සමාජ ජාල වල සැරිසැරූ සංවේදී සේයාරුවක් ගැන බොහෝ දෙනෙක් නොදත් කතාව

කුඩා දැරියක් බෝනික්කකු වඩාගෙන සිටින ආකාරයට සුනඛ පැටවකු වඩාගෙන සිටින ඡායාරූපයක් පසුගිය කාලයේ සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වෙමින් තිබිණි. මෙයට විවිධ ආකාරයේ අදහස් රැගත් comments ට රාශියක් දැකිය හැකි විය. බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වූ එහි පසුබිම් කතාව කුමක්දැයි පසුගිය දා සොයා ගියෙමි . ඒ පිළිබඳව විමසා බලද්දී පසුබිම් කතාවට අවතීර්ණ වීමට පෙර, පිවිසුම් කතාවක් වෙනම තිබෙන බව පෙනී ගිය බැවින් මුලින්ම ඒ පිවිසුම වෙත ඔබව රැගෙන යන්නෙමි.
සතුන්ට සැබෑවටම ආදරය කරන , විශේෂයෙන් අසරණ වූ සතුන් සම්බන්ධ දැඩි සහකම්පනයකින් යුතු , සිය කාලය ශ්‍රමය සහ මුදල් උපරිමයටත් එහා ගොස් ඔවුන් වෙනුවෙන් කැප කරන සත්ව ලෝලීන් අපේ රටේ දුලභ නොවේ. පොල්ගහවෙල ප්‍රදේශයේ ජීවත් වන කුමාරි ගමගේ ද එවැනි සැබෑම සත්ව ලෝලිනිය කි.

දැනට අසරණ සුනඛයන් පහළොස් දෙනකු තමන්ගේ රැකවරණයෙහි තබාගෙන ඇති දැඩි කරමින්, ඔවුන්ගේ රෝගවලට පිහිටවෙමින්, හොඳින් සත්කාර කර ඔවුන් බලා කියා ගන්නා කුමාරිගේ සුනඛ සංචිතයෙහි විසූ එක් එක් සාමාජිකයකු වූයේ ඉහත ඡායාරූපයේ සිටින කුඩා පැටවා ය.
අපේ රටේ මිනිස් වෙසින් සිටින ඇතැම් නරුමයන් විසින් මහ පාරවල්වලට ගෙනැවිත් දමන අසරණ සුනඛ පැටවුන් දුටුවොත් ඔවුන් නිවසට රැගෙනවිත් කෑම බීම ලබාදී, ප්‍රතිකාර අවශ්‍ය නම් ඒවාද කර සතුන් ඇතිදැඩි කරන්නට කැමති නිවෙසකට ලබාදීම කුමාරිගේ කාර්යයයි. ඇයට මේ සඳහා ආධාර උපකාර කරන පුද්ගලයින් හෝ සංවිධාන නොමැත. එසේම සතුන්ගේ රැකවරණය සඳහා ඉදි කරන ලද වෙනම ස්ථානයක් ද නොමැත. ඇය මේ කර්තව්‍යය කරන්නේ දැඩි අපහසුතා රැසක් මැද තම නිවසේම ය. මෙම කර්තව්‍යයේදී ඇය විඳින අනේක විධ වූ අපහසුතා පිළිබඳව වෙනම පොතක් වුව ලියන්නට හැකිය. පසුගිය සතියේ ද ඇය එවැනි අපහසුතාවයකට මුහුණ දුන්නාය.

පසුගිය දිනෙක කුමාරිට එක් පරිසර සංවිධානයක් මගින් පවත්වන ලද සත්ව සුභසාධනය සම්බන්ධ රැස්වීමකට සහභාගී වීමට ඇරයුමක් ලැබී තිබිණි. එය පවත්වන ලද්දේ බත්තරමුල්ලේ වෝටර්ස් එජ් හෝටලයේ ය. මේ අතර මුහුණුපොත හරහා කුමාරිගෙන් සුනඛ පැටවෙකු හදා වඩා ගන්නට එක් කාන්තාවක් ඊට දින කිහිපයකට පෙර ඉල්ලා තිබූ අතර එම කාන්තාව පදිංචිව සිටියේ දෙහිවල ප්‍රදේශයේ ය. සතුන්ට බොහෝ ආදරය කරන බව පළකළ එම කාන්තාව ⁣සුනඛ පැටවා ආදරයෙන් හදා වඩා ගැනීමට දැඩි කැමැත්තක් පළ කළ නිසා කුමාරි ඇය විශ්වාස කර බත්තරමුල්ලට එන ගමනේදී ම පැටවා ද දෙහිවලට රැගෙන යාමට තීරණය කළාය. ඒ අනුව පසුගිය සතියේ නියමිත දිනයේදී අලුයම තුනට අවදි වී සියලු සුනඛයන්ට කෑම බීම සකස් කර දී ඔවුන්ගේ සියලු කර්තව්‍යයන් ඉටු කොට සුනඛ පැටවාද ලොකු කූඩයක දමාගෙන කුමාරි පොල්ගහවෙලින් දුම්රිය ට නැග ගත්තාය.

පහසුවට සිටින්නට හැකි ආකාරයට කූඩයකට දමා කාගෙන්වත් පීඩාවක්, බාධාවක් නොවන තැනක තබා ගත් පසු කුඩා බලු පැටවුන් දුම්රියෙන් ගෙන යාම අසීරු නැති බව කුමාරිගේ අත්දැකීමයි. පැය කිහිපයක් මෙසේ කූඩයක් තුළට වී සිටින්නට සිදු වුවත්, තමන්ට බෙහෙවින් ආදරය කරන තම හාම්පුතු, කුමාරි ළඟ සිටින විට ඔවුන්ගේ සිතට දැනෙන විශ්වාසය නිසා එසේ සිටිනවා වන්නටත් පුළුවන. දුම්රියට නැග ගත් පසු කුමාරි සුනඛ පැටවා සමග දුම්රියෙන් එන අයුරු වීඩියෝ කර විනාඩියක දෙකක පමණ කෙටි වීඩියෝ ක්ලිප් එකක් ද එම කාන්තාවට යවන්නට අමතක නොකළාය. ඒ තම පැමිණීම තවදුරටත් ඇයට සනාථ කරනු පිණිස ය. එය කියවා තිබුණු බව සනාථ වී තහවුරු වී තිබුණත් ඊට කිසිදු ප්‍රතිචාරයක් එම කාන්තාව දක්වා නොතිබිණි.

බත්තරමුල්ලට ගිය කුමාරි තම හිතවතියකගේ නිවසේ බලු පැටවා සහිත කූඩය තබා පෙර කී රැස්වීමට සහභාගි වූවාය. එය අවසන් වූ පසු බලු පැටවා ද ගෙන පෙරකී කාන්තාවට දුරකථන ඇමතුමක් ගත්තේ ඇගේ නිවසට පැමිණිය යුතු මාර්ග විස්තරය දැන ගන්නට ය. දුරකථන ඇමතුම් ගණනාවක් ගත්තත් ඇගේ දුරකථනය ක්‍රියාත්මක ව නොපැවතිණි. ඇය සම්බන්ධ කර ගත හැකි වෙනත් මගක් ද කුමාරි දැන සිටියේ නැත. කුඩා බලු පැටවා පාන්දර සිට දිවා කාලය ඉක්ම යන තෙක්ම එම කූඩය තුළ සිටියේ හෙම්බත් වී ය. ඒ දුටු කුමාරිගේ සිතට දැනුනු වේදනාව නිම් හිම් නැති විය. ඇය ත්‍රිරෝද රථයකට නැග ගත්තේ බලු පැටවා සමග ආපසු ගෙදර පැමිණීම පිණිස කොටුව දුම්රිය පොළට යන්නට ය . බලු පැටවා කුසගින්නේ නොතැබූවත් කුමාරි ළඟ සිටින විට දැනුනු ආරක්ෂාව නිසා දෝ නිහඬව සිය අපහසුතා ඉවසා ගනිමින් කූඩය තුළට වී සිටින අන්දම දුටු කුමාරිගේ දෑසින් කඳුළු කඩා හැලෙන්නට විය. වාඩිවීමට අසුනක්වත් නොලැබුණු දුම්රියේ සිටගෙනම බලු පටවා රැගෙන කුමාරි ආපසු තම නිවසට පැමිණියාය.

අපේ රටේ ජීවත්වන ඇතැමුන්ට අනෙකකුගේ වේදනාව පිළිබඳ අංශු මාත්‍රයකින් කීයෙන් පංගුවකවත් සංවේදීභාවයක් නොමැත්තේ කවර නම් අභාග්‍යයකට දැයි මෙවැනි කතා අසන දකින ළතෙත් හදක් ඇති ඕනෑම අයෙකුට හැඟෙනු නියත ය.
කවර ආකාරයකින් හෝ අසරණ වී සිටින ඕනෑම සතකුට පිහිට වන්නට කුමාරි දෙවරක් සිතන්නේ නැත. ඇය විවාහක ය. දරුවන් නොමැත. ඇය මේ සියලු හපන්කම් කරන්නේ සැමියා ලබන වැටුපෙනි. වාසනාවකට ඇගේ සැමියා සතුන්ට ආදරය දක්වන්නෙකි. එසේ නොවන්නට කුමාරිට එක්කෝ තම පවුල් ජීවිතය, නැතහොත් අසරණ සතුන් යන කරුණු දෙකෙන් එකක් සිය ජීවිතය ඉදිරියට පවත්වාගෙන යාම සඳහා තෝරා ගන්නට සිදු වනු නියතය.
මෙම ඡායාරූපයේ කුඩා දරුවා වඩාගෙන සිටින බලු පැටවා ද කුමාරි විසින් එක් අවස්ථාවකදී කෑගල්ල රන්වල ප්‍රදේශයේ පාරකින් අහුලා ගන්නා ලද පැටවුන් පස් දෙනෙකු අතරින් එක් අයෙකි.

සාමාන්‍යයෙන් ඇය මෙවැනි පැටවුන් හෝ වැඩුණු අසරණ සුනඛයන් පාරෙන් ලබා ගත් පසු ගෙදරට ගෙනැවිත් නහවා පිරිසිදු කර, ප්‍රතිකාර අවශ්‍ය නම් ඒවා ද ලබා දී, දවස් ගණනක් හොඳින් කෑම බීම ලබා දෙමින් ඔවුන් කායික ව යම් ස්ථාවර තත්ත්වයට පත් වූ පසු ඇගේ මුහුණුපොතෙහි එම සතුන්ගේ ඡායාරූප සහ විස්තර පළ කරන්නේ ඔවුන් කැමති කෙනෙකුට හදා වඩා ගැනීම සඳහා ලබා දෙන්නට ය. රන්වල ප්‍රදේශයෙන් සොයාගත් මෙම පැටවුන් පස් දෙනා පිළිබඳව විස්තර ද කුමාරී එලෙස පළ කළාය. ඒ දුටු එක් කාන්තාවක් ඉන් එක් පැටවකු හදා වඩා ගන්නට කැමැත්ත පළකර දිනක් කුමාරිගේ නිවසට පැමිණියේ ඇගේ සැමියා සහ මෙම කුඩා දියණිය ද සමගිනි.

කුමාරිගේ නිවසේ හිඳින සුනඛයන් අතරේ පාරෙන් ලබාගත් ඉතා අහිංසක, මිනිසුන්ට බොහෝ සෙයින් හීලෑ කමක් දක්වන සුනඛ ගැහැනු සතෙකු සිටියාය. ඇය දුටු ගමන් මෙම කාන්තාවගේ සිත ඇය කෙරෙහි ඇදී ගොස් තිබිණි . තම නිවසේ කොකර්ස්පැනියල් වර්ගයට අයත් තවත් සුනඛයෙකු සිටින බැවින් එම සුනඛයාගේ තනිවට මෙම සුනඛ ගැහැනු සතා ද අර පැටවා සමගින්ම ලබා දෙන ලෙස ඇය කුමාරිගෙන් ඉල්ලා තිබිණි. ඔවුන් බොහෝ සතුන්ට ආදරය කරන බව හැඟී ගිය හෙයින් කුමාරි එම ඉල්ලීමට එකඟ වූවාය.

පසුව එම සුනඛ පැටවාත්, වැඩුණු සුනඛ ගැහැනු සතාත් රැගෙන මෙම තිදෙනා ආපසු යාමට පිටත් වෙද්දී කුමාරි ද ඔවුන් සමග හෙට්ටිමුල්ල ට පැමිණියාය. මෙම ඡායාරූපය කුමාරි ලබා ගත්තේ හෙට්ටිමුල්ල නගරයේදී ය. නමුත් මෙය හිතාමතා පෙර සූදානමකින් ගත් ඡායාරූපයක් නොවේ. හෙට්ටිමුල්ලෙන් වාහනයෙන් බැසගත් පසු එම කුඩා දැරිය සුනඛ පැටවා බෝනික්කකු මෙන් වඩාගෙන සිටින විට පැටවාද එම දැරියගේ අතට වී සිටියේ තමා කාලයක සිට දන්නා හඳුනන ලෙන්ගතු මිතුරියකගේ අතට වී සිටින අයුරිනි. මෙය දුටු කුමාරි තම ජංගම දුරකථනයෙන් ඡායාරූප කිහිපයක් ක්ෂණික ව ලබාගත්තාය. සමාජ මාධ්‍ය ජාලාව තුළින් ඔබ දුටු මෙම ජායාරූපය කුමාරී ලබාගත් එම ඡායාරූප කිහිපයෙන් එකකි.

මේ වන විට එම සුනඛ පැටවාත්, වැඩුණු සුනඛ ගැහැනු සතාත් එම නිවසේ සුවසේ කල් ගෙවමින් සිටිති.

ඉන්දු පෙරේරා

සතුන්ටත් හිමි අපේ ලෝකය