පසුගිය සඳුදා (06) තුර්කියෙහි සිදු වූ බිහිසුණු භූමිකම්පා නිසා කඩා වැටුණු දහස් ගණනක් ගොඩනැගිලිවලට යට වී සිටින පුද්ගලයන් පිලිබඳව මේ වනවිට පළවන්නේ දැඩි ලෙස සිත් කම්පාවට පත් කරන තොරතුරු ය. මරණ බයෙන්, කුසගින්නෙන්, පිපාසයෙන් සහ මේ වනවිට එම කලාපයේ පවතින දැඩි ශීතලෙන්, වර්ෂාවෙන් පීඩා විඳිමින් දහස් ගණනක් තවමත් මෙම සුන්බුන් යට සිර වී සිටිති. ඔවුන්ගේ දිවි ගලවා ගැනීම සඳහා විශාල මෙහෙයුමක් දියත්ව තිබුණත් එම කලාපයේ පවතින හිමපතනය සහ වර්ෂාව වැනි කාරණා නිසා එම මෙහෙයුම්වලට දැඩි බලපෑම් එල්ල වී ඇති බව වාර්තා වේ. සුන්බුන්වලට යට වී සිටින්නන් ගලවා ගැනීම සඳහා කරන සටන කාලයත් සමග කරන මහා සටනක් බවට පත්ව ඇතැයි තුර්කියේ සහ සිරියාවේ සිටින මාධ්‍යවේදීන් සඳහන් කර තිබේ.
මේ අතර බදාදා දිනයේ මාධ්‍ය තුළ පළ වූ පුවතක් ලොව පුරා විශාල අවධානයක් දිනාගෙන තිබිණි. එයින් පැවසුණේ සුන්බුන් යට දී උපත ලැබූ සිඟිති දැරියක පිලිබඳව ය. ඇයගේ පවුලේ සියලු දෙනා මරණයට පත් වෙද්දී ඇය පමණක් නිරුපද්‍රිතව බේරා ගැනීමට හැකි වී තිබීම ද විශේෂත්වයක් විය.
මෙම පවුලේ අය ජීවත් වී තිබුණේ සිරියාවේ තට්ටු නිවාස ගොඩනැල්ලක ය. එම පවුලේ බිරිඳ ඒ වනවිට දරු ප්‍රසූතියකට ආසන්නව සිටියාය. ඇයටත්, ඇගේ සැමියාටත් ඒ වනවිට තවත් දරුවන් සිව් දෙනෙකු සිටි බව පැවසේ. කෙසේ හෝ වේවා, සඳුදා අලුයම් කාලයේ පළමු භූමිකම්පාව ආරම්භ වෙද්දී මෙම පවුලේ අය ද ඔවුන් සිටි ගොඩනැගිල්ලෙන් පිටතට දුවන්නට පටන්ගෙන තිබිණි. නමුත් ඔවුන්ගේ එම උත්සාහය සාර්ථක වී තිබුණේ නැත. පිටතට දිව යාමට පෙර ගොඩනැගිල්ල කඩා වැටුණු අතර ගැබ්බර කාන්තාව ඇතුළු සියලු දෙනා සුන්බුන්වලට යට වූහ.
සුන්බුන් යට සිර වී සිටිය දී බිරිඳට ප්‍රසව වේදනා ඇති වී තිබූ අතර ඇය මිය යන්නට පෙර සිඟිති දියණියක බිහි කර තිබුණාය.
ඔවුන් සිටි ගොඩනැගිල්ල කඩා වැටුණු බව ආරංචි වූ මෙම පවුලේ ඥාතීන් පිරිසක් පසුව එම ස්ථානය වෙත පැමිණ තිබිණි. ඔවුහු දැඩි කම්පනයෙන් යුතුව ගොඩනැගිල්ලේ සුන්බුන් අතර ඇවිදිමින් සිය නෑදෑයින් පිලිබඳ හෝඩුවාවක් සොයන්නට පටන් ගත්හ. ‘ඒ වෙලාවෙ අපිට එක තැනකින් කටහඬක් වගේ ශබ්දයක් ඇසුණා’ ඛලීල් අල්-සුවාදි නැමැති ඥාතියා පවසා තිබිණි. ‘අපි එතන හාරන්න පටන් ගත්තා. සුන්බුන්වලට යට වී සිටි කුඩා දියණිය අපිට දැකගන්න ලැබුණේ ඒ වෙලාවෙයි’.
දැරිය සිටියේ ඇයගේ මව අසළම බවත්, ඒ වනවිට මව මියගොස් සිටි බවත් ඛලීල් පැවසුවේය. දැරියගේ පෙකනි වැල ඒ වෙද්දීත් කැඩී නොතිබුණු බව ද ඔහු සඳහන් කර තිබිණි. ‘අපි පෙකනි වැල කපලා දියණිය ඉක්මනින් රෝහල වෙත රැගෙන ගියා’
රෝහල වෙත ගෙන යද්දී දැරිය සිට ඇත්තේ එතරම් යහපත් තත්ත්වයක නොවේ. ඇයට ප්‍රතිකාර කළ වෛද්‍යවරියක ඒ බව සඳහන් කර තිබුණාය. ‘දැරියගේ සිරුර පුරාම තැලුම් සහ වෙනත් තුවාල දකින්න තිබුණා. ඒ විතරක් නෙවෙයි දැඩි ශීතලට නිරාවරණය වීම නිසාත් ඇය දැඩි ලෙස ගිලන්වයි සිටියේ. මේ නිසා අපිට ඇයගේ සිරුර උණුසුම් කරන්න සිදු වුණා’ වෛද්‍ය හානි මාරූෆ් පවසා තිබිණාය. මෙම දැරියගේ උපත් බර රාත්තල් 7 ක් වූ බව ද පැවසේ. ඇය රෝහලේ නොමේරූ දරුවන් රඳවන ඉන්කියුබේටරයක් තුළ තබා ඇති අන්දම දැක්වෙන ඡායාරූප මාධ්‍ය තුළ පළ වී තිබේ. වෛද්‍යවරුන් පවසන්නේ ඇයගේ තත්ත්වය දැන් ස්ථාවර මට්ටමකට ළඟා වී ඇති බවයි.
මෙම සිඟිති දියණියගේ ජීවිතය බේරුණ ද ඇයගේ මවත්, පියාත්, සහෝදර සහෝරියන් සිව් දෙනාත් මේ වනවිට ජීවතුන් අතර නැත. ඔවුන් සියලු දෙනාගේ සිරුරු එකම තැනක මිහිදන් කරන ලද බව ද මාධ්‍ය සඳහන් කර තිබේ.
කෙසේ හෝ වේවා, මෙය සුන්බුන් යට සිර වී සිටි එක් පවුලක් පිලිබඳ කතාවක් පමණි. මෙවැනි තවත් පවුල් කීයක් නම් මෙම සුන්බුන් යට වැළලී සිටිනවා ද යන්න තවමත් නිශ්චිතව පැවසිය හැකි නොවේ. බ්‍රහස්පතින්දා (09) මෙම සටහන ලියන අවස්ථාව වනවිට භූමිකම්පා නිසා මිය ගිය සංඛ්‍යාව 16,000 ක් ලෙස වාර්තා වී තිබිණි. පසුගිය දිනෙක ලෝක සෞඛ්‍ය සංවිධානය කර තිබූ පුරෝකතනයකට අනුව මෙම සංඛ්‍යාව ඉදිරියේ දී 30,000 කට ආසන්න විය හැකිය.
තුර්කි ඉතිහාසයේ දරුණුම භූමිකම්පාව සිදුව තිබුණේ 1939 වසරේ යි. එයින් මිය ගිය ගණන වාර්තා වූයේ 33,000 ක් ලෙසිනි.
නිහාල් පීරිස්