මානව සම්බන්ධතා වර්ධනය කර ගැනීම පොදු සමාජ සංවර්ධනයට ඉවහල් වන කුශලතාවක් බවට අප සමාජයේ පොදු පිළිගැනීමක් තිබෙනවා.නමුත් අද වන විට ලෝකයේ දියුණු සමාජයන්හි පොදු පිළිගැනීම වී ඇත්තේ මිනිසුන් වෙත පළ කරන ඒ සංවේදීතාවම සතා සීපාවා,ගහ කොළ ඇතුළු සොබා දහමේ උරුමයන් කෙරෙහි එලෙසින්ම දැක්වීම තිරසාර මානව සංවර්ධන මං පෙතක් බවයි.එමෙන්ම කුඩා දරුවන් තුළ සතුන් කෙරෙහි දයාභරිත සහ සහනශීලී ආකල්ප ප්‍රවර්ධනය කරවීම ඔවුන් තුළ යහ පෞරුෂයක් ප්‍රවර්ධනය කරවීම සම්බන්ධයෙන් වඩාත් සාධනීය ලෙස බලපාන බව මේ වන විට පර්යේෂණාත්මකව සනාථ වී තිබෙනවා.මෙම නවීන මතිමතාන්දර වලින් බැහැරව වුවත් බළලුන් සම්බන්ධ රසික සිත් තුළ තීව්ර සංවේදීතාවයන් ඇති කරවනන කාව්‍ය නිර්මාණ රැසක් කොළඹ යුගයේ කවීන් අතින් ලියැවී තිබෙනවා.විමලරත්න කුමාරගමයන් ලියූ “පූසි ගේ මරණය සහ ගුණදාස අමරසේකරයන් ලියූ “බළල් කුණා”යන කාව්‍ය නිර්මාණ ඒ අතුරින් අපගේ මතකයන් තුළ ප්‍රබල ලෙසින් සටහන් ව ඇති නිර්මාණ ලෙස හඳුන්වන්න පුළුවන්.
අද අපි Wall එකට තෝරා ගත්තේ වත්මන් පරපුරේ කිවිඳියක් නිවසේ ඇති දැඩි කරන සුරතල් බළලකු මුල් කොට ලියා ඇති එබඳු කාව්‍ය නිර්මාණයක්.”පමා වී ආ කිටී”ලෙස නම් කොට ඇති මෙය සිද්ධිමය වශයෙන් ඉතා සුළු දෙයක් ලෙස සැලකිය හැකි වුවත් මේ කව් පෙළ මඟින් කිවිඳිය තම සුරතල් බළලා කෙරෙහි දක්වන දයා භරිත ආකල්පය හුදෙක් මානව දයාව නම් වන පටු සීමාව ඉක්මවා විහිදෙන ආලෝක ප්රභාවක් සේ විස්තර කරන්න පුළුවන්. සිංහල පද්‍ය සාහිත්‍යයේ සත්ව හිමිකම් යාන්ත්‍රණයේ සේම මානව සංවර්ධනයේ ප්රගමනයට හේතු වන මේ පද්‍ය නිර්මාණය කළ කිවිඳිය ශ්‍රියානි සුබසිංහයි. හොරණ පදිංචි ඇය ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ ගුරුගොඩ කණිෂ්ඨ විදුහලෙන්. උසස් පෙළ අධ්‍යාපනය ලැබුවේ හොරණ තක්ෂිලා මැදි විදුහලෙන්.මේ වන විට විවාහක එක් දරු මවක වන ශ්‍රියානි තවමත් විවේකයක් තිබෙන වෙලාවට “මුහුණු පොත”ට කවි ලියනවා. පාසල් කාලයේ පද්‍ය රචනා තරඟ වලින් ඇගයීමට අගැයුමට ලක් ව ඇති ශ්‍රියානි ගේ කවිත්වය තවමත් ඉතා යහපත් මට්ටමක පවතින බවට “පමා වී ආ කිටී “කදිම නිදසුනක්.
පමා වී ආ කිටී
දොර අරින විට මාළු කන්නට
ආවෙ නෑ නොවැ අද කිටී
අඬ ගැසූවෙමි බොහෝ වේලා
නම කියා නුඹ හට කිටී
මටත් නොදැනී මගේ දෙනෙතින්
ගලා යයි කදුළැලි කැටී
හරිම පුදුමයි මේ තරම්
සෙනෙහසක් නුඹ හට ඇති හැටී
ගත උනා දෙක තුනක් හෝරා
ඒත් නුඹ ආවේ නැතී
අහළපහලින් විමසුවත් කිසි
තොරතුරක් ලැබුනෙත් නැතී
හොයන්නට නම් තව කොහේවත්
අනේ කිටියෝ මට නැතී
නොවී නපුරක් ඉක්මනින් නුඹ
ගෙදර ආවොත් ඒ ඇතී
ඥෑව් කියනා පුරුදු හඬකින්
සිත තිගැස්සී ගිය හැටී
මිහිරි පුරු පුරු සර නගා නුඹ
සිටියි මා දෙපතුල ගැටී
පමා වී හෝ නැතිව නපුරක්
කිටී නුඹ ආවා ඇතී
සාලයෝ හතරක්ම දෙන්නම්
හොඳටෝම බඩගිනි ඇතී.
ශ්‍රියානි සුබසිංහ