වන්දනා ගමන යනු ලොව බොහෝ ජන සංස්කෘතීන් තුළ මෙන්ම අප ජන සංස්කෘතියේ ද සුවිශේෂාංගයකි.එම වන්දනා ගමන් අතුරින් දීර්ඝතම වන්දනා ගමන් වූ වට වන්දනාව සහ ශ්‍රී පාද වන්දනාව ඒ අතුරින් ප්‍රධාන විය.අතීතයේ ශ්‍රී පාද වන්දනාව කෙතරම් අවදානම් සහගත ද කිවහොත් එහි යාමට පෙර වන්දනා කරුවන් තම වත්කම් අඹු දරුවන්ට පවරා ගිය බව ප්‍රකට කරුණකි.එහෙත්, එය හුදෙක් එම වන්දනා ගමනේ අවදානම මුල් කොට සිදු කළ කාරියක් පමණක් නොවන බවත් බෞද්ධ පරමාදර්ශයක් වන ලෞකිකත්වය අතහැරීම පිණිස වන “නෙක්ඛම්ම” නම් වන බෞද්ධ පරමාදර්ශය පදනම් වූවක් බවත් සහේතුකව වටහා ගැනීමට මට පසු කලෙක හැකි විය. මේ සිරිපා වන්දනා සමයයි. වාර්ෂිකව සිරිපා වන්දනාවේ යෙදෙන බැතිමතුන් ගණනය කළ හැක්කේ දහස් ගණනින් නොව මිලියන ගණනිනි. අද වන විට අගනුවර කේන්ද්‍ර කර ගත් ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතෙන් ශ්‍රී පාද වන්දනාවේ යන්නවුන්ගේ ජනප්‍රියතම ශ්‍රීපාද මාර්ගය හැටන් -නල්ලතන්නිය හරහා වැටී තිබේ.
1884 වසරේ උඩරට දුම්රිය මාර්ගය හැටන් දක්වා දීර්ඝ කිරීමත් හැටන් සිට නල්ලතන්නිය දක්වා ගමන් කළ පසු අඩුම උස ප්‍රමාණයකින් සිරිපා කරුණා කළ හැකි වීමත් නිසා මේ මාර්ගය වර්තමානයේ අතිශය ජනප්‍රියත්වයට පත්ව තිබේ.නමුදු අද මෙන් ප්‍රවාහන පහසුකම් නොතිබූ දහනව වන සියවසේ අගභාගය දක්වා මා පදිංචි ගම්පහ දිසාවේ වැසියන් සිරිපා කරුණා කරන ලද්දේ පා ගමනිනි.වර්තමාන කෝණයෙන් බලන විට එය අතිශය දුෂ්කර චාරිකාවක් සේ පෙනුණ ද එදිනෙදා ජීවිතයේ දී කය වෙහෙසා වැඩ කළ පැරණි ගැමියන්ට එය සැහැල්ලු විනෝදාත්මක චාරිකාවක් වූ බව නිසැක ය.එමෙන්ම තමන් නිතිපතා අත්දකින හුරුපුරුදු පරිසර පද්ධතීන් ගෙන් බැහැරව එම ප්‍රදේශවල වෙසෙන ගැමියන්ගේ ආගන්තුක සත්කාර විඳිමින් සිදු කළ එම සිරිපා කරුණාව අතීත ගැමියාගේ කායික මානසික සමතුලිත බවට සහ ආධ්‍යාත්මික පෝෂණයට බෙහෙවින් ඉවහල් වූ බවට සැක නැත.
අතීතයේ ගම්පහ දිසාවට අයත් සියනෑ සහ අළුත්කූරු කෝරළ වැසියන් ශ්‍රීපාද කරුණාව සඳහා යොදා ගත් මාවත පිළිබඳව අද බොහෝ දෙනෙක් නොදනිති.එය වැටී තිබුණේ වත්මන් අමිතිරිගල, තල්දූව, පනාවල, කුරුවිට යන නගර මැදිනි.කුරුවිට සිට එරත්න ශ්‍රීපාද මාර්ගය ඔස්සේ හෝ කුරුවිටින් වලඳුර ඔස්සේ බලාබද්දලට ගොස් එම ශ්‍රීපාද මාර්ගය ඔස්සේ හෝ සිරිපා කරුණා කිරීමට එකල වන්දනා නඩවලට පහසු හැකියාවක් තිබිණ. අතීතයේ සියනෑ සහ අළුත්කූරු කෝරල වැසියන්ගේ සිරිපා වන්දනාව සඳහා සතියක් හෝ ඊට වැඩි කාලයක් ගත විය.හැටන් දක්වා දුම්රිය මඟ විවෘත වූ පසුව පවා තම සාම්ප්‍රදායික සිරිපා කරුණාව එක් වරම වෙනස් කිරීමට අකමැති වූ සියනෑ කෝරල වැසියෝ සිය සුපුරුදු පාද චාරිකාව අත් නොහළහ.සමහරකු ඉන් පසු ද පා ගමනින් සිරි පා කරුණා කරන ලද්දේ ඒ ගමනේ දී ඉටු කළ යුතු සාම්ප්‍රදායික වත් පිළිවෙත් වලට නව දුම්රිය ගමන බාධාවක් වන නිසා ද විය හැක.සමහරෙක් පවුල් පරම්පරා වශයෙන් සිදු වූ බාර හාර ඉටු කරනු පිණිස ද පා ගමනින් සිරි පා කරුණා කළහ.
ගණේමුල්ල,හොරගොල්ලේ විසූ ඒරිස් සීයා නමුන් ප්රකටව සිටි එස්.ඒරිස් සිල්වා මහතා දහ නව වන සිය වසේ අග භාගයේ උපත ලැබූවෙකි. තමන් ජීවිතයේ මුල් වරට “කිරි කෝඩු”කෙනකු වශයෙන් සිරි පා කරුණා කරන ලද්දේ පා ගමනින් බව මීට වසර හතලිහකට පමණ ඉහත ඒරිස් සීයා මා හා කියා තිබේ.සමුද්‍ර යාත්‍රාවක දී නෞකාධිපතියකු හෙවත් කප්පිත්තකු එහි සියළු අධීක්ෂණ හා නියාමන කටයුතු කරන්නාක් මෙන් මෙම වන්දනා ගමන් ද එක්තරා සොඳුරු ආඥාදායකයෙකුගේ අනසක යටතේ පැවතිණ.ඔහු හඳුන්වන ලද්දේ”නඩේ ගුරා” යන නමිනි.මෙම නඩේ ගුරු භූමිකාව සඳහා ශ්‍රී පාද වන්දනා ගමන් පිළිබඳ අත්දැකීම් සපිරි, එමෙන්ම රට ලෝකය ගැන මනා දැනුමක් අවබෝධයක් ඇති මනා සමාජශීලීත්වයක් කථන හැකියාවක් සේම ගැටළු නිරාකරණ හැකියාවක් සහිත සේම යම් ශික්ෂාකාමීත්වයක් ආත්ම දමනයක් ඇති ගැමියකු ගම්මුන් විසින්ම තෝරා පත් කර ගන්නා ලදී.එමෙන්ම මෙම නඩේ ගුරුන් බොහෝ විට වෙදකම් හෙදකම සහ ඇදුරුකම යන අංශයන් පිළිබඳ යම් දැනුමක් ඇත්තෝ ද වූහ.ඒරිස් සීයා පවසා සිටි අන්දමට ගම්පහ දිසාවේ සියනෑ හෝ අළුත්කූරු කෝරලවල සිට සිරිපා වන්දනා නඩවලට කුරුවිටට නොඑසේ නම් ශ්රීපලාබද්දට ළඟා වීමට අවම වශයේ දින තුනක් ගත විය. ඒ ඔවුන් පාගමනින් කළ සිරිපා කරුණාව දිනකට සැතපුම් 20-30කට හෙවත් සීමාවීම නිසා ය.එම වන්දනා නඩයේ ගමන් වේගය එහි සාමාජිකයන් ගේ කායික මානසික තත්වය අනුව නඩේ ගුරා විසින්ම තීරණය හා පාලනය කරන ලදී.
මේ සිරිපා කරුණාවේ පළමු රාත්‍රිය ගත කිරීම පිණිස ගම්පහ දිසාවේ වැසියන් ප්‍රධාන වශයෙන් යොදා ගත්තේ ගම්පහ දිසාවේ ගිනිකොණ දෙසට වන්නට පිහිටි පැරණි ගම්මානයක් වන මීවිටිගම්මන ය. දින ගණනක් අම්බලම්වල සහ විහාරස්ථානවල නැවතෙමින් හිඳ පාගමනින්ම සිරිපා කරුණා කරන්නට එදා ගැමියා මැළි නොවුණේ අද මෙන් දඩි බිඩි සමාජයක් එවක දක්නට නොතිබූ බැවිනි. එහි පුරාණ විහාරයේ ‘බණ මඩුව’ ඔවුන්ගේ පළමු නවාතැන්පළ වූ බවට සාක්ෂි තිබේ.ඉන්පසු එළඹෙන දෙවන දිනයේ අළුයමින් පිට වූ වන්දනා නඩ ගුරුගල්ල-නක්කාවල තොටුපළෙන් කැලණි නදිය තරණය කොට ‘සමන් දෙවියන්ගේ අඩවිය’ට පිවිසුණහ. එහිදී සීතාවක නදිය සහ එහි අතු ගංගාවක් ආසන්නයෙන් වැටී ගත් පැරණි මාවත ඔස්සේ හෙමිහිට ගමන් කළ ඔවුන්ගේ දෙවන රාත්‍රී ලැඟුම්පළ වූයේ පනාවල නම් පැරණි ගම්මානයයි.මේ පනාවලට නොදුරින් පිහිටි අම්බලම්පිටිය නම් පැරණි ගම්වරය ශ්‍රීපාද වන්දනාකරුවන්ගේ සුප්‍රකට ගිමන් පොළක් වූ අතර පැරණි අම්බලම් කිහිපයක්ම එහි වූ බව පැවසෙයි.
ඒ අනුව දෙවන දින රාත්‍රිය පනාවල හෝ අම්බලම්පිටියේ නතර වූ පැරණි වන්දනා කරුවන් ඊට පසුදින කුැරුවිට ඔස්සේ එරත්නට හෝ ශ්රීපලාබද්දලට ළඟා වීමෙන් ගමනේ තුන්වන රාත්‍රිය එහි ගත කළහ.මේ පැරණි ශ්‍රීපාද මාර්ගය තුරුලිය ආදියේ සෙවණින් යුතු, කොස්,දෙල් ආදී බවබෝගවලින් හෙබි ගංඟා, ඇළදොළ සේම කුඩා දියඇළි ආදියෙන් ද පොහොසත් ගමන් මඟක් විය.අද මෙන් ශබ්ද හා වායු දූෂණ නොතිබූ ඒ කාලයේ කුරුළු කූජන, ගවයන් ආදී ගෘහාශ්‍රිත සතුන් ගේ නාද සේම ගස් වල අතු පතර සෙලවෙන හඬ පවා රිසිසේ අසා සැනසෙන්නට වන්දනා කරුවන්ට ඉඩ ලැබෙන්නට ඇත.මේ වන්දනා කරුවන් ගේ ගමන් වෙහෙස නිවා ඔවුන් ගේ සිරිපා කරුණාවට ජවයක් පන්නරයක් ගෙන දුන්නේ ඔවුන් විසින් ගායනා කරන ලද තුන් සරණේ කවි ය.මේ කවි හඬ ඇසෙන සබරගමු ගැමියෝ ඒ බව දුරදීම අසාගෙන වන්දනා නඩයට උවටැන් කිරීමට පෙර මඟ බලා සිටියහ.අඩුම තරමින් මෑතක් වන තුරුම තුන් සරණය කියමින් සිරි පා කරුණාවේ යෙදෙන නඩ වලට සබරගමුවේ බල්ලෙකු වත් නොබිරූ බව සබරගමුවේ වංශවත් පෙළපතකින් පැවත එන ශ්‍රී පලාබද්දල, මාපලානේ චන්ද්‍රසෝම බී කලවාන මහතා(වත්මනෙහි ශ්‍රී පලාබද්දල චන්දිමාලෝක හිමි ) මා හා කියා තිබේ.එබැවින් එම සිරිපා කරුණාවේ යෙදෙන වයෝවෘද්ධතමයකුට වුව ද කායික හෝ මානසික වෙහෙසක් දැනුණේ නැත.
එමෙන්ම එම වන්දනා නඩ සඳහා ආහාර පිස ගැනීමට උවමනා බව බෝග ඇතුළු කලමණා මඟ දෙපස ගම්මු පින් තකා ප්රදානය කළහ. මඟ දෙපස තිබූ විහාරස්ථාන මගින් වන්දනාකරුවන්ට ආහාර පිස ගැනීමට වුවමනා හැළි වළං, දර සහ ජලය ද සැපයුණු අතර ඊට කෘතගුණ වශයෙන් වන්දනාකරුවන් විසින් කළ යුතුව තිබුණේ එම විහාරස්ථානයේ අභිවෘද්ධිය පිණිස කුඩා පඬුරක් පූජා කිරීම පමණි. එමෙන්ම මේ සෑම විහාරස්ථානයකම සමන් දේවාලයක් තිබීම ද විශේෂත්වයක් විණි.සමන් දෙවියන්ගේ කරුණාව තම හදවත්වල පුරවාගෙන සිටි බැවින් දෝ මේ සිරිපා කරුණා කරන මංපෙත දෙපස වූ සබරගමු වැසියන්ගෙන් පිටස්තර වන්දනාකරුවන්ට ලැබුණේ නොමඳ පිහිටාරක්ෂාවකි.අඩුම තරමින් එම වන්දනා නඩයක කිසිවකු හදිසියේ රෝගාතුර වුවහොත් ඔහු නඩේ ගුරාගේ අධීක්ෂණය යටතේම එම ගම්මුන්ගේ භාරයට පත්වනු ලදුව එහි නිවෙසක නතර කරවාගෙන ප්‍රදේශයේ වෙදැදුරන් ගෙන්වා සුවපත් වන තුරු එම රෝගියාට එහිදී ප්‍රතිකාර කෙරිණ. සබරගමු ගැමියන් ඒ සඳහා කිසිදු මුදලක් හෝ වෙනයම් ලාබ ප්‍රයෝජනයක් අපේක්ෂා නොකළ අතර ඔවුන් එය සලකා ඇත්තේ එය ද සමන් දෙවිඳුන්ගෙන් ලත් වරයක් සහ උන්වහන්සේට කරන පූජාවක් ලෙසිනි.ඒ අනුව මෙම පැරණි සිරි පා කරුණාව පුරාම පැතිර තිබූ සහනශීලීත්වය මත පදනම් වූ නිරාමිස සුවය වත්මන් සමාජයට සිතා ගැනීමට පවා අසීරු විය හැක.
ඒ කෙසේ හෝ අද වන විට මේ පැරණි ශ්‍රී පාද මාර්ගය මුළුමනින්ම වැසී පවතින අතර උඩුගම්පොළ රජ කළ සකල කලා වල්ලභ රජුගේ පුතු වූ කළු කුමාරයා පිය රජු මැරීමට කුමන්ත්‍රණය කොට ඒ බව රජතුමා දැනගැනීමෙන් පසු සිරිපා පද්මයට පලාගොස් ඇත්තේ ද මේ මාර්ගයට සමාන්තර මඟක් ඔස්සේ ය.යායදෙණියේ ඒ, සයිනේරිස් ඇඳුරුතුමන් සතු පැරණි පුස්කොළ පොතකින් උපුටා ගන්නා ලද එම උඩුගම්පොළ කළු කුමාරයා යාදින්න ලයනල් බෙන්තරගේ විසින් ලියන ලද ‘කළුකුමාර යාග පිළිවෙළ’ නම් කෘතියෙහි දැක්වෙයි.
මේ සටහන කියවන ඔබ තුළින් අපටත් මේ පැරණි සිරිපා මාර්ගය ප්‍රයෝජනයට ගෙන සිරිපා කරුණා කළ නොහැකිද? යන ගැටළුව පැන නගින්නට පුළුවන. ඒ සඳහා දීමට හැකි පහසුම පිළිතුර වනුයේ වත්මන් සමාජ ආර්ථික සංස්කෘතික පසුබිම මඟින් ඒ සියළු හැකියාවන් සදහටම වළ දමා ඇති බව ය. නමුදු මීවිටිගම්මන තල්දූව මාර්ගය සහ දැරණියගල පරකඩුව මාර්ගය එම පැරණි ශ්‍රීපාද මාර්ගයට තරමක් සමාන්තරව වැටී ඇති ඇති බව ඔබගේ දැන ගැනීම පිණිස මෙහි සටහන් කරමි.
තිලක් සේනාසිංහ