ඉදිරි ජනපතිවරණයට පොහොට්ටුවෙන් බැසිල්?

ඉදිරි ජනපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ(පොහොට්ටුව ) නියෝජනය කරමින් එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් වීමට බොහෝ දුරට ඉඩකඩ ඇතැයි ගම්පහ දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සම්බන්ධ ප්‍රධාන පෙළේ දේශපාලනඥයකු තම ආධාර කරුවන් හා පවසා ඇතැයි වාර්තා වෙයි.තම ඉදිරි දේශපාලන කටයුතුවලට බාධාවක් වන්නේ නම් තම අමෙරිකානු පුරවැසිභාවය අත්හැරීමට සූදානම් බව රාජපක්ෂ මහතා රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින් පැවසීම මුල් කොට එම දේශපාලනඥයාගෙන් සමීපතමයන් කළ විමසුමක දී ඔහු මෙම අනාවරණය කොට තිබේ.ද්විත්ව පුරවැසිභාවය පමණක් නොව ජනතාව වෙනුවෙන් කටයුතු කිරීමට වෙනත් නීතිමය බාධාවක් ඇත්නම් ඒවා ඉවත් කිරීමට ද තමන් සූදානම් බවත් තමා සාර්ථකද අසාර්ථකද යන්න තීරණය කළ යුත්තේ රටේ ජනතාව බවද රාජපක්ෂ මහතා එම සාකච්ඡාවේ දී පවසා තිබේ.එමෙන්ම ගම්පහ ප්‍රදේශයේ දේශපාලනඥයා වැඩිදුරටත් පවසා ඇත්තේ බැසිල් රාජපක්ෂ මහතා ජනතාව වෙතින් ප්‍රතික්ෂේප වී ඇති පුවත දේශපාලන විරුද්ධවාදීන් විසින් කෘත්‍රිමව මවා පෑ එකක් බවත් මේ වන විට සැලසුම් කෙරෙමින් පවතින වැඩ පිළිවෙලකට අනුව එම මතවාදය ජනතාව වෙතින් ඉවත් ව යනු ඇති බවත්ය.2010 වසරේ මහ මැතිවරණයෙන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරඟ වැදුණු බැසිල් රාජපක්ෂ මහතා මනාප ලක්ෂ හතරකටත් වඩා ලබමින් ජයග්‍රහණය කළ අතර පසුව ඔහුට රාජ්‍ය මුදල් සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් අධිකරණයේ නඩු පැවරී ඒවායින් නිදහස් ද විය.එමෙන්ම රුපියල් මිලියන දෙසීයක මුදලක් වැය කොට මල්වානේ අක්කර දහසයක ඉඩමක තැනූ සුවිසල් මන්දිරය ද තමන්ගේ නොවන බව ඔහු අධිකරණය හමුවේ කියා සිටියේ එහි අන් හිමි කරුවකු ද නොමැති පසුබිමක් යටතේ ය.
.

කාලීන පුවත්