හදිසි අනතුරකින් පසු ස්නායුවලට සිදුවන හානි සුව කළ හැකිද ?

” ඒ තරම් ලොකු අනතුරක් සිද්ධ වෙලත් පිටින් පේන කිසිම තුවාලයක් නෑ”
ඇතැම් කෙනෙකුට හදිසි අනතුරක් සිදු වූ විට අප එලෙස පවසන අවස්ථා තිබේ.
” ඒ අනතුරින් සීරුණු තුවාලයක්වත් පේන්න නොතිබුණාට ඒ මනුස්සය මැරුණා නේ ”
එවැනි අයකු මිය ගියහොත් විස්මයෙන් අපි එලෙස ද පවසන්නෙමු.

හදිසි අනතුරක් සිදු වූ අයෙකුගේ බාහිරින් දැකගත හැකි ආපදා තත්ත්වයක් නැති විට එය දරුණු නොවෙතැයි යන්න බොහෝ දෙනකුගේ විශ්වාසයයි. නමුත් ඇතැම් විට පිටතින් දැකගත හැකි තුවාලයක්, රුධිරවහනයක් වැනි දෙයක් නොතිබුණත්, එම අනතුර නිසා ශරීර අභ්‍යන්තරයෙන් බරපතළ හානි සිදු වී තිබිය හැකිය. මෙහිදී මාංශ පේශීන්වල පටකවලට සිදුවන හානි, අස්ථි බිඳීම් මෙන්ම ස්නායුවලට සිදුවන හානි ද ප්‍රධාන වේ. හදිසි අනතුරකට මුහුණ දුන් අයකු රෝහල්ගත කිරීමෙන් පසු හානිය වී ඇත්තේ ශරීරයේ කුමන කොටසකට ද, කුමන ඉන්ද්‍රියකට ද යන්න පිළිබඳව මුලින්ම අවධානය යොමු කෙරේ. ඒ අනුව රෝගියා හදිසි ශල්‍යකර්මයකට යොමුකළ යුතු ද , එම ශල්‍යකර්මය සාමාන්‍ය එකක් ද නැතහොත් විකලාංග සැත්කමක්ද යන්න වෛද්‍යවරු නිගමනය කරති. ඊට අමතරව පටක ඉරීමක්, මාංශ පේශීන්ට හානි සිදු වීමක් හෝ අස්ථි බිඳීමක් සිදු ව ඇතැයි තහවුරු වූ විට එයට අදාළ ශල්‍යකර්ම හෝ ප්‍රතිකාර ක්‍රම අනුගමනය කිරීම සිදුවේ.

* හදිසි අනතුරකදී ඇති වන බොහෝ වේදනාවන් සීමිත කාලයක් තුළ සුව විය යුත්තේ ඇයි?

හදිසි අනතුරකට පසුව හට ගන්නා මාංශ පේශීන්වල වේදනාවක්, ඉදිමීමක්, අවයව එහා මෙහා චලනය කළ නොහැකි අපහසුතාවයක් වැනි දේවල් දිගුකල් පවතින තත්ත්වයන් නොවේ. සිදු කරනු ලබන ප්‍රතිකාර හා ඖෂධ හේතුවෙන් සතියක් වැනි කාලයකින් ඒ සියලු වේදනා සමනය වීම සාමාන්‍ය තත්ත්වයයි.
එහෙත් ඊටත් වඩා වැඩි කාලයක් වේදනා, කැක්කුම්, අවයව චලනය කිරීමේ අපහසුතා තිබේ නම් රෝගියා නැවත පරීක්ෂා කළ යුතුය. එවිට එවැනි තත්ත්වයකට හේතුව ස්නායු තැලීමක්, බිඳීමක් හෝ දෙකට කැඩීමක්දැයි ස්නායු වෛද්‍යවරයකු ලවා පරීක්ෂා කරනු ලැබේ. එවිට එය සැබවින්ම ස්නායු හානියක් ද යන්න බාහිර පරීක්ෂාවකින් වුව සාධාරණ අනුමානයකට පැමිණීමට ස්නායු වෛද්‍යවරයකුට පුළුවන.

* බරපතළ අස්ථි බිඳීමකින් ස්නායු හානි සිදු විය හැකිද ?

විශේෂයෙන් ශරීරයේ පිටුපස ගෙලෙහි පහළ කොටසේ යම් අස්ථි බිඳීමක් සිදු වී ඇත්නම් සුෂුම්නාවට හානි සිදුවීමට එමගින් හැකියාව ඇත. එලෙස සුෂුම්නාවට සිදුවන හානියක් යනු මුළු ජීවිත කාලයටම බලපාන බරපතළ තත්වයකි.
එවැනි බරපතළ අස්ථි බිඳීමක දී ශරීර ව්‍යුහය වෙනස් වේ. ශරීර ව්‍යුහය වෙනස් වූ සැණින් එය ස්නායු පද්ධතියට ද බලනොපාවියැයි කිව නොහැකිය. එලෙස අස්ථි බිඳීමක් සමඟ ස්නායු හානියට පත්වීම පූර්ණකාලීනව හෝ අර්ධකාලීනව ආඝාත තත්ත්වයක් ඇතිවීමට හේතු වනු ඇත.

* තැලුණු සහ කැඩුණු ස්නායු පසු ව යථා තත්ත්වයට පත් විය හැකිද?

හදිසි අනතුරකට පසු රෝගියාගේ දක්නට ලැබෙන රෝග ලක්ෂණ මත ස්නායුවක් තැලී හෝ කැඩී ඇති ද යන වග ස්නායු වෛද්‍යවරයකුට තෝරා බේරා ගැනීමට පුළුවන. සියලු ස්නායු මොළය හා පවතින සම්බන්ධතාවය නිසා මොළයේ සිදු කෙරෙන ස්කෑන් පරීක්ෂාවක් මගින් එවැනි හානියක් පහසුවෙන් හඳුනාගත හැකි වේ. අනතුරින් ස්නායුවක් තැලීමට ලක්ව ඇත්නම් එයද සති දෙක තුනකින් නැවත ලියලා වැඩීම සිදුවේ. එය, ස්වභාවික ව තැලී ගිය ස්නායුවක් යථා තත්වයට පත්වන්නට අවශ්‍ය කාල සීමාව ලබා ගනිමින් සිදුවන්නකි. ස්වභාව ධර්මයට අනුව සිදුවන එය වෙනත් ප්‍රතිකාර ක්‍රම මගින් වෙනස් කළ හැකි තත්වයක් නොවේ. භෞත චිකිත්සක ක්‍රම මගින් තැලුණු ස්නායුවක් සුවපත් කිරීමට යම් සාධනීය බලපෑමක් කළ හැකි වුවද, සුවපත් වන්නේ භෞතික චිකිත්සාවේ බල මහිමයෙන් නොවන බව වටහා ගත යුතුය.
තැලුණු ස්නායුවක් සති දෙක තුනකට පසු එලෙස යථා තත්ත්වයට පත් වුවද, කැඩී ගිය ස්නායුවක් කිසි විටෙක නැවත ප්‍රකෘති තත්වයට පත් වන්නේ නැත.

* සති දෙක තුනකටත් වඩා වැඩි කාලයක් අවයවයන් හි වේදනාවක් පවතින්නේ නම්

අනතුරකට පසු හට ගන්නා කායික වේදනා, කැක්කුම් සති කිහිපයක් වැනි කෙටි කාලයක් තුළ නිමා වන අතර ඊට වඩා වැඩි කාලයක් පවතින වේදනාවන් ස්නායු තැලීමක් විය හැකි බවත් ඉහත විස්තර කළෙමු.
එවැනි ස්නායු තැලීමක් වුවද සති දෙක තුනකින් යථා තත්වයට පත්වේ. ඊට හේතුව එවැනි තැලීමකට ලක් වන ස්නායු යළි වැවීමකට ලක් වන බැවිනි. ඒ අනුව කලින් පැවති ශාරීරික වේදනාව ද පහව යෑම සිදුවේ.
නමුත් සමහරුන්ට බොහෝ කල් ගත වුණද එම අනතුරෙන් ඇති වූ ශාරීරික වේදනාව එලෙසම පැවැතිය හැකිය. එයට හේතුව බොහෝ අය නොසිතන තත්වයකි.
අනතුර හේතුවෙන් සිදු වූ හානියත් සමග කායික ව්‍යුහය ප්‍රකෘති තත්ත්වයට පත්වීම ස්වභාවිකව සිදුවේ. එසේ වුවද මානසික ව්‍යුහය ඊට සරිලන සේ නැවත සැකසීමට මනස සූදානම් නොවිය හැකිය. ඒ අනුව අනතුර හේතුවෙන් මුල් දිනවල දී ඇති වූ කායික වේදනාව හා අපහසුතාවය සමනය වී ගියද මනසින් එය පිළිනොගන්නා තත්ත්වයක් ඇතිවීම නිසා එම වේදනාවන්ට අදාළ මොළයේ කොටස විසින් දිගින් දිගටම එම වේදනාව එලෙසම පවතින බවට විධාන දීම සිදුවේ. එම විධානයන්ට අනුව ශාරීරික අවයවයන්ද එලෙසින්ම ක්‍රියාත්මක වෙයි. ඒ අනුව අනතුර සිදු වී කලක් ගත වුවද සුව නොවී දිගටම පවතින වේදනාවට හේතුව එම මානසික විධානය විය හැකිය.

* හදිසි අනතුරකට පසුව දිගුකල් පවතින වේදනාවට ප්‍රතිකාර

හදිසි අනතුරකින් පසු මාංශ පේශි පටක, අස්ථි බිඳීම් සහ ස්නායු හානි සුවපත් වූ පසුවත් දිගින් දිගටම පවතින වේදනාවක් සම්බන්ධයෙන් යම් රෝගියකු පැමිණිලි කළහොත් වෛද්‍යවරුන් විසින් එම රෝගියාගේ කායික ව්‍යුහය නැවත පරීක්ෂා කරනු ලැබේ. ඒ මුළුමනින්ම සැක හැර දැන ගැනීම පිණිස ය. එවිට බොහෝ විටම එම වේදනාවට හේතුව මානසික බලපෑම නිසා සිදුවන්නක් බව පැහැදිලි වේ. එවැනි කායික පදනමක් නැතිව පැන නගින වේදනාවෙන් මිදීමට මනෝ වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වේ. එහිදී , දැන් වේදනාවක් නැති බව ව්‍යංගාත්මක බලපෑම් මගින් මනසට නැවත නැවත ඒත්තු ගන්වමින් රෝගියාගේ මානසික ව්‍යුහය ප්‍රකෘති තත්ත්වයට පත් කිරීම අත්‍යවශ්‍ය වේ. බලි තොවිල්, ශාන්තිකර්ම, යාච්ඤා වැනි ආගමික ක්‍රියා මගින් ද මෙවන් රෝග තත්ත්වයන් පිටු දැකීම පිණිස යම් පිටිවහලක් ලද හැකිය. අතීතයේ හාස්කම් ලෙස සැලකුණු මේවා අද වන විට නොවිධිමත් මනෝචිකිත්සාවන් ලෙස හඳුනාගෙන ඇත. ඒ නිසා හදිසි අනතුරකින් පසු ඉහත සඳහන් තත්ත්වයට පත් වූ අයකු කළ යුත්තේ ඒ සඳහා විධිමත් නවීන විද්‍යාත්මක ප්‍රතිකාර ලැබීම පිණිස මනෝ වෛද්‍යවරයකු වෙත යොමු වීමය.

ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය නිලුපුල් පෙරේරා

ඉන්දු පෙරේරා

විනිවිද සායනය