රාවණා පැහැර ගත් අපේ ජන වෙදකම යළි උදුරාගෙන භාවිතයට ගනිමුද?

වර්තමාන සමාජයේ පැතිර පවත්නා දහසකුත් එකක් අර්බුද අතුරින් සෞඛ්‍ය අර්බුදය ද ප්‍රධාන තැනකට පත්ව තිබේ. මිනිසුන්ට වැළඳෙන අනේක විධ රෝගාබාධ සඳහා ඖෂධ වර්ග සහ වෙනයම් ප්‍රතිකාර ලබා ගැනීමට ඇති දුෂ්කරතාව මෙම සෞඛ්‍ය අර්බුදය වශයෙන් සරලව විස්තර කළ හැක. මූලික වශයෙන් කරුණු සලකා බලන විට එය පූර්ණ සත්‍යයකි. එහෙත්, වර්තමාන සමාජය නවීන විද්‍යාව මත පදනම් වන බටහිර වෛද්‍ය ක්‍රමය සමග පවත්නා දැඩි සබැඳියාව බඳු බැඳීමක් අතීතයේ දක්නට නොලැබුණි. ඊට හේතු වශයෙන් බටහිර වෛද්‍ය ක්‍රමය අතීතයේ මෙන් දියුණු තත්ත්වයකට පත් නොවීම, එම වෛද්‍ය ක්‍රමය සමාජය පුරා ව්‍යාප්ත නොවීම සේම මෙරට පොදු ජනතාව තුළ බටහිර වෛද්‍ය ක්‍රමය සම්බන්ධ නිසි දැනුමක්, අවබෝධයක් සේම උනන්දුවක් නොතිබීම ද දැක්විය හැක.අද වන විට අප සමාජයේ බටහිර වෛද්‍ය ක්‍රමය කෙතරම් ව්‍යාප්තියට පත්ව තිබේ ද? යත් ඉන්දියාව කේන්ද්‍ර කරගත් ලෝක ප්‍රකට වෛද්‍ය ක්‍රමයක් වන ආයුර්වේදය හා ඒ සා සබැඳි දේශීය වෙදකම විකල්ප වෛද්‍ය ක්‍රම අතරට වැටී තිබේ.නමුදු නවීන විද්‍යා විෂය පථයන් කිහිපයක් සමඟ දින දින සංවර්ධනය වන ඇලෝපති නමින් හැඳින්වෙන බටහිර වෙදකම මේ වන විට ලොව අනභිබවනීය තත්වයට පත් වන බව සියල්ලට පළමුව අප පිළිගත යුතු ය.

මේ වන විට අප රටේ භාවිතයට ගැනෙන බටහිර, ආයුර්වේද,සිද්ධ,යුනානි හෝ දේශීය වෛද්‍ය ක්‍රමයට අයත් නොවන ‘හෙළ වෙදකම’ නමින් හැඳින්වෙන වෛද්‍ය ක්‍රමයක් ද අන්තර්ජාලය ආදී සංනිවේදන ක්‍රම ඔස්සේ ශීඝ්‍ර ප්‍රවර්ධනයකට ලක් වෙමින් තිබේ. අතීතයේ සිංහල වෙදකම හෙවත් දේශීය වෙදකම හැඳින්වීම පිණිස ද මෙම ‘හෙළ වෙදකම’ යන වදන යෙදී තිබූ බව ඇත්තකි. එහෙත්, මෙම මෑතක සිට ප්‍රවර්ධනය වන නව හෙළ වෙදකමේ එන ඇතැම් ඖෂධ මූලයන් සහ ප්‍රතිකාර ක්‍රම ආයුර්වේද හෝ දේශීය හෝ වෙනයම් වෛද්‍ය ක්‍රමයක නොමැති අමුතුම මාදිලියේ ඒවා බව ඒ සම්බන්ධයෙන් කෙරෙන විමසුම්වල දී පෙනී යයි. උකුසු බිත්තර, දිවි මකුළු රුධිරය, මල්වර යුවතියන්ගේ මූත්‍ර ආදී අසන්නවුන් විස්මිත කරවන එම අමුතුම ඖෂධ මූලයන් මීට වසර දහස් ගණනකට පෙර, එහෙත් නිශ්චිත නොවූ කාලයක අප රටේ රජ කළ රාවණා නම් වන අසම සම නරපතියා විසින් ලියා තබන ලද වෙද වට්ටෝරුවල තිබූ බවක් මෙම “නවීන හෙළ වෙද්දු” පවසති. ඔවුන් පවසන අන්දමට රාවණා රජු විසින් සංස්කෘත භාෂාවෙන් ලියන ලද අති පෞරාණික පුස්කොළ පොත් තවමත් අප අතර තිබේ.

රාවණ නමින් යුතු වෛද්‍ය ක්‍රමයක් සම්බන්ධයෙන් යම් යම් තොරතුරු ලද හැකි බව ඇත්තකි. එහෙත් ඒවා රාවණ ‘සන්නාමය’ යටතේ පසු කලෙක විවිධ පුද්ගලයන් විසින් ලියන ලද ඒවා බව මේ වන විට මානව විද්‍යාඥයන් විසින් සනාථ කොට ඇත. එම ලේඛනවල සඳහන් සංස්කෘත භාෂාව ක්‍රිස්තු පූර්ව පහළොස් වැනි සියවසෙන් මෙපිට ප්‍රවර්ධනය වූවක් බව සානථ වී තිබේ. එම කරුණු අනුව අපට සිතා ගැනීමට සිදු වනුයේ රාවණා යනු මීට සියවස් තිස් පහකට එනම් වසර තුන්දහස් පන්සීයකට මෙපිට මෙහි රජ කළ නරපතියකු බව ය. එමෙන්ම රාවණ රජු විසින් රචනා කළ ස්වභාවික මූලයකින් සැකසුණු පුස්කොළ පොත් වසර තුන්දහස් පන්සීයක් ආරක්ෂාකාරීව තිබූ බව පැවසීම වැදගත් වනුයේ විහිළුවක් ලෙස පමණි.රාවණා විසින් හඳුන්වා දෙන ලද බව පවසන ඖෂධ වට්ටෝරු වාල්මිකී විසින් ලියන ලද බවක් පැවසෙන රාමායන නම් වීර කාව්‍යයේ එන රාවණා විසින් සකසන ලද ඒවා බව ඓතිහාසික වශයෙන් පුරා විද්‍යාත්මක වශයෙන් තබා මානව විද්‍යාත්මක වශයෙන් වත් තහවුරු කළ නොහැක. ඒවා රාවණා යන සන්නාමයෙන් යුතුව මෑත කාලීනව සැකසුණු ඒවා වීමට බොහෝ දුරට ඉඩ කඩ තිබේ.ආසන්න වශයෙන් එයට දිය හැකි නිදසුන වානරයන් අතර හැදී වැඩී වන ගත වීරයකු බවට පත් වූ බව කියන “ටාසන්” ගේ නමින් එළි දකින විවිධ නිෂ්පාදනයන්ට ය. එහෙත්, අප රටේ රාවණා ලේබලය යටතේ කරනු ලබන වෙදකම් ද බොහෝ විට ආයුර්වේද හෝ දේශීය වෙදකම් බව පැහැදිලි ය.ඒ අතර රාවණා නාමය යොදා අසරණ රෝගීන් කඩා වඩා ගන්නා හොර වෙදුන් ද මේ වන විට ශීඝ්‍රයෙන් බෝ වන බවක් පෙනෙයි.එමෙන්ම බටහිර වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම මගින් සුව කළ නොහැකි පිළිකා වර්ග සහ කල්ගත වූ වකුගඩු අකර්මණ්‍යතා ආදිය නිට්ටාවටම සුව කරන අති පැරණි ඖෂධ වට්ටෝරු තමන් සතු බව පවසමින් එම රෝග පීඩාවලට පත් අසරණයන්ගේ කණ කර, ඉණ ඉහ පමණක් නොව ගේදොර වතුපිටි පවා කොල්ල කන වෛද්‍යමය වශයෙන් ආතක් පාතක් නැති හොර වෙදුන් ගැන දැන් නිතර අසන්නට ලැබේ. එසේ එවන් රහස් වට්ටෝරු තිබේ නම් නිශ්චිත සම්මත ක්‍රමවේද මඟින් ඒවා ලෝකයට හඳුන්වා දීම අප රට ලෝක ප්‍රසිද්ධ වීමට හේතුවකි.
නමුදු අප සමාජයේ බොහෝ දෙනකු නොදත් නමුදු බටහිර වෛද්‍ය ක්‍රමයට පරිබාහිර වූ සේම පොදු ජනතාව අතරේ භාවිතයට ගැනුණු වෙනම වෛද්‍ය ක්‍රම අප අතරේ තිබූ බව ඉතා පැහැදිලි ය. ලොව පුරා විවිධ සමාජයන්හි දක්නට ලැබෙන මෙම වෛද්‍ය ක්‍රම සමාජ විද්‍යාවේ හඳුන්වනුයේ ජන වෙදකම (Folk medicine) යන නමිනි.මෙම ජන වෙදකම අතීත සමාජයේ ජනතාව අතර ව්‍යාප්තව තිබිණි ද යන්න දාහත් වන සියවසේ මෙරට එළිමහන් සිරකරුවකුව සිටි ඉංග්‍රීසි ජාතික රොබට් නොක්ස් “මෙරට සෑම අයකුම වෙදෙක් “ය යනුවෙන් කළ ප්‍රකාශයෙන් මනාව තහවුරු වෙයි.

ජන වෙදකම බටහිර වෛද්‍ය ක්‍රමය මෙන්ම විද්‍යාත්මක චින්තනය මත පදනම් වූ පරීක්ෂණ, නිරීක්ෂණ, නිගමන යන තුන් ඈඳුනු මූලධර්ම මත ස්ථාපිත වූවක් නොවේ. එමෙන්ම බටහිර වෛද්‍ය ක්‍රමයේ එන නිරීක්ෂණ අධ්‍යයන (Observational studies ) සහ සායනික පෙරහුරු ( Clinical trial) ආදිය ද ජන වෙදකමේ නැත. එහෙත්,වසර සිය දහස් ගණනාවක් තිස්සේ ජන සමාජයේ භාවිත වනු ලදුව සත්‍ය වශයෙන් අත්දුටු බොහෝ ප්‍රතිකාර ක්‍රම වෙදකමට ඇතුළත් ය. එනිසා ඒවායේ යම් ප්‍රමිතිගත බවක් තිබේ.මෙම කරුණු සලකා මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානය පවා සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම කෙරෙහි උනන්දුවක් පළ කරනු පෙනෙයි.දැන් ඉන්දියානු රජයේ සහාය ඇතිව ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ජම්නගර් හි ස්ථාපිත කර ඇති සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යා මධ්‍යස්ථානය, සාම්ප්‍රදායික වෛද්‍ය කර්මයන්හි විභවයන් උපයෝගී කර ගැනීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කොට තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නායකත්ව දැක්ම පිළිබිඹු කෙරෙමින් ලෝක සෞඛ්‍ය සංවිධානය සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම සඳහා වූ ගෝලීය මධ්‍යස්ථානයක් පිහිටුවීම මානව චින්තාවලියේ නව හැරවුම් ලක්ෂයකි.

බටහිර වෛද්‍ය ක්‍රමය හුදෙක් රෝග සුව කිරීම සහ නිවාරණය පිණිස කැප වුව ද ඉන්දීය ආයුර්වේදය එහි ආරම්භයේ සිටම ඊට වඩා පුළුල් අරමුණකින් යුක්ත වූවකි. එහි ‘ස්වස්ථ පරායන’ සහ ‘ආතුර පරායන’ යනුවෙන් කොටස් දෙකක් තිබේ. ස්වස්ථ පරායන යන්න කායික, මානසික සෞඛ්‍යය, යහපැවැත්ම ය. ආතුර පරායනය යනු රෝග සුවය සහ සමනයයි. නමුදු මුල දී බටහිර වෛද්‍ය ක්‍රමයේ වැදගත් අංගයක්ව නොතිබූ මෙහි මුල් කොටස මේ වන විට බටහිර වෛද්‍ය ක්‍රමයේ මූලික ඉලක්කයක් ලෙස ස්ථාපිත කොට තිබේ.එමෙන්ම ආයුර්වේදයේ එන අගාධ තන්ත්‍ර, ජරා රසායන ආදී කොටස් මේ වන විට බටහිර වෛද්‍ය ක්‍රමය තුළ ද වෘද්ධ චිකිත්සාව( Geriatric medicine ) ලෙස ප්‍රවර්ධනය වෙමින් තිබේ.එහෙත් ආයුර්වේදයේ එන ජරා රසායනය කොටස් දෙකකි.එනම් කාලජ ජරා(වියපත්ව දිරා යාම) සහ අකාලජ ජරා(අකලට දිරා යාම)වශයෙනි. එවැනි කරුණු අතින් බටහිර වෙදකම ආයුර්වේදයට පසුගාමී ය.

සෑම රෝගයක් සඳහාම පෙත්තක් නැත (Na pill for every ill) යන්න ප්‍රකට කියමනකි. එහෙත් එම සත්‍යයට බටහිර වෙදකමටත් වඩා අදාළ වනුයේ අපගේ ජන වෙදකමට බව අදටත් බොහෝ දෙනෙක් නොදනිති. ජන වෙදකම යනු හුදෙක් ඖෂධ ප්‍රතිකාර ක්‍රමයක් නොවේ. එය වෙදකම, හෙදකම, ඇදුරුකම යන අංග තුනම මනාව සුසංයෝග වූ මිනිසාගේ කය සේම සිත ද සුවපත් කරවන අපූරු ශාස්ත්‍රයකි.
අප එදිනෙදා භාවිතයට ගන්නා ජලය ඖෂධ මූලයක් සේ නොසැලකේ. එහෙත් එම ජන වෙදකම තුළ ඇති “කෙම් ක්‍රම” සඳහා ජලය ද ඖෂධයක් වශයෙන් යොදා ගන්නා අවස්ථා තිබේ. එය බොහෝ විට එක් එක් වෙද පරම්පරාවන් සතු වට්ටෝරු නොවන වෙදකමක් සේ සැලකේ. නවීන විද්‍යාවෙන් විස්තර කෙරෙනුයේ කිසිදු ඖෂධීය මූලයක් නොමැති මෙවැනි දේ මගින් ද රෝග සමනයට යම් පිටිවහලක් ලැබෙන බවකි. මෙය මුල් වරට අනාවරණය කරන ලද්දේ ජීවිතයේ මුල් කාලයේ ඖෂධවේදියකු වශයෙන් කටයුතු කොට පසුව ලෝක ප්‍රකට මනෝ විද්‍යාඥයකු බවට පත් ප්‍රංශ ජාතික එමිල් කූ විසිනි. ඔහු මෙය හඳුන්වන ලද්දේ තුෂ්ටක බලපෑම ( Placebo effect) වශයෙනි. ඔහු මෙය සොයාගෙන දැන් සියවසක් ද ඉක්ම ගොසිනි. නමුදු ඇල් වතුර බඳුන පවා රෝග සුවයට යොදා ගත් අප රටේ ජන වෙදකම පිළිබඳ බොහෝ කරුණු අද වන විට අප සමාජයෙන් ගිලිහී යමින් තිබේ. එම ජන වෙදකමේ ප්‍රධාන අංග දෙකක් වන කෙම් ක්‍රම සහ අත් බෙහෙත් පිළිබඳ අද සමාජයේ බොහෝ දෙනෙක් නොදනිති.එසේ නූතන සමාජය ඒවායින් දුරස් වීමට බලපෑ ප්‍රධානතම හේතු ද තිබේ. දහ නව වැනි සියවසේ සිට අප සමාජයේ ජන විඥානය යුරෝපා කේන්ද්‍රීය වී අපගේ සාම්ප්‍රදායික ජන වෙදකමට ‘ගොඩ වෙදකම’ යන උපහාසාත්මක නම පටබැඳීම ඒ අතුරින් ප්‍රධාන හේතුව යැයි මට සිතේ.ඒ කෙසේ වුවද පසුගිය යුද සමයේ සිංහල ජන විඥානයේ පසුබෑම දුරු කොට සිංහල ජනයාට මානසික ජවයක් පන්නරයක් ලබා දීම පිණිස යොදා ගැනුණු රාවණා සංකල්පය අවභාවිතා කරමින් තනා ගත් කෘත්‍රිම වෛද්‍ය කර්ම මිථ්‍යාවෙන් බැහැරව අපගේ සැබෑ ජන වෙදකම යළි ප්‍රවර්ධනය කළ හොත් එය අප සමාජයේ ප්‍රාථමික සෞඛ්‍ය සංරක්ෂණයට සේම විවිධ රෝගාබාධ වලට පිළියම් ලෙස ද අතිශය සාධනීය ලෙස යොදා ගත හැකි වනු ඇතැයි යන්න අපගේ විශ්වාසයයි.

තිලක් සේනාසිංහ

එතෙර - මෙතෙර