ගමේ වෙද මහත්තයා නූතන සමාජයෙන් කොන් කිරීම බරපතල පාඩුවක්

සිංහල වෙදකම,හෙළ වෙදකම ආදී නම් වලින් හැඳින්වෙන දේශීය වෙදකම මේ වන විට බරපතල දූෂණයකට ලක් ව තිබේ.ඒ අන්තර්ජාලයේ “යූටියුබ්” වෙබ් අඩවිය ආක්‍රමණය කොට හිඳින කූට වංචනිකනන් ගෙනි.ඔව්හු පාරක තොටක ඇඳගෙන යා නොහැකි ව්‍යාජ සාම්ප්‍රදායිකත්වයක් පළ කරන රංගාභරණ ආකාරයේ ඇඳුම් ආයිත්තම් වලින් සැරසී “මළවුන්ට පණ දීම” තෙක් වන සියළු සමත්කම් කළ හැකි අතීත වෛද්‍ය ක්‍රම තමන් සතුව ඇති බව කියමින් අසරණයන් ගෙන් රුපියල් කෝටි ගණන් ගසා කති.මොවුන් ගෙන් සමහරකෙක් තමන් රාවණා පරපුරට අයත් බව කීමට තරම් අඳ බාල වී තිබේ.මම කිසිදු වෛද්‍ය ක්‍රමයකට අයත් වෛද්‍ය වරයෙක් නොවෙමි.නමුදු මම සියණෑ කෝරලයේ පැරණිතම වෙද පරපුරකට අයත් වූවෙක් මි.ගම්පහ දිසාවේ උඩතුත්තිරිපිටිය,කඳුමුල්ල,වරපලාන යන ගම්මාන වල අදටත් අපේ ඥාතීහු සිටිති.ඒ අනුව අපගේ දේශීය වෙදකම පිළිබඳ යම් සඳහනක් කිරීමට මට හිමි කමක් ඇතැයි සිතමි. වර්තමාන සමාජය යුරෝපීය චින්තනයට නතු වීමේ යහපත් සේම අයහපත් ලක්ෂණ ද දක්නට පුළුවන. ශ්‍රී ලාංකේය ජන සමාජය තුළ නව ශිෂ්ටාචාරයක් ප්‍රවර්ධනය වීම කෙරෙහි යුරෝපීය චින්තනය බෙහෙවින්ම ඉවහල් වූ බව අප අවිවාදයෙන් පිළිගත යුතුව තිබේ. එහෙත්, හුදෙක් යුරෝපීය චින්තනය මත පදනම් ව අපගේ දේශීයත්වයට,සාම්ප්‍රදායිකත්වයට පහර හෙළීම කෙසේවත් කළ යුතු නොවේ. අප රටේ නාගරික ශිෂ්ටාචාර බිහිවීමත් සමඟ එම නව සංස්කෘතික ධාරාව මුලුමනින්ම පාහේ යුරෝපීය නැඹුරුවක් ගන්නා ලදී. ඒ අනුව මීට සියවස් කිහිපයකට පෙර ඇරඹුණු ඒ නාගරීකත්වය තුළට ගොනු වූ පිරිස් ගම්බද සමාජය විසින් හෙළා දැකීම් කෙසේවත් නොකළ යුත්තක් ව තිබූ බව මගේ වැටහීම ය.
එම හෙළා දැකීමේ කේන්ද්‍රීය වදන අප රටේ ප්‍රධානතම ජන කොටස වන ග්‍රාමීය ජනතාව ‘ගොඩයන්’ ලෙස හැඳින්වීම ඒ අතර ‘එම’ ‘ගොඩ’ යන වදන විවිධ භාවිතයන් සඳහා ද ගන්නා ලදී. “ගොඩ වෙදකම” “ගොඩ පෙරකරදෝරු” අදටත් සමාජයේ ‘ගොඩ’ යන වදන සහිත එවන් නිග්‍රහාත්මක වදන් අතුරින් දෙකකි.
මෙහි ‘ගොඩ’ යන වදන පැරණි කෘෂිකාර්මික සමාජයේ ගම්මානයක ජනාවාස පිහිටි ඉසව්ව හැඳින්වීම පිණිස යොදන ලද ‘ගංගොඩ’ ‘ගොඩකරය’ ආදී වදන් වලින් උකහා ගන්නා ලද්දකි. පැරණි කෘෂිකාර්මික ගම්මාන වල භූ විෂමතාව අතින් පහළ භූමි භාගයන් වී ගොවිතැන සඳහා යොදා ගැනුණු අතර ගොඩ ගොවිතැන් සහ මිනිස් වාසයන් සඳහා යොදා ගන්නා ලද්දේ එම ප්‍රදේශයේ උස් භූමි භාගයන් ය.අතීත ගැමි සමාජය තමන් ජීවත් වන වපසරිය තුළ ගොඩ මඩ දෙකම එක සේ පරිභෝජනය කළ අතර මීට දශක කිහිපයක් දක්වාම යමකුගේ වත්කම් දැක්වීම පිණිස ‘ගොඩින් මඩින්’ යන්න ද බහුලව යොදන ලදී.
ඒ කෙසේ හෝ චිරාත් කාලයක් මුළුල්ලේ අප රට තුළ පැවැති ජන වෙදකම ශ්‍රී ලාංකේය ජන සමාජය යුරෝපීය චින්තන ආධිපත්‍යයට නතු වීමත් සමඟ “ගොඩ වෙදකම්”යන උපහාසාත්මක නමින් හැඳින්වීමේ නැඹුරුවක් දක්නට ලදී. දියුණු බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව පෙති, කරල් සහ සිරප් වෙනුවට කැළෑ කොළ පොතු තම්බා බීමෙන් රෝග සුව වන්නේ කෙසේද? යන්න දහනව වන සියවස තුළ අප රට පුරා පැතිර ගිය බටහිර අධ්‍යාපනයෙන් පන්නරය ලත් පරපුර විමසන්නට වූහ.
නමුදු අප රටේ ස්ථාපිත ආයුර්වේද, දේශීය හෝ ජනවෙදකම තුළ පැවැති සාධනීය අංග පිළිබඳ කිසිදු වග විභාගයකින් තොරව පැතිරගත් ඒ සමාජ මතවාදය නිසා සමාජයට සිදු වූ අනර්ථය වචනයට නංවා ගැනීමට පවා අපහසු ය. එවන් වාතාවරණයක් යටතේ වත්මන් ගම්පහ දිස්ත්‍රික්කයේ නැදුන්ගමුව වෙද පරපුරට අයත් ජී. පී. වික්‍රමආරච්චි වෙද රාළහාමි 1917 වසරේ ඉන්දියාවේ කල්කටා නුවර අෂ්ටාංග ආයුර්වේද විද්‍යාලයෙන් වෛද්‍ය ශාස්ත්‍රයේ නිපුණයකු වී 1921 වසරේ යළි ලංකාවට පැමිණ 1929 සිද්ධායුර්වෙද විද්‍යාලය ආරම්භ කිරීම එවකට වේගවත් ලෙසින් අඩපණ වෙමින් තිබූ පෙරදිග වෛද්‍ය ක්‍රමයට නව ජීවයක් ලබා දෙන්නක් විය. අද ද රට පුරා ‘ගම්පහ ඖෂධාල’නමින් යුතු ආයුර්වේද බෙහෙත් ශාලා පැතිර පවතින්නේ වික්‍රමාරච්චි වෙද රාළහාමි එදා පෑ ‘වික්‍රමයේ’ හේතුවෙනි. විසි වන සියවසේ මැද භාගයේ සිට ජනතාවට විශිෂ්ඨ සේවයක් සලසන්නට වූ ගම්පහ වෙද පරපුරේ ඇතැමුන් පාරම්පරික වෙද මහතුන් ගේ දරුවන් වුවද ගම්පහ යක්කල සිද්ධායුර්වේද විද්‍යාලයේ ඉගෙනුමට පිවිසි පසු ඔවුන් ද තම පාරම්පරික
වෛද්‍ය ක්‍රමය අත හැර එවක සම්භාව්‍ය ප්‍රශස්ත මට්ටමක පැවැති “සිද්ධායුර්වේද වෛද්‍ය ක්‍රමය”මුලුමනින් ග්‍රහණය කර ගත් බව පෙනේ.නමුදු එම තත්වය තුළ අප රටේ සෑම ගමකම දක්නට ලැබුණු “ගමේ වෙද මහත්තයා” ගේ ප්‍රතිරූපයට යම් බලපෑමක් විණි ද යන සැකය මා තුළ ජනිත වේ.

මාහට මුත්තනු කෙනෙකු වූ අප පරපුරට අයත් සාදිරිස් මහතා ද වචනයේ පරිසමාප්ත අරුතින්ම ‘ගමේ වෙද මහතෙකි. ඔහුගේ පියා ද වෛද්‍යවරයකු වූ බැවින් එවක ගම්මුන් අතරේ ‘පොඩි වෙද මහත්තයා” යනුවෙන් හැඳින්වුණු සාදිරිස් වෙද මහතා ජන්ම ලාභය ලබා ඇත්තේ 1887 වසරේ ය. තම පියා සතු වෙදකම භාවිතා කරමින් පළමු ලෝක යුද සමයේ සිට ප්‍රදේශවාසී රෝගීන් සිය දහස් ගණන් සුවපත් කළ ඔහු හුදෙක් ඖෂධ මූලික වෙදකමක් නොකළ බවත් වෙදකම, හෙදකම සහ ඇදුරුකම යන අංග තුනෙන්ම සමන්විත මිනිසුන්ට වැළඳෙන රෝග නිවාරණ සමන සහ සුව කිරීම් ක්‍රමයක් අනුගමනය කළ බව මගේ පියා මා හා පවසා තිබේ. නමුදු 1936 වසරේ උපත ලැබූ මගේ පියා වෙද මහතකු කිරීමට මුත්තනුවන් අකමැති වූ බැවින් මගේ තමන්ට ඉංග්‍රීසි අධ්‍යාපනයක් ලබා දී තමන් රජයේ තැපැල් සේවයට එක් කළ බව ද මගේ පියා පවසා තිබේ.ඒ එවක සමාජය තුළ පැවැති බටහිර සංස්කෘතික නැඹුරුව නිසා විය හැක.                                                                                                                                                                                                                අතීත ගමේ වෙද මහත්වරු තම වෛද්‍ය ශාස්ත්‍රයන්ට අදාල පිළිබඳව නිපුණතා දැක්වූහ.එය බටහිර වෛද්‍යවරු නොදන්නා විෂය පථයකි. එම ගමේ වෙද මහතුන් රෝග පරීක්ෂාව අරඹා ඇත්තේ,රෝගියා දර්ශනය වන අවස්ථාවේ සිට ය.ගමේ වෙද මහතා කල් ඇතිවම රෝගියා සේම ඔහුගේ චරිත ස්වභාවය දනියි; විහරණ රටාව ද දනියි.එය රෝග විනිශ්චයට විශාල පහසුවකි.එමෙන්ම රෝගියාගේ මුහුණේ, දෑසේ, භාෂාව, ගමන, බිමන,කතා බහ වචන උච්චාරණය, ස්වසන රටාව ආදිය පිළිබඳ සියුම් අධ්‍යයනයක යෙදෙන ගමේ වෙද මහත්තයා තමන් වෙත පැමිණෙන රෝගියා ගෙන් රෝග ලක්ෂණ විමසන අතරේ නාඬි පරීක්ෂාව කරන විට එම රෝගය පිළිබඳ බොහෝ තොරතුරු අනුමාන වශයෙන් වටහා ගෙන හමාරය. පසුව වා පිත් සෙම් යන ත්‍රිදෝෂ තත්වයන් ගේ ක්‍රියාකාරීත්වයට යම් බලපෑම් කළ හැකි රෝගියාගේ ආහාර සහ විහරණ රටාව පිළිබඳ වටහා ගන්නා ගමේ වෙද මහතා පළමුව රෝගියා සඳහා මූලික ඖෂධයක් ලබා දෙයි. එසේ මූලික ඖෂධ ලබා ගන්නා රෝගීන් ගෙන් වැඩි පිරිසක් එයින්ම සුවය ලබන බවත් යළි වෛද්‍ය ප්‍රතිකාර සඳහා පැමිණීමට සිදු වනුයේ රෝගීන් ගෙන් සුළු පිරිසකට බවත් ප්‍රකට කරුණකි.ඒ අනුව බටහිර වෙදකම හා මෙම වෛද්‍ය ක්‍රමය කෙතරම් වෙනස් දැයි ඔබට වැටහෙනු ඇත.
විසි වන සියවසේ අග භාගය තෙක් අඛණ්ඩව ආ මෙම ගමේ වෙද මහතා ගේ භූමිකාව පිළිබඳ මනා විවරණයක් මාර්ටින් වික්‍රමසිංහ සූරීන් විසින් විරචිත ’විරාගය’ නව කතාවේ එයි. එහි කතා නායකයා වන අරවින්ද පවසන පරිදි ඔහු ගේ පියා වන ජයසේන වෙද මහත්තයා ද වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මගේ මුත්තනුවන් මෙන් ගමේ වෙද මහතෙකි.මගේ පියා පවසන මුත්තනුවන් ගේ විස්තර සහ විරාගයේ අරවින්ද පවසන තම පියා වන ජයසේන වෙද මහතා ගේ විස්තර අතර ඇත්තේ විස්මිත සබැඳියාවකි. නමුදු 1930 දශකයේ සිට අප රටේ දේශීය වෛද්‍යවරුන් රජය මගින් ලියාපදිංචි කිරීමත් සමඟ දීර්ඝ කාලයක් තිස්සේ අප රටේ ග්‍රාමීය ජනතාවට සේවය කළ ගමේ වෙද මහතුන් ගේ ප්‍රතිරූපය සැළකිය යුතු ලෙස බිඳ වැටී තිබේ. එමගින් දේශීය වෛද්‍ය වරුන්ට යම් ප්‍රමිතියක් හිමි වුවද තම පාරම්පරික වෛද්‍ය ශාස්ත්‍රය මගින් ජනතාවට ඉමහත් සේවයක් කළ සැබෑ ගමේ වෙද මහත්තයා ගේ ප්‍රතිරූපය සැළකිය යුතු ලෙස බිඳ වැටී තිබේ.එය නූතන සමාජය අත්විඳින බරපතල ඛේදවාචකයකි.                                                                          රුවන් තිලකසිරි

 

ඉරා අදුරුපට