ඉන්දියානු චිත්‍රපට ගීතයට කොරියානු තානාපති නටපු අපූරු නැටිල්ල

තෙලිගු චිත්‍රපටයක් වන RRR මෑත කාලයේ වැඩිම අවධානයක් දිනාගත් ඉන්දියානු සිනමාපටයකි. ඉන්දියාවේ පමණක් නොව තවත් බොහෝ රටවල සිනමා ප්‍රේක්‍ෂකයන් මෙන්ම විචාරකයන් ද තොග පිටින් ආකර්ශණය කර ගැනීමට ඊට හැකි විය. චිත්‍රපටය මෙන්ම – සමහරවිට ඊටත් වැඩි- ආකර්ශණයක් දිනාගන්නට එහි එන ගීතයක් සමත් වූයේය. ඒ ‘නාටු නාටු’ නැමැති අපූරු ගීතය යි. විස්මයජනක නර්තනයකින් ද සමන්විත මෙම ගීතය රසිකයන් අතර විශාල උන්මාදයක් ජනිත කළ බව කිවහොත් එය අතිශයෝක්තියක් නොවේ.

මේ දිනවල මෙම ‘නාටු නාටු’ ගීතය තවත් අපූරු සිද්ධියක් නිසා නැවතත් මාධ්‍ය තුළ අවධානයක් දිනාගෙන තිබෙනු දැකිය හැකි වේ. ඒ, ඉන්දියාවේ සිටින දකුණු කොරියානු තානාපතිවරයා පවා මෙම ගීතයට අනුව නැටුමක් නැටීම නිසා ය. තානාපති චැංග් ජේ-බොක් පමණක් නොව තානාපති කාර්යාලයේ තවත් කිහිප දෙනෙකු ද මෙම නැටුමට එක්වන අතර එම නර්තනය අඩංගු විඩියෝවක් සමාජ මාධ්‍යයට එක් ව තිබේ. එම විඩියෝව ද මහත් සේ ජනප්‍රිය වී ඇත. දැනටමත් මිලියන ගණනක් එය නරඹා තිබේ.

RRR චිත්‍රපටයේ ‘නාටු නාටු’ මුල් ගීතයට අනුව නර්තනය ඉදිරිපත් කරන්නේ සුපිරි නළුවන් දෙදෙනෙකු වන රාම් චරන් සහ එන්.ටී. රාම රාඕ ය. කොරියානු තානාපති කාර්යාලයේ අය ද එම නර්තනයම අනුකරණය කිරීමට බොහෝ දුරට සාර්ථක වෑයමක් දරණු දැකිය හැකි වේ. මෙම විඩියෝව ඉන්දියානුවන් තුළ මහත් උද්දාමයක් ජනිත කර ඇති අතර අගමැති නරේන්‍ද්‍ර මෝදි පවා ඒ ගැන ප්‍රකාශයක් කර තිබිණි. ඔහු එය හඳුන්වා තිබුණේ ඉතා උද්වේගකර සහ අගය කළ යුතු සාමූහික උත්සාහයක් ලෙසිනි.

මෙම අපූරු නර්තනයේ යෙදෙන සමහරුන් සැරසී සිටින්නේ ඉන්දියානු ඇඳුම්වලිනි. තවත් සමහරුන් කොරියානු මෝස්තරයේ ඇඳුම් හැඳ සිටින ආකාරය දැකිය හැකි වේ. මෙම නැටුම ඇතුළත් විඩියෝව ඔවුන් තානාපති කාර්යාලයේ නිල ට්විටර් පිටුවට ද එක් කර තිබිණි.

‘ඔබ නාටු නාටු ගැන දන්නවාද?

කොරියානු තානාපති කාර්යාලයේ ‘නාටු නාටු’ ගීතය ඔබ සමග බෙදා ගන්න අප කැමතියි. තානාපති චැංග් ජේ-බොක් සහ කාර්ය මණ්ඩලය ඉදිරිපත් කරන ‘නාටු නාටු’ මෙන්න බලන්න.’ යනුවෙන් ද ඔවුන් එහි සඳහන් කර තිබේ. මෙය විනාඩියකට ආසන්න ධාවන කාලයකින් යුතු විඩියෝවකි. නමුත් ‘නාටු නාටු’ මුල් ගීතය නම් විනාඩි 4 ක පමණ දීර්ඝ ධාවන කාලයකින් යුතු වූවකි. යූ ටියුබ් හි මේ වනවිට එය නැරඹුම් (views) මිලියන 120 පසු කර ඇත.

කොරියානු තානාපතිවරයා ඇතුළු පිරිස පවා ‘නාටු නාටු’ ගීතයට අනුව මෙවැනි නැටුමක් ඉදිරිපත් කිරීම එම ගීතයේ සහ නර්තනයේ ජනප්‍රියත්වය පිලිබඳ කදිම සාක්‍ෂියකි. මෙම ගීතය ඇතුළත් වන RRR චිත්‍රපටය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් ඉන්දියාව පාලනය කළ යුගය පසුබිම් කරගත් කතාපුවතක් රැගත් නිර්මාණයකි. ඉන්දියානු තරුණයන් දෙදෙනකු බි්‍රතාන්‍යයන්ගේ කෲරකම්වලට එරෙහිව කරන සටනක් පිලිබඳ කතාවක් මේ තුළින් ඉදිරිපත් වේ. රාම් චරන්, එන්.ටී රාම රාඕ (කණිෂ්ඨ) යන ජනප්‍රිය තෙලිගු නළුවන් පමණක් නොව අජේ දේව්ගන්, ආලියා භාත් වැනි බොලිවුඩ් රංගන ශිල්පීහු ද එහි රඟපාති.

මෙම සිනමාපටයේ සංගීත අධ්‍යක්‍ෂවරයා වන්නේ අති දක්‍ෂ සංගීතඥයකු වන එම්.එම්.කීරවානි ය. ඔහු RRR වෙනුවෙන් නිර්මාණය කර ඇති ගීත එකකට එකක් නොදෙවෙනි අපූරුම ගීත බව පැවසිය හැකිය. ඒ අතරින් වඩාත්ම අවධානයක් දිනාගත්තේ සහ ජනප්‍රියත්වයට පත් වූයේ ඉහත කී ‘නාටු නාටු’ නැමැති ගීතය යි. එය මෑත කාලයේ ඉන්දියානු ජනප්‍රිය සිනමාව තුළ නිර්මාණය වූ අපූරුම ගීතයක් බව අමුතුවෙන් කිව යුතු නැත. ඉන්දියානු සම්මාන උළෙලවල දී පමණක් නොව ලෝකයේ ප්‍රසිද්ධම සිනමා සම්මාන උළෙලවල දී පවා සම්මානයට පාත්‍ර වීමට ඊට හැකි වී තිබේ. ඇමරිකාවේ ජනප්‍රියම සම්මාන උළෙලක් වන ගෝල්ඩන් ග්ලෝබ් (Golden Globe) සම්මාන උළෙලේ ද හොඳම පසුබිම් ගීතය සඳහා පිදෙන සම්මානය හිමි වූයේ ‘නාටු නාටු’ ගීතයට යි. ඒ මෙකල සංගීත ලෝකයේ දැවැන්තයන් ලෙස සැලකෙන ලේඩි ගාගා, ටේලර් ස්විෆ්ට්, රියානා වැනි ගායිකාවන්ගේ ගීත ද පරදවමිනි. මාර්තු 12 වැනි දින පැවැත්වෙන ඔස්කාර් සම්මාන උළෙලේ ද හොඳම පසුබිම් ගීතය සඳහා පිදෙන සම්මානයට එය නිර්දේශ වී තිබේ. ‘නාටු නාටු’ එම ඔස්කාර් සම්මානය ද දිනාගනු ඇති බව බොහෝ විචාරකයන්ගේ අදහස යි. එසේ වුවහොත් එය ඉන්දියානු සිනමාවට සහ සංගීතයට හිමිවන සුවිසල් ජයග්‍රහණයක් වනු ඇත.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර