දිනපතා මිනිසුන් කිහිප දෙනෙකුට ජීවිත අහිමි කරවමින් තවත් පිරිසක් ආබාධිත තත්වයට පත්කරවන රිය අනතුරුවලට ප්‍රධාන හේතුවක් වන්නේ තැන තැන සැරිසරන සුනඛයන්, බළලුන් ආදී සතුන්ය යන මතයක් මේ වන විට සමාජය පුරා ප්‍රචලිත වී තිබේ.නමුත් එහි කිසි විද්‍යාත්මක තබා යුක්ති සහගත පදනමක් වත් ඇති බවක් නොපෙනෙයි. එනිසාම ඉන්න හිටින්න තැනක් නැතිව අසරණ භාවයට පත් වී නිවහන මහ මඟ කරගත් අසරණ සතුන්ට මහා මාර්ග වලදී පවා මිනිසුන්ගෙන් වන අනේක විධ ආපදා අපමණ ය.
රිය අනතුරු සිදුවීමට බහුල වශයෙන් බලපාන හේතු ලෙස ලොව පුරා පොදුවේ පිළිගැනෙන හේතු සාධක කිහිපයකි. වාහනවල තාක්ෂණික දෝෂ, මාර්ගයේ පවතින අඩුපාඩු ඒවායේ ස්වභාවය, අයහපත් කාලගුණික තත්ත්වයන්ගේ බලපෑම ඇතුළු පාරිසරික හේතු වැනි මිනිසාට පාලනය කළ නොහැකි සාධක ඒ අතර ප්‍රධාන ය. අනතුරක් යන්න නිර්මාණය වන්නේ ද මිනිසාට පාලනය කළ හැකි සීමාවෙන් ඔබ්බට ගොස් සිදුවන ආපදාවන් ලෙස ය.එහෙත්, මේ බොහෝ අනතුරු, අනතුරු ලෙස පිළිගන්නට හැකිදැයි පවතින්නේ ගැටලුවකි. එසේ පවසන්නට සිදුවන්නේ ඒ බොහෝ දේ මිනිසාගේ පාලනයෙන් පරිබාහිරව සිදු නොවන නිසා ය. එනම් ඒ බොහෝ අනතුරු වලට මිනිසා සෘජුව හෝ වක්‍රාකාරව වගකිව යුතු වන නිසාය. සුළි සුළඟක්, සුනාමියක් මිනිසුන්ට පාලනය කළ නොහැකි වුව ද මාර්ගයේ ඇති වළවල්, වතුරින් පිරී ගිය කාණු පද්ධති වංගු සහිත අපැහැදිලි මංමාවත් හේතුවෙන් සිදුවන අනතුරු සුලබ වන අතර ඒවාට වගකිව යුතු වන්නේ ද මිනිස් ක්‍රියාකාරකම් ය.
මේ ආකාරයට රිය අනතුරුවලට බලපාන ප්‍රධානම හේතුව ලෙස මේ වන විට හඳුනාගෙන ඇත්තේ මිනිසාගේ නොසැලකිලිමත් ක්‍රියාකාරකම් ය. බීමත්ව හෝ නිදිබරව රිය පැදවීම, වාහනයේ තාක්ෂණික දෝෂ පිළිබඳව සොයා නොබලා ධාවනය කරවීම, අධික වේගය, අවධානයෙන් තොරවීම හෝ නොසැලකිලිමත් බව රිය අනතුරු මරණ හා තුවාලවලට බලපාන ප්‍රධානම හේතු ලෙස මේ වන විට හඳුනාගෙන තිබේ.
අදත් සමහර පුද්ගලයන් පවසන ආකාරයට රිය අනතුරු සම්බන්ධයෙන් සතුන් කොතරම් දුරට තීරණාත්මක සාධකයක් වනවාදැයි දැන් අපි විමසා බලමු.මාර්ගයේ සතුන් ගැවසීම අනතුරුවලට හේතුවක් නොවේම යැයි අපට පැවැසිය නොහැකිය. එහෙත්, එහිදී ද බළලුන් සුනඛයන් වැනි සතුන් වාහනවල ගැටීම නිසා මිනිසුන්ට වන හානියට වඩා වැඩි හානියක් සිදුවන්නේ සතුන්ට ය. ඒ රියැදුරන්ගේ අපරීක්ෂාකාරී බව හේතුවෙනි. ඒ අනුව මින් මිනිසුන්ට හානියක් සිදුවන බව පැවසීම ‘පාර්ශ්වීය’ මතයක් පමණි.එවැනි අනතුරු හේතුවෙන් ගැටුණු සතා මිය යෑම බොහෝ විට සිදු වන්නකි.එසේ මහා මාර්ග වල මැරී වැටී ඇති සතුන් අපි කොතෙකුත් දැක ඇත්තෙමු. එහෙත්,එවැනි සතෙකු නිසා මිනිසුන්ට අනතුරු සිදුවනවා නම් ඒ යතුරු පැදිය පෙරළීමක් වැනි හේතුවක් නිසා ය. ඒ ආකාරයට හෝ මිනිසාට අනතුරක් සිදු වනවා නම් ඊට වගකිවයුත්තේ පාරේ ගමන් ගත් සුනඛයා හෝ බළලා පමණක්ද? මක් නිසාද යත් එම සංසිද්ධීන්ට පාර්ශ්ව දෙකක්ම සම්බන්ධ බැවිනි.මෝටර් වාහන පනතේ 149 වගන්තියට අනුව ඕනෑම ආකාරයක අනතුරක් වලක්වා ගැනීම රියැදුරුගේ වගකීමකි. ඒ අනුව බලන විට වුව සතෙකු වාහනයක ගැටෙන්නට හේතුව එය පදවන්නාගේ අධික වේගය, නොසැලකිලිමත් බව, අවධානය නැතිකම වැනි හේතුවක් නොවේද? ධාවනය වන වාහනයක මිනිසෙකු ගැටෙන්නට යන විටදී කෙසේ හෝ එය වළක්වා ගන්නට අවසන් තත්පරය දක්වා උත්සාහ දරන බොහෝ රියැදුරන් සතකු ගැටෙන්නට යන විටදී එවැනි උත්සාහයක යෙදෙන බවක් දැක ගන්නට නැත. ඒ මිනිස් ජීවිතයක් අනතුරට පත් කිරීමේ බැරෑරුම් බව සතකුගේ ජීවිතයක් සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුගේ මනැස් තුළට නොපිවිසෙන බැවිනි.
මාර්ගයක වාහනයක් පදවන විට අපරීක්ෂාකාරී ලෙස පාර පනින කුඩා දරුවන් වටපිටාව පිළිබඳ නිසි අවධානයක් යොමු කළ නොහැකි වැඩිහිටියන් සහ ද්‍රෂ්‍යාබාධිතයන් සේම කායික දුබලතා සහිත වූවන් සේම ආබාධිත වූවෝ ද වරින් වර හමුවෙති.එහෙත් ඔවුන් නිසා රිය අනතුරු බහුල බවට කිසිදු රියැදුරෙක් මැසිවිලි නොනඟති.ඒ එම පුද්ගලයන්ට කිනම් හෝ සමාජමය වටිනා කමක් හිමි බැවිනි.එමෙන්ම නගරයෙන් පිටත ප්‍රදේශ වලදී වන සතුන් ගෙන් ද රථවාහන ධාවනයට බාධා සිදුවේ එහෙත් කිසිවකුගෙන් ඒ පිළිබඳව ද මැසිවිලි නැත.නමුදු බොහෝ දෙනකුට පැනයක් වනුයේ සමාජමය වශයෙන් කිසිදු අගයක් වටිනා කමක් නොමැති නිවාස අහිමි අසරණ සුනඛයන් හා බළලුන් පමණි.මෙකී තත්වයක් යටතේ වුව ද රිය පදවන්නකු මාර්ගයේ සිටින සියලුම ජීවිත දේපල සහ සෙසු බාධක පිළිබඳව දැඩි අවධානයකින් යුතුව රිය පදනවා නම් අනතුරක් වන්නට ඇති අවකාශ ඉතා අවම ය. එවැනි අනතුරු බහුලව සිදුවනවා නම් එයට මූලික හේතුව රියැදුරන්ගේ නොසැලකිල්ල බව පැහැදිලි විය යුතු ය.
2018 මැයි මාසයේ දී මාතලේ රෝහලේ පමණක් සිදු වූ රිය අනතුරු මරණ සංඛ්‍යාව දොළහක් පමණ ය. අධික වේගය, බීමත්කම, නොසැලකිලිමත්ව ඉස්සර කරන්නට යෑම,පදිකයන් පිළිබඳ අවධානයක් නැතිකමට එම මරණවලටත් සියයට අනූවකටම හේතුව වී ඇති අතර සුනඛයෙකු ගැටීම වක්‍රාකාරව හේතු වී ඇත්තේ එකම එක මරණයකට පමණකි. එයද යතුරු පැදිය සුනඛයෙකුගේ ඇඟේ ගැටී එය පෙරළීමෙන් වූ තුවාල පසුකාලීනව පැසවා ආසාදනය වීමෙන් බව තහවුරු වී තිබේ. එහිදී එම මරණයේ වගකීම සුනඛයා පිට පැටවිය යුතුද? යන්න තීරණය කළ හැක්කේ එම අනතුරේ ස්වභාවය ස්වාධීනව නිරීක්ෂණය කිරීමෙනි. එහෙත්, සමාජීය වශයෙන් එවැන්නක් සිදු නොවන අතර
සෑම විටෙකම සිදුවනුයේ එම අසරණ සතා පිට වරද පටවා ඌ දෝෂ දර්ශනයට ලක් කිරීම ය.මේ අතර අධික ලෙස බීමත්ව යතුරු පැදි ධාවනය කරන්නවුන් තම බීමත් කම නිසා යතුරු පැදිය පාලනය කර ගත නොහැකිව අනතුරට පත් වූ විටෙක කිසි විටෙකත් ඒ බවක් නොකියති.ඒ සඳහා ඔවුන් තම ලජ්ජාව මඟ හරවා ගැනීමට පවසන එක් වදනක් තිබේ.එනම් “බල්ලෙක් පැන්නා”යන්න ය.පසුව එම ප්‍රකාශ ද සත්‍ය ලෙස සමාජ ගත වේ.
මේ ආකාරයට සතුන් රිය අනතුරු සම්බන්ධයෙන් තීරණාත්මක සාධකයක් ය යන්න කිසිසේත් පිළිගත හැකි නොවේ. කවුරුන් හෝ රිය අනතුරක් සම්බන්ධයෙන් සතෙකු පිට වරද පටවනවා නම් ඒ බොහෝ විට තමන්ගේ වරද වසා ගන්නට දරන උත්සාහයකි. මහා මාර්ගය පිළිබඳ අවධානයකින් යුතුව රිය පැදවිය යුත්තේ මිනිසුන්ය. මිනිසුන්ට තරම් දියුණු මනැසක් නැති අසරණ සතුන් ඊට කුමක් කරන්නේද?
එබැවින් මිනිසුන් මරණයට පත් වනවා හෝ තුවාල ලබනවා යැයි කියා අසරණ සතෙකුගේ ජීවත් වීමේ අයිතිය නැතිකොට ඔවුන් සාහසික ලෙස ඝාතනය කිරීම මිනිසත් බවට කොතෙක් ගැලපේදැයි සිතා බැලීම බුද්ධිමත් ඔබටම භාර කරමු.
විශේෂඥ අධිකරණ වෛද්‍ය ධනංජය ලක්සිරි වෛද්‍යරත්න