ඉන්දියාවේ කෝවිලක පෙරහරේ යන්න රොබෝ ඇතෙක්

මිනිසුන් යටතේ පසුවන හීලෑ අලි ඇතුන් විඳින වද වේදනා පිලිබඳ කතා මේ කාලයේ ලංකාවේ ද නිතර අසන්නට ලැබේ. දම්වැල්වලින් ගැට ගසා, හෙණ්ඩුවලින් අනිමින්, තවත් විවිධාකාරයේ හිංසනයන්ට ලක් කරමින් ඔවුන්ට කරන ‘සැලකිලි’ බොහෝ දෙනෙකු තුළ මහත් කම්පාවක් ඇති කරන්නට සමත්ව ඇති අතර මේවාට එරෙහිව මේ වනවිට විශාල හඬක් නැගෙන්නට ද පටන්ගෙන තිබේ. පෙරහර වැනි ආගමික කටුයුතු සඳහා යොදා ගන්නා අලි ඇතුන් පවා මෙවැනි දුක් සහිත ඉරණමකට ගොදුරු වන බව රහසක් නොවේ.

මෙවැනි තත්ත්වයක් තිබිය දී මෙම කාරණයට අදාළ අපූරු පුවතක් පසුගිය දා ඉන්දීය මාධ්‍ය තුළ පළ වී තිබිණි. එයින් කියැවුණේ ඉන්දියාවේ කේරළයේ හින්දු කෝවිලක ආගමික කටයුතු සඳහා ජීවමාන ඇතකු වෙනුවට රොබෝ ඇතකු යොදාගන්නට පටන්ගෙන ඇති බවයි. ප්‍රමාණයෙන් සැබෑ අලියකුට සමාන මෙම රොබෝ ඇතා අඩි 11 ක් පමණ උස බව ද, කි.ග්‍රෑ. 800 ක පමණ බරින් යුතු බව ද සඳහන් වේ. ඔහු නිර්මාණය කිරීමේ දී යකඩ රාමුවක් සහ රබර් ආවරණයක් යොදාගෙන ඇති බව ද පැවසේ. පෙරහරවල දී දේව රූප රැගෙන යාම වැනි කටයුතු සඳහා මින් ඉදිරියට මෙම දේවස්ථානය යොදාගනු ඇත්තේ මෙම රොබෝ ඇතා ය.

කේරළය විවිධ කටයුතු සඳහා විශාල වශයෙන් අලි ඇතුන් යොදාගන්නා ප්‍රාන්තයක් ලෙස සැලකේ. ඉහත කී රොබෝ ඇතා ආගමික කටයුතු සඳහා යොදාගන්නට පියවර ගෙන ඇත්තේ කේරළයේ ත්‍රිසූර් නැමැති දිස්ත්‍රික්කයේ පිහිටා ඇති ඉරින්ජදප්පිලි ශ්‍රී ක්‍රිෂ්ණ කෝවිල නම් ආගමික සිද්ධාස්ථානයකි. මෙම කෝවිලට ඉහත කී රොබෝ ඇතා ප්‍රදානය කර තිබුණේ People for Ethical Treatment of Animals නැමැති සංවිධානයකි. දකුණු ඉන්දියානු නිළියක වන පාර්වති තිරුවෝදු ද මෙම ව්‍යාපෘතියට සම්බන්ධ බව සඳහන් වේ. මෙම රොබෝ ඇතාගේ වටිනාකම ඉන්දීය රුපියල් ලක්‍ෂ 5 ක් පමණ වන බවද මාධ්‍ය වාර්තාවල සඳහන් විය. එය ලංකා මුදලින් රුපියල් ලක්‍ෂ 20 කට ආසන්න වන්නකි.

ඉහත කී කෝවිලට මෙම ඇතා ප්‍රදානය කළ People for Ethical Treatment of Animals සංවිධානයේ සමාජ මාධ්‍ය පිටුවක මේ ආකාරයේ සටහනක් යොදා තිබිණි.

‘මෙන්න අලි ප්‍රවෘත්තියක් !

සැබෑ අලි ඇතුන්ට සොබා දහම තුළ තම පවුල් සමග ජීවත්වන්නට ඉඩ දෙමින් කේරළයේ ඉරින්ජදප්පිලි ශ්‍රී ක්‍රිෂ්ණ කෝවිල සිය ආගමික කටයුතු සඳහා ඉදිරියේ දී සැබෑ ප්‍රමාණයේ යාන්ත්‍රික ඇතකු භාවිත කරනු ඇත. මෙම ව්‍යාපෘතියට පාර්වති තිරුවෝදුගේ ද සහය ලැබී තිබේ”

මෙම ඇතාට නමක් පවා දීමට කෝවිලේ පූජකවරුන් පියවර ගෙන ඇති බව වාර්තා වේ. ඔහුට නම් තබා ඇත්තේ ‘ඉරින්ජදප්පිලි රාමන්’ යනුවෙනි. අලි ඇතුන් දෙවියන් වෙනුවෙන් කැප කිරීම සඳහා පවත්වනු ලබන සම්ප්‍රදායික චාරිත්‍රයක් මෙම ඇතා වෙනුවෙන් ද පවත්වා ඇති බව සඳහන් ය. සැබෑ අලි ඇතුන්ට අන්දවනු ලබන ඇඳුම් ආයිත්තම් පවා රොබෝ ඇතාට ද අන්දවා තිබෙනු දැකිය හැකි විය.
මෙම ඇතා ක්‍රියාත්මක වන්නේ ඉතා ප්‍රබල විදුලි මෝටර් පද්ධතියක් මගින් බව සඳහන් වේ. කුලප්පු වීම් වැනි දේ සිදු නොවන නිසා මෙය ඉතා ආරක්‍ෂාකාරී කටයුත්තක් වනු ඇති බව ද බොහෝ දෙනා පෙන්වා දී තිබිණි.

මෙම ඇතා මත එක වරකට පස් දෙනෙකුට ගමන් කළ හැකිය. ස්විච්චයක් මාර්ගයෙන් ඔහුගේ හොඬය ආදී අවයව හැසිරවීමට ඇත්ගොව්වාට හැකියාව තිබේ. මෙම ඇතා නිර්මාණය කර තිබුණේ ඇත් රූප නිර්මාණය සඳහා ප්‍රසිද්ධියක් උසුළන ආයතනයකි. ඔවුන් විදේශයන්හි විවිධ උත්සව සඳහා ද ඇත් රූප නිර්මාණය කරන ආයතනයක් බව සඳහන් ය.

තමුන් වෙත ලැබුණු මෙම රොබෝ ඇතා ගැන කෝවිලේ පූජකවරයා වන රාජ්කුමාර් නම්බූතිරි ද අදහස් දක්වා තිබුණේ මහත් උද්යෝගයෙනි. ඔහු බෙහෙවින් සතුටට පත්ව සිටින බව දැකිය හැකි වේ. ‘වෙනත් කෝවිල් ද ඔවුන්ගේ ආගමික කටයුතු සඳහා මෙවැනි ඇතුන් යොදා ගැනීම ගැන කල්පනා කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා’ යයි ඔහු පවසා තිබිණි.

මෙම කෝවිල පවත්වාගෙන යනු ලබන්නේ එක්තරා පවුලක් විසින් බව සඳහන් වේ. කලින් මෙහි කටයුතු සඳහා අලි ඇතුන් කුලියට ලබා ගැනීමට පුරුදුව සිටි බව ද පූජකවරයා පවසා තිබිණි. ‘නමුත් පසුගිය වසර කිහිපය තුළ එම කටයුත්ත නතර කරලයි තිබුණේ. ඔවුන් කුලියට ගැනීම සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදුවීමත්, අලි ඇතුන් කුලප්පු වීම නිසා නිතර අනතුරු සිදුවීමත් ඊට හේතු වුණා.

‘මේ අතර අපිට ඩුබායි හි උත්සවයක් සඳහා ඇත් රූප නිර්මාණය කරන ආයතනයක් ගැන අහන්න ලැබුණා. අපි එවිට ඔවුන් හමුවෙලා සාකච්ඡා කළා. අපට අවශ්‍ය ආකාරයේ ඇතකු නිර්මාණය කර දෙන ලෙස අප ඔවුන්ගෙන් ඉල්ලා සිටියා. මෙයට අනුග්‍රහය දැක්වීම සඳහා People for Ethical Treatment of Animals ආයතනයත් ඉදිරිපත් වුණා’ යයි ඔහු තවදුරටත් පවසා තිබිණි.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර