මෙරට සියලු ආදායම් වාර්තා බිඳ හෙලූ ගජමෑන් හැදුනු හැටි

මේ දිනවල අපේ රටේ සියලු ආදායම් වාර්තා බිඳ හෙළමින් තිරගත වන චිත්‍රපටය බවට “ගජමෑන්” පත් වී හමාර ය. නමුත් මෙය අප දකින සාමාන්‍ය චිත්‍රපටයක් නොවේ. එය කාටුන් චිත්‍රපටයකි. එසේම එය මෙරට ප්‍රථම 3D feature film හෙවත් ප්‍රථම ත්‍රිමාණ වෘතාන්ත චිත්‍රපටයද වේ. මෙය අපේ රටේ සියලුම 3D සිනමාහල්වල, එනම් සිනමා හල් 25 ක මේ වනවිට අතිසාර්ථක ලෙස තිරගත වන අතර එය නැරඹීම සඳහා ප්‍රවේශ පත්‍ර කලින් වෙන් කරවා ගැනීමට සිදුවීම ම මෙම චිත්‍රපටය මොන තරම් ජන ප්‍රසාදයක්, ජන ආකර්ෂණයක් දිනා ගෙන තිබෙන්නේද යන්න දක්වන්නට හොඳම නිදසුන වේ.
අපේ රටේ සිටින ප්‍රවීණතම කාටුන් චිත්‍ර ශිල්පියකු වන කැමිලස් පෙරේරා ගේ සිතේ ඇඳි ගජමෑන් මීට දශක කිහිපයකට ඉහත මෙරට ඉතාමත් ජනප්‍රිය චිත්‍රකතා පුවත්පතක් ව පැවති සිත්තර පත්‍රයෙහි පළවූ අතිශයින් ජනප්‍රිය කාටුන් චිත්‍රකතාවකි. එකල මෙරට පැවැති සමාජ, දේශපාලන සහ මිනිසුන් සිතන පතන ආකාරය සම්බන්ධ විවිධ තත්වයන් උපහාසයට ලක් කර නිර්මාණය වූ ගජමෑන් චිත්‍රකතාවෙහි එන ගජමෑන් චරිතයට අමතරව දැක්කොත් පත්මාවතී, සෙල්ලම්සේන, මගෝඩිස් වැනි කාටුන් චිත්‍ර කතා චරිත කිහිපයක් ගජමෑන් ත්‍රිමාණ චිත්‍රපටය නිර්මාණය කිරීම සඳහා යොදා ගෙන ඇත.

මෙම ත්‍රිමාණ චිත්‍රපටය නිර්මාණය සම්බන්ධ මූලික සංකල්පය ඇති වී තිබෙන්නේ එහි අධ්‍යක්ෂවරයා වූ චානක පෙරේරාගේ සිතෙහි ය. ඉන්පසු ඔහු කැමිලස් පෙරේරා හමුවී මේ සඳහා අනුමැතිය ලබාගෙන මෙම චිත්‍රපටයේ මූලික කටයුතු 2010 වසරේ දී ආරම්භ කර තිබිණි. මෙහි ඇනිමේෂන් හෙවත් සජීවීකරණ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන්නේ ප්‍රවීණ ඇනිමේෂන් නිර්මාණ ශිල්පියකු වන ඉසුරු මධුෂාන් ය. එම කටයුතු ඉසුරු භාර ගෙන ඇත්තේ 2014 දී යි.
අප ගජමෑන් චිත්‍රපටය පිළිබඳව කතා කිරීම සඳහා ඉසුරු ව හමුවූයේ මෙහි අතිශය වැදගත් සහ භාරදූර ම කාර්යයෙහි වගකීම දරන්නා ඔහු නිසා ය.
” මේ චිත්‍රපටියේ ගජමෑන්, දැක්කොත් පත්මාවතී, මගෝඩිස්තුමා, සෙල්ලංසේන වැනි චරිතවලට අමතරව අප ඇම්ඩන් නමින් අලුත් චරිතයක් ද ඇතුළත් කළා. මෙහි ධාවන කාලය විනාඩි 90 යි. මේ විනාඩි 90 ට ම ජවනිකා 72 ක් නිර්මාණය කර ඇතුළත් කොට තිබෙනවා. ”
ඉසුරු කතාව ආරම්භ කළේ එලෙසිනි.

කෙසේ වුවද මෙම කාටුන් චිත්‍රපටයෙහි කතාව එදා ඔබ චිත්‍රකතාවෙන් දුටු කතා නොවේ. එය එදා සමාජය විවරණය කළ ද ඒවා අදට ගැළපෙන්නේ නැත. එනිසා මෙම චරිත ඇතුළත් කර ගනිමින් වර්තමානයට අනුකූල වන ලෙස, අද පවත්නා සමාජයේ විවිධ පැතිකඩ උපහාසයට ලක් කිරීම මෙම සිනමා නිර්මාණයෙන් සිදුකර ඇත.
” මෙහිදී කරන්නේ මෘදුකාංග භාවිතයෙන් චිත්‍රයක් අඳිනවා වගේ සියල්ල නිර්මාණය කිරීමයි. එය හඳුන්වන්නේ 3D modeling ලෙසින්. තන්තුවකින් රූකඩ නටවන ආකාරය ඔබ දැක ඇති. ඒ වගේ අපි මෙහිදී චරිතවලට සැකිළි සහ ඊට අනුගත කන්ට්‍රෝලර්ස් සම්බන්ධ කර 3D රිග්ස් නිර්මාණය කර එම රිග්ස් යොදා ගෙන ඇනිමේට් කිරීම හෙවත් සජීවීකරණය කරනවා. මෙලෙස ඇනිමේට් කිරීමට විශේෂ වූ motion capture නම් තාක්ෂණයක් භාවිතා කර නළු නිළියන්ගේ අංග චලනයන්ගේ දත්ත විශේෂිත කැමරා ආධාරයෙන් ත්‍රිමාණ අවකාශයට ගෙන සජිවිකරණය කළා. තවත් මෙම චිත්‍රපටයට විශේෂ අලංකරණයක් ගෙනෙන්නේ ආලෝකකරණයයි. එය ත්‍රිමාණ චිත්‍රපටයක ඉතා සංකීර්ණ ක්‍රියාදාමයක්.

ආලෝකකරණයෙන් පසු එම රූපරාමු තිරයට ගෙන ඒම රෙන්ඩර් කිරීම ලෙස හඳුන්වනවා. අවසානයේ දී මේ සියල්ල අපට ලැබෙන්නේ රූප රාමු ලෙසින්.විනාඩි 90ක් මුළුල්ලේ මෙලෙසින් රූප රාමු එක් ලක්ෂ තිස්දහසකට ආසන්න ප්‍රමාණයක් render කිරීම විශාල අභියෝගයක් . මන්දයත්, එක් රූප රාමුවක් සාමාන්‍ය l Seven පරිගණකයක render කිරීමට විනාඩි 45 පමණ කාලයක් ගත වන නිසයි. පසුව රෙන්ඩර් ෆාම්ස් ආධාර කරගෙන රූපරාමු රෙන්ඩර් කිරීම සිදු කළා. ඒ පරිගණක එවකට මේ රටේ තිබුණේ නෑ. ඒ නිසා ඒවා අපටම නිර්මාණය කර ගන්න සිදු වුණා. මං මේ කියන්නේ 2014, 2016 වැනි අප මේ නිර්මාණයට අත ගසා එය නිර්මාණය කළ මීට අවුරුදු 7, 8 කට එපිට කාලය ගැන. මේ රූප රාමු රෙන්ඩර් කිරීමේ කාර්යයට මටත් කලින් ඉඳල මේ චිත්‍රපටයට සම්බන්ධ වෙලා සෑහෙන වැඩ කොටසක් කර තිබුණේ ප්‍රවීණ ශිල්පී ධනුෂ්ක ලක්මාල් කන්නන්ගර යි. මෙහිදී ගජමෑන්, පත්මාවතී සහ මගෝඩිස් කියන චරිත තුනම මම තමයි ඇනිමේට් කළේ. ඇත්තටම ඇනිමේටර් කියන්නේ කාටුන් චිත්‍රපටයක නළුවෙක්.0( මොකද ඒ හැම චරිතයකම මුහුණේ ඉරියව්, හැඟීම් ඇනිමේටර් කෙනෙක් විදිහට තිරයට ගෙනෙන එක මගේ වගකීමක් ”
ඉසුරු පැවසීය.
ඔහු වැඩිදුරටත් සඳහන් කළ අන්දමට 2014 දී මෙම චිත්‍රපටයේ ඇනිමේෂන් කටයුතු භාරගත් පසු 2018 දී ඔහු එය නිම කර ඇත. සාමාන්‍යයෙන් මෙවැනි ත්‍රිමාණ චිත්‍රපටවල ඇනිමේෂන් මෙන්ම අනිකුත් ලයිටින්, රෙන්ඩින් යන මේ සියල්ල සමගාමීව එකට යා යුතුය. එනිසා එම කටයුතු භාර ගෙන තිබූ අනෙකුත් ශිල්පීන්ද සමග එක්ව 2018 වසර වන විට මෙම චිත්‍රපටය සම්පූර්ණයෙන්ම නිම කිරීමට මෙම කණ්ඩායමට හැකිවී තිබිණි. දැන් පමණට තාක්ෂණය දියුණු වී නොතිබුණු ඒ යුගයේ ඔවුන් ඒ සඳහා තමන්ගේ අප්‍රමාණ කැපවීම සහ දැඩි පරිශ්‍රමයක් දරා ඒ සියලු කටයුතු තමන් විසින්ම සිදුකර තිබේ.

ඉන්පසු මෙම චිත්‍රපටය සිනමාහල් වල ප්‍රදර්ශනය කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබියදී මෙරට පාස්කු ප්‍රහාරය සිදුවිය. ඒ කලබල සමනය වී මඳ කලක් ගත වූ පසු නැවත චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කළ ද ඉන්පසු කොරෝනා වසංගතය අපේ රට පමණක් නොව මුළු ලෝකයම වෙලා ගැනීම හේතුවෙන් එය දින නියමයක් නැතිව කල් ගියේය.
ඉන්පසු 2020, 2021 වසරින් වසර ගෙවී යද්දී මෙම චිත්‍රපටයේ දෙබස්වල කාලෝචිත බව ගිලිහී ගොස් තිබිණි. වර්තමානයට කාලෝචිතව චිත්‍රපටය නැවත සංස්කරණය කිරීමට සහ දෙබස් ගැළපීමට සිදු විය. එම කටයුත්ත සාර්ථකව සිදු කරනු ලැබුවේ චිත්‍රපටියේ සංස්කරණ ශිල්පී මධුප්‍රිය ශශිමාල් ය.

” මේ චිත්‍රපටියේ මගෝඩිස්ට ජිප්සීස් නායක සුනිල් පෙරේරාත්, පත්මාවතී ට පබෝදා සන්දීපනී ත්, ගජමෑන් ට පොඩි මල්ලී ( ගාමින්ද ප්‍රියවිරාජ්)ත්, ඇම්ඩන්ට චූටි මල්ලී ( සුනෙත් චිත්‍රානන්ද ) ත් ප්‍රධාන වශයෙන් හඬ කවනවා. හඬ කැවීම් ඇතුළු චිත්‍රපටයේ සමස්ත කාර්යයන්ට සම්බන්ධ වූ පිරිස පිළිබඳව සැලකුවහොත් පරම්පරා තුනක අය මීට සම්බන්ධ වී තමන්ගේ දායකත්වය ලබා දී තිබෙන බව කියන්නේ හදපුරා සතුටින්”
ඉසුරු පවසයි.
” මේකට සම්බන්ධ වුණු අප හැම දෙනාම කණ්ඩායමක් විදියට වැඩ කළේ ලාබ පාඩු ගැන හිතන්නේ නැතිව කොහොමහරි මේක ඉතාමත් සාර්ථකව අවසන් කරන්න ඕනේ කියන අවංක අධිෂ්ඨානයෙන්. කියන්න සතුටුයි ඇත්තටම නොසිතූ විරූ විදියට අපේ උත්සාහය සාර්ථක වුණා”
ඉසුරු පැවසුවේ මහත් තෘප්තිමත් ලෙසිනි.
ගජමෑන් තබා ඇති වාර්තා මෙසේ ය.
* මෙහි ප්‍රදර්ශනය ආරම්භ කළේ පසුගිය ජනවාරි 20 වෙනිදා ය. මෙම ලිපිය පළ කරන අද දිනය, එනම් පෙබරවාරි 17 වන විට තවම මෙහි ප්‍රදර්ශනය ආරම්භ කර මාසයක් ගත ව නැත. මේ කෙටි කාලයට ලංකාවේ වැඩිම ආදායම් ලැබූ චිත්‍රපටය
* පසුගිය පෙබරවාරි 4 වෙනිදා නිදහස් දිනයේ, එක් දිනයක් තුළ වැඩිම ආදායමක් ලද චිත්‍රපටය
* එසේම ආරම්භක දිනයේ වැඩිම ආදායමක් ලද චිත්‍රපටය
* වේගවත්ම මුල් ලක්ෂ 500 ඉපයූ චිත්‍රපටය ( මේ වන විට මෙහි ආදායම ලක්ෂ 2500 ඉක්මවා ගොස් ඇත.)
* ඕස්ට්‍රේලියාව තුළ සිංහල චිත්‍රපටයක් ලැබූ ඉහළම ආදායම
*දින 12 කින් ආදායම ලක්ෂ දාහ පසු කළ මුල්ම චිත්‍රපටය
* තවද දිනෙක ආදායම රුපියල් කෝටිය ඉක්මවූ දින තුනක් ඇති ලංකාවේ එකම චිත්‍රපටිය

මෙම මස 26 දා සිට ⁣ගජමෑන් ඉතාලියේ ප්‍රදර්ශනය ආරම්භ කිරීමට නියමිත ය. ඊළඟට ඇමරිකාව , කැනඩාව සහ බ්‍රිතාන්‍යයේ මෙය තිරගත කෙරේ.
ගජමෑන් අධ්‍යක්ෂ චානක පෙරේරා මෙම චිත්‍රපටය සඳහා රුපියල් කෝටි හතක පමණ මුදලක් වැය කර ඇති බව පැවසේ. මෙවන් අභියෝගාත්මක කාර්යයකට ඔහු අත ගසා තිබෙන්නේ ලාබ පාඩු පිළිබඳව අමතක කොට තම සිහිනය මල්පල ගන්වා ගැනීම කෙරෙහි පමණක් සිත යොදවමිනි. සැබවින්ම ඔහු පැසසිය යුතුය. මන්ද, දිනුම් කණුව පසුකර යන්නේ අභියෝග හමුවේ නොසැලෙන, නොසිඳෙන ආත්ම ශක්තියක් ඇති මිනිසුන් පමණක් වන නිසා ය.

ඉන්දු පෙරේරා

රසගඟුල