හෙරොයින් , අයිස් හා මත්පෙති පානය තදින්ම ඇබ්බැහි ව සිටි කොළඹ ශ්‍රී ලංකා ජාතික රෝහලේ සේවකයන් දෙදෙනකු ඇතුලු සිව්දෙනකු මාස හයක කාලයක් පුනරුත්ථාපනය සඳහා කන්දකාඩු රැඳවුම් මධ්‍යස්ථානය වෙත යොමුකරන ලෙසට මාලිගාකන්ද අතිරේක මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා විසින් ඉකුත් 22 දා නියෝග කරන ලදී.මෙලෙස පුනරුත්ථාපනය සදහා යොමු කරන ලද්දේ කොළඹ ශ්‍රී ලංකා ජාතික රෝහලේ සුළු සේවකයන් දෙදෙනකු සහ ඔවුන් සමග එක්ව මත්කුඩු පානය කරමින් සිටි තවත් දෙදෙනෙකි.බොරැල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක ප්‍රියදර්ශන විතානගේ මහතා අධිකරණ හමුවේ කළ ඉල්ලීම සලකා බැලු මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් පුනරුත්ථාපනය සදහා යොමු කිරීමට යොමු කොට ඇත.මෙම සැකකරුවන් සියලු දෙනා වනාතමුල්ලේ පදිංචිකරුවන් බවත්, ඔවුන් සමුහයක් වශයෙන් එක් වී මත්කුඩු පානය කරන පුද්ගලයන් බව ද පොලිසිය විසින් අධිකරණයට දැනුම් දෙන ලදී.
මේ අතර කොළඹ ශ්‍රී ලංකා ජාතික ජාතික රෝහලේ සුළු සේවිකාවක හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ කටුනායක පොලිස් අපරාධ විමර්ශන අංශය විසින් පසුගිය දා අත්අඩංගුවට ගෙන තිබිණ.ඇය එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රුපියල් ලක්ෂ දෙකහමාරක පමණ වටිනා මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් සමඟයි.මූලික විමර්ශනවල දී හෙළි වී ඇත්තේ පොලොන්නරු ප්‍රදේශයේ පදිංචිකාරිනියක වන මෙම සේවිකාව කටුනායක ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන ජීවත්වන බවකි.රූපලාවණ්‍ය කටයුතු සඳහා යොදා ගන්නා වූ කුඩා බඳුන් තුළ මෙම මත්ද්‍රව්‍ය සූක්ෂම ලෙස අසුරා තිබූ බව පොලිසිය සඳහන් කරයි.
මේ අතර කොළඹ ශ්‍රී ලංකා ජාතික රෝහලේ සුළු සේවකයකු ඉකුත් නවම් පොහෝ දිනය නිවසේ කසිප්පු විකුණමින් සිටියදී කසිප්පු බෝතල් 20 ක් සමග අත් අඩංගුවට ගත් බව බුලත්සිංහල පොලිසිය කියයි.බුලත්සිංහල , ගෝවින්න,පහළ නාරගල ප්‍රදේශයේ පදිංචි මොහු කලක් බුලත්සිංහල සහ මහරගම රෝහල්වල සුළු සේවකයකු ලෙස කටයුතු කළ අයකු වන අතර මේ වන විට කොළඹ ශ්‍රී ලංකා ජාතික රෝහලේ සුළු සේවකයකු ලෙස කටයුතු කරන බවද පොලිසිය කියයි.54 හැවිරිදි සැකකරු දිගු කලක් තිස්සේ නිවසේ කසිප්පු විකිණිම සිදුකර ඇති අතර අවස්ථා කීපයකදිම අත්අඩංගුවට ගෙන පෙර වැරදි රැසක් ද ඇති මොහු රාජකාරියෙන් පසු සහ නිවාඩු දිනවලදි කසිප්පු ජාවාරම සිදු කර ඇතැයි ද පොලිසිය කියයි.නිවසේ හතර පැතත්තට ආරක්ෂක කැමරා සවිකර ඉතා සැලසුම් සහගතව සුක්ෂම ලෙස කසිප්පු විකිණිම සිදු කරගෙන ගොස් ඇතැයි හෙළිව තිබේ.
මීට දශක කිහිපයකට පෙර ශ්‍රී ලංකා ජාතික රෝහලේ සුළු සේවකයන් සම්බන්ධයෙන් හට ගත් මෙම විනය අර්බුදය අද වන විට පාතාල ක්රියාකාරීත්වයක්; ත්රස්තවාදයක් දක්වා ඔඩු දුවා තිබේ.සමස්ත රෝහල් කාර්ය මණ්ඩලය අතුරින් වෙනම කල්ලියක් ලෙස වෙන්ව කටයුතු කරන සුළු සේවක බහුතරයක් විසින් අහිංසක සුළු සේවකයන් ගේ හඬ යටපත් කොට ඔවුන් ද තම කල්ලි වලට ඈඳා ගන්නට වෙහෙසෙන බව කියනු ලැබේ.ඔවුන්ගෙන් ගෙන් සමහරකු හැසිරෙනුයේ සුව සේවා කාර්ය මණ්ඩල සාමාජිකයන්ට වඩා පාතාල කල්ලි නායකයන් ලෙස යැයි ජාතික රෝහල් කාර්ය මණ්ඩලය කියයි.
ලොව කිසිදු රටක රෝහලක 25% ක් 35% ක් අතර සුළු සේවක සංඛ්‍යාවක් වාර්තා නොවේ. නමුත් අප රටේ රජයේ රෝහල් වලින් මෙතරම් සුළු සේවක ප්‍රතිශතයක් දක්නට ලැබීම ලෝක වාර්තාවකි. අප රටේ පෞද්ගලික රෝහල්වලත් සුළු සේවක ප්‍රතිශතය 2% ට වඩා නැත.නමුදු එමඟින් ඒවායේ සේවාවන්ට කිසිදු බාධාවක් ඇතිව නැත. සාමාන්‍යයෙන් රෝහලක ප්‍රධාන විය යුත්තේ වෛද්‍යවරුන්, හෙද නිලධාරීන්, පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් සහ රෝහල් පරිපාලනයට අයත් කාර්ය මණ්ඩලය වුව ද අපේ රටේ රජයේ රෝහල්වල මේ සිව් කට්ටුවම අභිබවා රෝහල් සුළු සේවක සංඛ්‍යාවක් දක්නට ඇත. මේ වන විට පාලනය කර ගතනොහැකි තරමට උග්‍ර වී ඇති සුළු සේවක අතිරික්තයත් ඒ තුළින් නිර්මාණය වී ඇති ගැටලුත් සම්බන්ධයෙන් රජයේ වෛද්‍යවරුන්ගේ සංසදයේ සභාපති ශ්‍රී ලංකා ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පසුගිය දා මාධ්‍යයට ආන්දෝලනාත්මක අනාවරණයක් කොට තිබිණ.
” හැමෝම නැතත් රෝහල් සුළු සේවකයන් බහුතරය නිකරුනේ කාලේ කනවා. එහෙම කාලේ කන කාන්තා සහ පිරිමි භේදයකින් තොරව බහුතරය අයිස්, කුඩු මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න ඇබ්බැහි වෙලා ඉන්නවා. මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙච්ච සමහර අය රෝහල් තුළ මත්ද්‍රව්‍ය ජාවාරම් කරන්නත් පටන්ගෙන තියෙනවා. මත්ලෝලී නේවාසික රෝගීන්ට මත්ද්‍රව්‍ය ලබාදෙනවා. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා ඉන්න රෝහල් කාර්ය මණ්ඩලයේ සේවකයන්ට මත්ද්‍රව්‍ය විකුණනවා. රෝහල් තුළ ජාවාරම් කරන ඇතැම් සුළු සේවකයන් වෛද්‍යවරුන් මිලට ගන්න පුළුවන් ආකාරයට කෝටිපතියන් බවට පත් වෙලා ඉන්නවා. රෝහල් තුළ බල පරාක්‍රමයක් නිර්මාණය කරගෙන තියෙනවා. එම බල පරාක්‍රමය තුළ ඔවුන්ට සිතැඟි පරිදි රෝහල්වල ව්‍යාපාර කරගෙන යනවා. සමහර සුළු සේවකයන් ත්‍රිරෝද රථ හයර් කරනවා. තව පිරිසක් රෝහල තුළ එළවළු, පලතුරු වෙළෙඳාම් කරනවා. සමහර අය රෝහල්වල කසිප්පු විකුණනවා. රෝගීන්ට කරන සේවයට මුදල් අය කරනවා. රෝගීන්ගේ මුදල් පසුම්බි, දුරකථන සොරකම් කරනවා. ඒ දේවල් ආරක්ෂා කරගන්න රෝගීන්ට රෑ තිස්සේ නිදිවරාගෙන ඉන්න වෙලා. ඒ වගේම රෝහල් භූමිය තුළ තිබෙන වෛද්‍යවරුන්ගේ මෝටර් රථවල කෑලි නැති වෙනවා. රෝහල් පොලිසිය මේ අකටයුතුකම් ගැන කිසිදු පරීක්ෂණයක් කරන්නේ නෑ. රෝහල් තුළ කෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් පොලිස් මුරපළ වගකියන්නේ නෑ. පෞද්ගලික ආයතනවලින් රාජකාරියේ යොදවලා තියෙන ආරක්ෂක නිලධාරීනුත් මත්ද්‍රව්‍ය ජාවාරමේ පාර්ශ්වකරුවන්. සුළු සේවකයන්ව පරීක්ෂා කරන්න වැටලීම් අංශයෙන් එනකොට ඔත්තුව යන්නේ රෝහල් ආරක්ෂක අංශයෙන්. වැටළුවට වැඩක් නෑ. ඒ වෙනකොට බඩු සේරම අන්තරස්දාන වෙලා ඉවරයි. මේ සුහදත්වය නිසා රෝහල් තුළ කෙරෙන ජාවාරම් පාලනය කරගැනීමට නොහැකි තත්වයට පත් වෙලා තියෙනවා
ඒ වගේම සමහර සුළු සේවකයන්ගේ ස්ථිර සේවය පාට් ටයිම්. රැකියාව බිස්නස් හෝ වෙනත් රැකියාවක්. ඒ අය එන්නේ රාත්‍රි වැඩ මුරයට විතරයි. දවල් දවසේ බිස්නස් හෝ වෙන රැකියාවක් කරනවා. රෑට රෝහලට ඇවිත් හොඳට නිදාගෙන පාන්දර බෝඩිමට යනවා. සමහර සේවකයෝ උදේ එන්න ඕන වැඩ මුරයට හැන්දෑවට එනවා. ඔවුන්ගේ පහසුවට තමයි වැඩ මුර හදාගෙන තියෙන්නේ. වාට්ටු භාර හෙද නිලධාරීන් කියන කිසිම දෙයක් සුළු සේවකයන් කරන්නේ නෑ. දුරකථන කනේ තියාගෙන නැති නම් ඒවාට කොට, කොටා මුලු ගැන්වෙනවා. රෝගී සේවයේ ඉන්න සේවකයන්ට දුරකථන පාවිච්චිය තහනම් කියලා චක්‍රලේඛනයේ ඇතුළත් කර තියෙනවා. ඒත් සුළු සේවකයන්ට ඒ නීති වලංගු නෑ. මේ වෙනකොට සුළු සේවකයන්ගෙන් වැඩ ගන්න හෙද නිලධාරීන්ට රෝහල තුළ වෙනම අරගලයක් කරන්න වෙලා තියෙනවා. වෛද්‍යවරුන්ට ඇහුම්කන් දෙන්නෙ නෑ. හරියට රාජකාරියට වාර්තා නොකරන ජාවාරම්කාර සුළු සේවකයන් අතර අවංකව රැකියා කරගෙන යන අතළොස්සක් ඉන්නවා. ඒ සේවකයන්ව ජාවාරම්කාර සේවකයන් දැඩි ලෙස පීඩාවට පත් කරනවා. සුළු සේවක පාලකවරු වැඩ දෙන්නෙත් අවංක සේවකයන්ට විතරයි. ජාවාරම්කාරයන්ට වැඩ දෙන්නෙ නෑ. ඒ වෙනුවට සුළු සේවක පාලකවරුන්ට ජාවාරම්කාරයන් මුදලින් හොඳට සලකනවා”
රෝහල් පරිපාලනය සුදුසු කම් සහිත නිලධාරීන් ගෙන් යුක්ත වුණත් රෝහල් සුළු සේවකයන් පරිපාලනයට සුළු සේවා පාලකවරු පත් කෙරෙන්නෙත් අධ්‍යාපන සුදුසුකම් මත පැවැත්වෙන තරඟ විභාගවලින් නෙමෙයි. සේවා කාලය මත සුළු සේවකයන් අතරින්ම තෝරා පත්කර ගන්නවා. ඒ පාලකවරු රෝහල් තුළ සිදුකෙරෙන ජාවාරම්වල ප්‍රධාන හවුල්කාරුවො වෙලා. හොර නායකයන් වගෙයි. සමහර සුළු සේවකයන් වැඩට එන්නේ නෑ. ඒ සේවකයන් වැඩට පැමිණි බවට සුළු සේවා පාලක වරුන් හොර අත්සන් ගහනවා. වැඩ නොකරන බව ඉහළට වාර්තා නොකරනවට සුළු සේවකයන් විසින් පාලකවරුන්ට මුදල් ගෙවනවා. එක් සේවකයෙක් මාසෙකට රුපියල් දාහ ගාණෙ දුන්නොත් ඒ ආකාරයට සේවකයන් පන්සියක් දාහ ගාණෙ දුන්නොත් අවමය රුපියල් ලක්ෂ පහයි. උපරිමය මිලියනයකට වැඩි වෙන්නත් පුළුවන්. රෝහල් සුළු සේවකයෙක්ගේ වැටුපත් රුපියල් හැටදහකට වැඩි වෙනවා. පාලකවරුන්ගේ වැටුප තවත් වැඩි වෙනවා. සමහර රෝහල් සුළු සේවක පාලකවරුන්ගේ මාසික ආදායම කොපමණද? කියන්න බැරි තරම්. ඒ වගේම රෝහල් සුළු සේවකයන් සහ පාලකවරු අතර බිඳිය නොහැකි සුහදත්වයක් තියෙනවා. එම පාලකවරු වෘත්තීය සමිති ඒජන්තවරු විදිහට වැඩ කරනවා. රෝහල් සුළු සේවකයන් සම්බන්ධයෙන් එම වෘත්තීය සමිති පෙනී සිටිනවා. සුළු සේවක පාලකවරු රෝහල් පරිපාලනයට ඇහුම්කන් දෙන්නෙත් නෑ. ඇතැම් පරිපාලන නිලධාරීන් සුළු සේවක පාලකවරුන්ට බයයි. සුළු සේවකයන්ගේ, පාලකවරුන්ගේ අකටයුතුකම් සම්බන්ධයෙන් ඉහළට වාර්තා වෙන්නෙත් නෑ. ඉඳහිට වාර්තා වුණත් සැබෑ තත්ත්වය වහං වෙලා, විකෘති තත්ත්වයක් තමයි ඉහළට වාර්තා වෙන්නේ. රෝහල් සුළු සේවක කාර්යමණ්ඩලය කාර්යක්ෂම කරන්න නම් සුළු සේවක පාලකවරු ඉවත් කර මානව සම්පත් කළමනාකරණය සම්බන්ධයෙන් උපාධි සහිත මානව සම්පත් කළමනාකරුවන් පත් කරන්න ඕනෑ…”
ශ්‍රී ලංකා ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ රුක්ෂාන් බෙල්ලන සිදු කළ මෙම ප්‍රකාශය පදනම් ව ඔහුගේ නිල කාමරය වටකරගත් සුළු සේවකයන් තුන්සියයක් පමණ විරෝධතාවක නිරත වීම නිසා පසුගිය දිනයෙක දැඩි උණුසුම් තත්ත්වයක් උද්ගත විය.නියෝජ්‍ය අධ්යක්ෂ වරයාට සිය නිල කාමරයෙන් පිටතට යෑමට ඉඩ නොදී පැය හතරක් පමණ තිස්සේ එහි සිරකර තබාගැනීමට ජාතික රෝහලේ සුළු සේවකයෝ පිරිසක් කටයුතු කළහ. සවස පහට පමණ විශේෂ පොලිස් ආරක්ෂාවක් යටතේ රෝහලින් එළියට ගත් නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මරදාන පොලිසිය වෙත රැගෙන ගොස් ඇත.පසුව ඔහු තාවකාලික ව සෞඛ්‍ය අමාත්‍යංශය වෙත අනුයුක්ත කරන ලදී.
ඒ පිළිබඳව අදහස් දැක් වූ සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ පර්යේෂණ සහ සංවර්ධන ආයතනයේ විධායක මණ්ඩල සභික වෛද්‍ය වසන්ත බණ්ඩාර මාධ්‍යයට මෙසේ කියා තිබේ.“වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ගේ සමහර මතවාද සමග අපි එකඟවන්නේ නැහැ. ඒත් මහා සමාජය වෙලාගන්නා බරපතළ අර්බුදයක් සෞඛ්‍ය පද්ධතිය තුළට ඇතුළුවීම පිළිබදව ඔහු නිර්භයව අදහස් ප්‍රකාශ කිරීම අපි අගය කරනවා.වෘත්තීය සමිති හෝ බලධාරීන් කළ යුත්තේ පණිවිඩකරුවාට වෙඩිතැබීම නොව අදාළ හෙළිදරව්ව පිළිබදව පරීක්ෂණ පවත්වා නිසි පියවර ගැනීමයි. ඒ වෙනුවට පණිවිඩකරුවාට වෙඩි තැබීම බරපතළ අසාධාරණයක්. සමස්ත සමාජයම ඊට එරෙහි විය යුතුයි”ඒ කෙසේ හෝ මේ වන විට කොළඹ ශ්‍රී ලංකා ජාතික රෝහල පුරා ඔඩු දුවා ඇති මෙම සුළු සේවක පාතාල ක්රියාකම් කෙමෙන් දිවයිනේ සෙසු රෝහල් වලටත් ව්‍යාපත වෙමින් පවතින බවට තොරතුරු ලැබෙමින් තිබේ.එබැවින්ශ්රී ලංකා ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ රුක්ෂාන් බෙල්ලන දුන් හෝඩුවාවේ නිවැරදි බව මනාව සනාථ වෙමින් පවතින පසුබිමක ශ්‍රී ලංකාවේ සමස්ත සෞඛ්‍ය පද්ධතියම බිඳ දමන මෙම “:වසංගතය” රජයේ රෝහල් පද්ධතිය තුළින් මුලිනු`පුටා දැමීම සෞඛ්‍ය ඇමතිවරයා විසින් හෙටට කල් දැමිය යුතු නොවන කඩිනම් පියවරක් බව අපිදු තරයේම කියා සිටිමු.
දමයන්ති ගමගේ