ඇමරිකාවට ඉහළින් ගමන් කරමින් තිබූ යෝධ, අබිරහස් බැලූනයක් පිළිබඳ කතාව පසුගිය දිනවල ජාත්‍යන්තර සිදුවීම් අතර විශාල අවධානයක් දිනාගත් කතාවක් විය. අඩි 200 ක් පමණ උස බව පැවසුණු මෙම බැලූනය කුමක්ද යන්න මුලින් කාටත් අබිරහසක් වුවත් පසුව ඇමරිකානු ආරක්ෂක නිලධාරීන් පැවසුවේ එය චීනය විසින් එවන ලද ඔත්තු බැලීමේ බැලූනයක් බවයි. ඇමරිකාවට ඉහළ අහසේ මෙය මුලින්ම දිස් වූයේ එරට න්‍යෂ්ටික මිසයිල ක්ෂේත්රයට අදාළ කටයුතු විශාල වශයෙන් සිදුවන මොන්ටානා ප්‍රාන්තයට ඉහළින් ගමන් කරමින් තිබියදී ය. මේ නිසා මෙම ඔත්තු බැලීමේ කතාවට වැඩි වලංගුභාවයක් එක් වූ බවක් පෙනිණි.
කෙසේ වෙතත් මෙය ඔත්තු බැලීමේ බැලූනයක්ය යන චෝදනාව චීනය පිලිගත්තේ නැත. ඔවුන් පුන පුනා පැවසුවේ එය කාලගුණය පිලිබඳ තොරතුරු රැස් කරන ‘අහිංසක’ බැලූනයක් බවයි. චීනය එසේ කීවත් ඇමරිකාව සිය යුද ගුවන් යානා සහ මිසයිල යොදා ගනිමින් මෙම බැලූනය වෙඩි තබා බිම හෙලීමට පියවර ගත්තේය. ඒ එය අත්ලාන්තික් සාගරයට ඉහළින් ගමන් කරමින් තිබියදී යි. මේ වනවිට ඇමරිකානු නාවුක හමුදාව සාගර පත්ලෙහි ඇති බැලූනයේ සුන්බුන් එකතු කිරීමේ කටයුත්තෙහි නිරතව සිටියි. එම සුන්බුන් සියල්ල එකතු කර ගැනීමෙන් පසු මෙම බැලූනය පිලිබඳ බොහෝ රහස් හෙලි කර ගැනීමට හැකි වනු ඇතැයි සිතිය හැකිය. කෙසේ නමුත් මෙම බැලූනය අහසේ තිබිය දී ඒ ආසන්නයෙන් ගමන් කළ ඇමරිකානු යුද ගුවන් යානා විසින් ගන්නා ලද ඡායාරූපවලින් පෙනෙන්නේ මෙහි ඔත්තු බැලීමේ උපකරණ තිබූ බව යයි ද ඇමරිකානු නිලධාරීන් පවසා තිබේ.
ඇමරිකාව බැලූනයට වෙඩි තබා බිම හෙලීම ගැන චීනය දැඩි විරෝධය පළ කළේය. කෙසේ හෝ වේවා, මෙම අබිරහස් බැලූනය නිසා මේ වනවිට ඇමරිකාව සහ චීනය අතර විශාල රාජ්‍ය තාන්ත්‍රික ගැටුමක්, ආතතියක් වර්ධනය වෙමින් තිබේ.
මේ අතර පසුගිය දා ඇමරිකානු නිලධාරීන් විසින් කරන ලද ප්‍රකාශයන් කිහිපයක් හේතුවෙන් මෙම ආන්දෝලනය තවත් උග්‍ර වෙමින් ඇති ආකාරයක් දැකිය හැකි වේ. මෙම නිලධාරීන් පවසන්නේ ඉහත කී බැලූනය හුදෙකලා බැලූනයක් නොවන බවයි. එය චීනය විසින් දියත් කරනු ලැබ ඇති වඩාත් පුළුල් බැලූන් ව්‍යාපෘතියක එක් අංගයක් පමණක්ය යන්න ඇමරිකාවේ විශ්වාසය යයි ඔවුහු පවසති. මෙම නිලධාරීන් පවසන ආකාරයට පසුගිය කාලයේ චීනය මෙවැනි බැලූන ලෝකයේ සෑම මහාද්වීපයක් හරහාම වාගේ පියාසර කරවා තිබේ. රටවල් 40 කට වැඩි ගණනකට ඉහළින් මෙවැනි බැලූන ගමන් කර ඇති බව ද ඔවුහු පවසති. මෙම බැලූන ව්‍යාපෘතියේ එකම ඉලක්කය ඇමරිකාව පමණක් නොවන බවත්, ඉන්දියාව, ජපානය, වියට්නායමය, පිලිපීනය, තායිවානය ආදිය ද මෙහි ඉලක්ක බවත් මෙම නිලධාරීන් සඳහන් කර තිබේ. මෙය සත්‍යයක් නම් එය ඉතා බරපතල කාරණයක් බව අමුතුවෙන් කිව යුතු නැත.
පසුගිය දා ඇමරිකාවට ඉහළින් ගමන් කළ බැලූනයට අමතරව තවත් බැලූනයක් එම දිනවලම ලතින් ඇමරිකානු රටවලට ඉහළින් ද දැකගන්නට ලැබිණි. එම බැලූනය ද තමුන්ට අයත් එකක් බව චීනය පසුව පිලිගත්තේය.
කෙසේ හෝ වේවා, ඇමරිකානු නිලධාරීන් පෙන්වා දෙන්නට යන්නේ චීනය දියුණු තාක්ෂණයෙන් යුතු බැලූන ව්‍යාපෘතියක් හරහා ලෝකයේම බලගතු රටවල ඔත්තු බැලීමේ මෙහෙයුමක් දියත් කර ඇති බවකි. එම නිලධාරීන්ගේ මේ ප්‍රකාශවලට චීනය ද පිලිතුරක් දී තිබිණි. එහි දී චීනය පවසන්නේ තම රටට එරෙහිව ලෝක ජනමතයක් ගොඩ නැගීම සඳහා ඇමරිකාව මේ තුළින් ද උත්සාහ ගන්නා බවයි. එය තමුන් දැඩි පිලිකුලෙන් යුතුව හෙලා දකින බවක් ද චීන විදේශ අමාත්‍යංශය පවසා තිබේ. ‘ඇමරිකාව කියන ආකාරයේ බැලූන සමූහයක් ගැන මා නම් දන්නේ නැහැ’ යයි එම අමාතංශයේ ප්‍රකාශකයකු මාධ්‍ය හමුවේ පවසා තිබිණි.
මෙම බැලූනය පිලිබඳ සිද්ධිය ඇමරිකාව සහ චීනය අතර සබඳතාවලට කවරාකාරයෙන් බලපානු ඇත්ද යන්න ගැන මේ වනවිට බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබේ. මෙම සිද්ධිය සිදු වූයේ ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ නිල සංචාරයක නිරත වීමට ආසන්නව තිබියදී යි. එම සංචාරය අතරතුර ඔහු චීන ජනාධිපති ෂි ජින්පිං හමුවීමට ද නියමිතව සිටි බව පැවසිණි. බැලූනය පිලිබඳ ගැටලුව මතු වීමත් සමග බ්ලින්කන්ගේ චාරිකාව අත්හිටුවීමට ඇමරිකාව කටයුතු කළේය.
නිහාල් පීරිස්