ.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර