අහසේ දිස් වූ අබිරහස් වස්තුවක් නිසා ඇමරිකාව කැළඹෙයි

ඇමරිකාවට ඉහළ අහසේ දිස් වූ සුදු පැහැති අබිරහස් වස්තුවක් නිසා පසුගිය දිනවල එරට වැසියන් තුළ යම් කුතුහලයක් ඇති වී තිබුණා. පසුගිය බදාදා (01) මුලින්ම මෙම වස්තුව දර්ශණය වන්නට පටන් ගත්තේ එරට මොන්ටානා නැමැති ප්‍රදේශයට ඉහළ අහසේ යි. මෙය කුමක්ද යන ගැටලුව බොහෝ දෙනෙකු තුළ ඇතිව තිබූ අතර පිටසක්වල යානයක් ද වැනි අදහස් පවා මතු වී තිබුණා. බොහෝ දෙනෙකු එය විඩියෝගත කිරීමට පවා පියවරගෙන තිබූ බව මාධ්‍ය සඳහන් කළා.

කෙසේ හෝ වේවා, ඇමරිකානු ආරක්‍ෂක අංශ මේ පිලිබඳ සොයා බැලීමේ දී ඔවුන්ට පෙනී ගියේ මෙය දැවැන්ත ප්‍රමාණයේ බැලූනයක් බවයි. එය චීනය විසින් ගුවන්ගත කරන ලද්දක් බව ද ඔවුන්ට පසුව සොයා ගන්නට ලැබුණා. ඇමරිකාව සහ චීනය අතර දේශපාලන, ආර්ථික සහ ආරක්‍ෂක ක්‍ෂේත්‍රවල පවතින එදිරිවාදිකම්, ගැටුම් සහ ආතතීන් කිසිවෙකුටත් රහසක් නොවෙයි. මෙම පසුබිම තුළ චීනයේ අබිරහස් බැලූනයක් ඇමරිකාව හරහා ගමන් කිරීම විශාල ප්‍රශ්නයක් බවට පත් වුණා. ඇමරිකානු නිලධාරීන් පැවසුවේ මෙම බැලූනය ඔත්තු බැලීමේ මෙවලම් රැගත් බැලූනයක් බවයි. ඔවුන් සඳහන් කළ ආකාරයට එය ගමන් කරමින් තිබී ඇත්තේ සාමාන්‍ය ගුවන් යානා ගමන් කරන උසටත් වඩා වැඩි උස මට්ටමකින්.

බැලූනය මුලින්ම දිස් වූයේ මොන්ටානා නැමැති ප්‍රාන්තයට ඉහළ අහසේ බව කලින් ද සඳහන් කළා. මෙම ප්‍රාන්තය ඇමරිකාවේ න්‍යෂ්ටික මිසයිල හා සම්බන්ධ යම් යම් කටයුතු සිදු කෙරෙන ප්‍රාන්තයක්. මෙවැනි ප්‍රාන්තයක් හරහා ‘ඔත්තු බැලීමේ’ චීන බැලූනයක් ගමන් කිරීම ඇමරිකාව සහ චීනය අතර උණුසුම් රාජ්‍ය තාන්ත්‍රික ගැටලුවකට මග පෑදූ කාරණයක් බවට පත් වුණා. කොටින්ම ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ සිදු කිරීමට නියමිතව තිබූ නිල සංචාරයක් අත්හිටුවීමට පවා ඇමරිකාව කටයුතු කළා. ඔහු මෙම සංචාරයේ දී චීන ජනාධිපති ෂි ජින්පිං පවා හමුවීමටයි සූදානමින් සිටියේ.

මෙම බැලූනය ඇමරිකාවේ ඔත්තු බැලීම සඳහා චීනය විසින් එවන ලද්දක් බවට ඇමරිකාව කළ ප්‍රකාශයට චීනය දෙන පිලිතුර කුමක්ද යන්න දැන ගැනීමට බොහෝ දෙනෙකු උනන්දුවෙන් පසු වුණා. මුලින් තරමක් පසුබෑමෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් චීනය පැවසුවේ බැලූනය තමුන්ට අයත් එකක් වුවත් එය කිසිසේත් ඔත්තු බැලීමේ බැලූනයක් නොවන බවයි. මෙම බැලූනය කාලගුණය සම්බන්ධ තොරතුරු රැස් කරන්නක් බවයි ඔවුන් සඳහන් කළේ. එය ඒ වනවිට පැවැති සුළං තත්ත්වයන් නිසා නියමිත මාර්ගයෙන් ඉවතට ඇදී ගොස් ඇමරිකාව දෙසට ගමන් කර ඇති බව ඔවුන් ප්‍රකාශ කළා. චීනය තව දුරටත් පැවසුවේ තමුන් සිතාමතා වෙනත් රටක ගුවන් සීමා උල්ලංඝනය නොකළ බවයි.

මෙම බැලූනයට වෙඩි තබා බිම හෙලිය යුතු බව ඇමරිකාවේ ඇතැම් පාර්ශ්වවල අදහස වුණා. නමුත් මෙය ඉතා විශාල බැලූනයක් නිසා එහි සුන්බුන් වැටීමෙන් මිනිසුන්ට සහ දේපලවලට හානි සිදුවිය හැකිය යන සැකය හේතුවෙන් මුලින් එම අදහස ඉවත දැමුණා. කෙසේ හෝ වේවා, බැලූනය මුල් වරට දර්ශණය වී දින හතරකට පසු, එනම් 5 වැනි දින වාර්තා වූයේ ඇමරිකාව ඊට වෙඩි තබා ඇති බවයි. නමුත් ඔවුන් එලෙස කර තිබුණේ බැලූනය ගොඩබිම් ප්‍රදේශ පසු කර අත්ලාන්තික් සාගරය හරහා ගමන් කරමින් තිබියදී යි. ඇමරිකානු යුද ගුවන් යානා එල්ල කළ මිසයිල ප්‍රහාරයකිනුයි බැලූනය බිම හෙලා තිබුණේ. සාගරයට වැටුණු එහි සුන්බුන් රැස් කර ගැනීම සඳහා එදින ඇමරිකාව යුද නැව් ද යොදවා තිබුණා. බැලූනය ඔත්තු බැලීම සඳහා එවූවක් ද යන්න මෙම මෙවලම්වලින් සමහර විට දැන ගැනීමට හැකි වේවි.

මේ අතර ඔත්තු බැලීමේ යානයක් නොවන බව ප්‍රකාශ කරද්දීත් බැලූනයට වෙඩි තබා බිම හෙලීම ගැන චීනය දැඩි අප්‍රසාදය පළ කර තිබුණා. ඔවුන් එය හඳුන්වා තිබුණේ ඇමරිකාවේ අධි-ප්‍රතිචාරයක් හැටියට යි. මෙයට නිසි පරිදි ප්‍රතිචාර දැක්වීමට තමුන්ට ඇති අයිතිය ගැනත් චීන විදේශ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී තිබුණා.

ඇමරිකාව සහ චීනය අතර මෙවැනි ආතතියක් වර්ධනය වෙද්දී පසුගිය සිකුරාදා අනාවරණය වූයේ ලතින් ඇමරිකානු රටවලට ඉහළින් ද තවත් බැලුනයක් ගමන් කරමින් තිබූ බවයි. එය පොලොවේ සිට අඩි 55,000 ක් පමණ ඉහළින් ගමන් කරමින් ඇති බව කොලම්බියාව එදින ප්‍රකාශ කර තිබුණා. මෙම බැලූනය වෙනිසුවෙලාව, කොස්ටා රිකා වැනි රටවලට ඉහළින් ද දර්ශණය වී ඇති බවත් සඳහන් වුණා. කෙසේ නමුත් මෙම දෙවැනි බැලූනය ගැන චීනය කිසිවක් ප්‍රකාශ කර තිබුණේ නැහැ.

නිහාල් පීරිස්

අරුමැසි පුවත්