යකාගේ පඩිපෙළ ගැන නොදන්නා, මේ නම අසන ඕනෑම කෙනෙකු මෙය පඩි පෙළක් වැනි අක්‍රමවත් ගල් පේළියක් විය හැකි බව සිතන්නට පුළුවන්. නමුත් ඇත්තටම මෙය එවැන්නක් නොවෙයි. Devil’s staircase යනු ඉතාමත් අපහසු කඳු තරණයක් හැඳින්වීමට ඉංග්‍රීසි ජාතිකයන් යොදාගත් නමක්. සුද්දන් විසින් තැබූ Devil’s staircase යන්න අපි යක්ෂයාගේ පඩිපෙළ හෙවත් එය තවත් කෙටිකර යකාගේ පඩිපෙළ ලෙසින් සිංහලට හරවා ගෙන තිබෙනවා. Devil’s staircase ලෙසින් ඉංග්‍රීසීන් විසින්ම නම් කරන ලද කඳුකර මාර්ග අයර්ලන්තයේ සහ නවසීලන්තයේ ද පිහිටා තිබෙනවා.
දැන් අපි බලමු අපේ රටේ යකාගේ පඩිපෙළ කොහෙද පිහිටා තියෙන්නෙ කියලා.
මෙය ආරම්භ වන්නේ කළුපහන හන්දියෙන්. කොළඹ මඩකළපුව A – 4 මාර්ගයේ කොළඹ සිට කිලෝමීටර් 160ක පමණ දුරින් පිහිටි කුඩා මංසන්ධියක් තමයි කළුපහන හන්දිය කියන්නේ.
කළුපහනෙන් හැරී කළුපහන සිට ඔහිය දක්වා මාර්ගයේ කිලෝමීටර් 3 ක් පමණ ගිය විට බඹරකන්ද ඇල්ල හමු වෙනවා. නියම යකාගේ පඩිපෙළ තරණය ආරම්භ වන්නේ එතැනින්. බඹරකන්ද ඇල්ල ළඟින් තිබෙන ෆයිනස් කැළයෙන් ගොස් එතැන සිට ලංකා ඇල්ල තෙක් පයින් යන්න ඕනේ. මේක හරිම දුෂ්කර අඩි පාරක්. ලංකා ඇල්ල ළඟින් උඩට දළ නැග්මක් තිබෙනවා. මේකත් අඩි පාරක්. ඒ අඩි පාර ගිහින් වැටෙන්නේ කුඩා මිනිස් ජනාවාසයකට. ඒ කියන්නේ පවුල් හත අටක් පමණ ජීවත් වන කුඩා වත්තක්. වත්තේ සිට ඔහියට යන පාර ගල් දමා තලන ලද ඉතාමත් දුෂ්කර පාරක්.
මේකෙන් ඔහියට යන්න පුළුවන්. දුෂ්කර කඳු තරණය කරමින් මේ සංචාරයේ යෙදෙන ඔබට වතුකර දෙමළ ජනයාගේ ලෙයිම් ඇතුළත් කුඩා ජනාවාස කිහිපයක්, අත්හැර දමන ලද කුඩා තේ වතු වගේම වගා කරන ලද කුඩා තේ වතු ද, එළවළු වගාබිම් ද, කඳුකර පතනක්, තෘණභූමි ඇතුළත් තෘණ වනාන්තරයක් , කඳුකර වනාන්තර පද්ධතියක් ආදී වශයෙන් ඉතාමත් සුන්දර පරිසරයක එකිනෙකට වෙනස් විවිධ අත්දැකීම් රාශියක් විඳ ගත හැකි ස්ථාන රැසක් හමු වෙනවා.
කළුපහන ඔහිය මාර්ගයෙන් ඉහළ කොටසේ දී ඉතා අපහසුවෙන් මෝටර් සයිකලයක් හෝ කුඩා ෆෝවීල් වාහනයක් රැගෙන යා හැකියි. නමුත් එය ද තරමක් අනතුරුදායක ක්‍රියාවලියක්. වතු ජනයා තම ගමනාගමනය සඳහා පැරණි වෑන් රථයක් හෝ ත්‍රිරෝද රථයක් යොදාගන්නවා . මෙම මාර්ගයේ ඉහළ ඉතාමත් දුෂ්කර කොටසේ ඔහිය දක්වා වන මාර්ගයේ දී මිනිසකු ඇස ගැටෙන්නේ නම් ඒ ඉතා කලාතුරකින්. මෙම ප්‍රදේශ වහ වහා වෙනස් වන කාලගුණ තත්වයන්ගෙන් යුතුයි.
කෙසේ වුවත් මේ සඳහන් කළේ ඔහිය දක්වා වැටෙන යකාගේ පඩිපෙළ ගැනයි. ඔහියට ගිය පසු ඔබට කැමති නම් එතැනින් හෝර්ටන් තැන්නට යා හැකියි.
මේ ජනාවාසවල ජීවත් වන ජනයා අප මේ සඳහන් කළ පාර පරිහරණය කරන්නේ නැති තරම්. ඔවුන්ට ලංකා ඇල්ල අසලින් මීට වඩා තරමක් පහසුවෙන් යා හැකි වෙනත් මාර්ගයක් තිබෙනවා. නමුත් පරිසරයේ අසිරිය විඳ ගනිමින් සංචාරය කිරීමට කැමති සංචාරකයන්ට මෙවැනි දුෂ්කර මාර්ගවල අත්දැකීම් විඳගැනීම තමයි වඩාත් සුදුසු වන්නේ. කෙසේ වුවද පොදුවේ කීමට තිබෙන්නේ මේ සියලුම මාර්ග ඉතාමත් දුෂ්කර බවයි.
තවත් විශේෂයෙන් සඳහන් කළ යුතු දෙයක් තිබෙනවා. මේ දිය ඇලිවල නෑම ඕනෑම සංචාරකයකු විඳ ගන්නට කැමති අසිරිමත් අත්දැකීමක්. නමුත් මෙහිදී ඔබ ෂැම්පු සබන් වැනි දේ භාවිතා කිරීමෙන් මුළුමනින් වැළකිය යුතුයි. හෝර්ටන් තැන්න කියන්නේ අධිසංවේදී කලාපයක්. මේ ප්‍රදේශයත් අයිති වන්නේ හෝර්ටන් තැන්න කලාපයට. ෂැම්පු සබන් වැනි රසායනිකයන් මෙහි ඇති ජලයට එකතු වූ විට එම පරිසරය සම්පූර්ණයෙන් විනාශ කරන්නට එම රසායනිකයන් ස්වල්පයක් පවා ප්‍රමාණවත්. අඩුම තරමින් වාහනයක දුමක් පවා මේ පරිසරයට ඉතාමත් අහිතකර ව බලපානවා. එම පරිසරයේ ජීවත් වන සතුන් වගේ ම ගස්-වැල් පවා හරිම සංවේදීයි. එනිසා ඔබ පරිසරයට ආදරය කරන සංචාරකයකු නම් මෙම ප්‍රදේශයට පමණක් නොව ලංකාවේ කුමන කැලෑබද සුන්දර ප්‍රදේශයක සංචාරය කරන්නට ගියත් සබන් ෂැම්පු භාවිතය වගේම පොලිතීන් ඉටිකොළ මේ කිසිම දෙයක් ඒ පරිසරයට එකතු නොකරන්නට වගබලා ගත යුතුයි.
විස්තර සහ ඡායාරූප සපයා දුන් ශ්‍රී ලංකා හරිත ව්‍යාපාරයට අපගේ ස්තුතිය.
ඉන්දු පෙරේරා