අපේ රටේ භික්ෂු ප්‍රතිරූපය ජාත්‍යන්තරයේ කුණු බක්කියට වැටෙනවාලු

ඉන්දියාවේ වැඩි කලක් වැඩ වෙසෙමින් එහි බෞද්ධ ආයතනයක් හා සබැඳියාවක් පවත්වන ශ්‍රී ලාංකේය හිමි නමක් පසුගිය දා මා හට දුරකථන ඇමතුමක් දී විශේෂිත පුවතක් ගෙන හැර දැක්වීය. එනම් මේ වන විට ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාවේ භික්ෂුව පිළිබඳ ප්‍රතිරූපය බරපතල ලෙස විනාශ වෙමින් පවතින බවකි. නිර්මල ථේරවාදී බුදු සසුන පවතින බවට ඉන්දියාව තුළ පවා යම් පිළිගැනීමකට ලක්ව ඇති ශ්‍රී ලංකාවේ භික්ෂුන් ගේ වීදි සටන්,ආවේගාත්මක හැසිරීම් ආදිය සම්බන්ධ ඡායාරූප සහ වීඩියෝ ඉන්දීය ජන මාධ්‍යවල පවා නිරතුරුව ප්‍රචාරය වීම මත මෑතක් වන තෙක් ශ්‍රී ලාංකේය බෞද්ධ භික්ෂුව මුල් කොට ඉන්දියානුවන් තුළ පැවැති ගෞවරනීය හා ප්‍රසාදනීය ආකල්ප මේ වන විට ශීඝ්‍රයෙන් බිඳ වැටෙමින් පවතින බව ඒ හිමියන් ගේ අදහස විය. මෙය ශ්‍රී ලාංකේය බෞද්ධ භික්ෂු ප්‍රතිරූපය සුනු විසුනු කර ගැනීමට කිසියම් බාහිර බලවේගයක් විසින් දරනු ලබන උත්සාහයක් ද යන සැකය පවා තමන් තුළ හටගෙන ඇති බව ඒ හිමියෝ කීහ. එමෙන්ම ශ්‍රී ලාංකේය බෞද්ධ භික්ෂුව සම්බන්ධ මෙම ඛේදනීය තත්වය සම්බන්ධයෙන් අප සමාජය දැනුවත් කිරීම අතිශයින් වැදගත් බව ද ඒ හිමියෝ කීහ.

මිනිස් සමාජය ගිහි පැවිදි යනුවෙන් කොටස් දෙකකට බෙදෙන බව අපි කවුරුත් දනිමු. එමෙන්ම ඒ පැවිදි සමාජය ද පූජක සහ ශ්‍රමණ යනුවෙන් කොටස් දෙකකින් යුතු ය.පූජකයෝ ද ගිහි පැවිදි ලෙස කොටස් දෙකකට බෙදෙති. ඒ අතරින් ලොව පුරා දක්නට ලැබෙන පූජකයෝ ඉංග්‍රීසි බසින් Clergy යනුවෙන් හඳුන්වනු ලැබේ. එහෙත්, ලොව පුරා පැවිදි පූජකයන් තරම් ව්‍යාප්තියක් නොමැති ශ්‍රමණයන් ද Monk,Mendicant ආදී ඉංග්‍රීසි නම් වලින් හැඳින්වෙන මුත් ඔව්හු ද මේ වන විට Clergy යන පොදු නමින්ම හැඳින්වෙති. මූලික බුදු සමයට අනුව භික්ෂුව ඒකාන්ත වශයෙන්ම ශ්‍රමණ ගණයට අයත් වෙයි. ලෞකිකත්වය තහවුරු කෙරෙන පස්කම් සැප හා සබැඳි කෙලෙස් සමනය කරවීම මත භික්ෂුහු ශ්‍රමණ ගණයට වැටෙති. ඔවුන් හඳුන්වන භික්ෂු යන නම ද අන්‍යයන්ගෙන් යැපෙන බව අඟවන්නකි. එහෙත්, භික්ෂුව අන්‍යයන් ගෙන් යැපෙන්නකු වුව කෙසේවත් යාචකයකු(Beggar ) නොවේ.

ඒ භික්ෂුවට සිඟමන් යැදීමට ශාසනික වශයෙන් කිසිදු අවසරයක් නොමැති බැවිනි. ගිහියන් හා එකම සමාජයක විසුව ද ගිහි ජීවිතය සහ භික්ෂු ජීවිතය අතර එකි’නෙකට ප්‍රතිවිරුද්ධතා බොහෝ ය. ඒ ගිහි සැප හා පැවිදි සැප අතර ඇති පරස්පරතා නිසාවෙනි.ඇතිකම ගිහියාගේ සැපය වන අතර භික්ෂුවගේ සැපය වනුයේ නැති හෙවත් සරල බව ය. වත්කම ගිහියා ගේ සැපය වන අතර නිර්ධන බව භික්ෂුව ගේ සැපයයි. කාර්ය බහුලත්වය ගිහි සැපය වන අතර විවේකය සන්සුන් මනැස භික්ෂුවගේ සැපයයි. ඒ අතර විචිත්‍ර බව ගිහි සැපය වන අතර චාම් බව භික්ෂු සැපයයි. පුර හෙවත් නාගරික වාසය ගිහියා ගේ සැපය වන අතර ග්‍රාම හෝ වන වාසය භික්ෂුව ගේ සැපයයි. මා ඉහත සඳහන් කළේ බුදුන් විසින් අනුදැන වදාළ භික්ෂුවකගේ උරුමය පිළිබඳව මිස නූතන සමාජයේ භික්ෂුන් පිළිබඳ අංශු මාත්‍රික හෝ තොරතුරක් නොවන බව ඉහත සඳහන් විස්තරයෙන් ඔබට ද මනාව වැටහී යනු ඇත.

බුදුන් විසින් අනුදැන වදාළ භික්ෂු ප්‍රතිපදා එලෙස වුව ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත වූ බුදු දහම රාජ්‍යත්වය හා අනුබද්ධ වීමේ උප්පත්ති දෝෂය මත ශ්‍රී ලාංකේය බහුතර භික්ෂුන් තුළ වූ ශ්‍රමණ ප්‍රතිපදා උඩු යටිකුරු වූ අන්දම අපගේ වංශ කතා සාහිත්‍යය සහ ත්‍රිපිටක මූලාශ්‍ර එකි’නෙක සසඳා බැලීමෙන් මනාව වටහාගත හැකි ය. ඒ අතරේ බුදුන් විසින් අනුදැන වදාළ සැබෑ ආර්ය මාර්ගය අනුගමනය කරමින් නිවැරදි ශ්‍රමණ ප්‍රතිපදාවන් හි නියුක්ත භික්ෂුන් සුළුතරයක් එදා මෙදා තුර හිඳින බව ද අප අවිවාදයෙන් පිළිගත යුතු ය. එහෙත්, මෙම ලිපියට පාදක වනුයේ එම සැබෑ ශ්‍රමණ ප්‍රතිපදාවන් හි යෙදෙන භික්ෂුන් නොවේ. රට ජාතිය සහ බෞද්ධ ආගමික සංස්ථා ව්‍යුහය බේරා ගැනීම භික්ෂු උරුමයක් ය යන ත්‍රිපිටකයේ සඳහන් ව නොමැති දේශීය පරමාදර්ශ කොට අනේක විධ සමාජ, දේශපාලන ක්‍රියාකාරකම් වලට සහ හැලහැප්පීම් වල යෙදෙන භික්ෂුන් පිළිබඳව ය.

ශ්‍රී ලාංකේය බෞද්ධ භික්ෂුව ගේ ශ්‍රමණ ස්වරූපය ඉක්මවා යන කරුණු රාශියක් මේ වන විට පෙළ ගැසී තිබේ. භික්ෂු දේශපාලනය ඔවුන්ගේ එක් සීමා ඉක්ම වීමක් පමණි.2019 සම්බන්ධ මැතිවරණ කොමිසම් සභාපති වරයාගේ වාර්තාවකට අනුව එවර මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ආගමික නායකයෝ මාධ්‍ය ආයතන ද අභිබවා ඇත.මෙහි ආගමික නායකයන් යනු කවුරුන්ද? යන්න අමුතුවෙන් කිව යුතු නැත.

නිවැරදි බෞද්ධ අර්ථ කථන වලට අනුව ශ්‍රමණයන්ට දේශපාලන සටන් බිමට අවතීර්ණ විය හැකි නම් අයිස් කුට්ටි ගින්නෙන් පළහා කෑමට ද පුළුවන. එහෙත්, ලෞකිකත්වයෙන් බැහැර වීම ඒකීය අරමුණ කර ගත් ශ්‍රමණයන්ට හුදු ලෞකික යාන්ත්‍රණයක් වන දේශපාලනය අකැප වුව මානව ඉතිහාසයේ මුල සිට ශ්‍රමණ නොවන පූජකයෝ දේශපාලනයට සෘජුව සම්බන්ධ වී සිටියහ. පැරණි භාරතීය වෛදික සම්ප්‍රදායට අයත් රජුට අනුශාසනා දෙන පුරෝහිත බමුණා ගේ භූමිකාව පෙරදිග සංස්කෘතිය තුළ ඒ අතුරින් කැපී පෙනෙයි. නමුත් අතීතයේ සිට ලෝක දේශපාලනය තුළ විවිධාකාරයෙන් දක්නට ලැබුණු මෙම පූජකවාදය (Clericalism ) නම් දේශපාලන සංකල්පය ගත වූ සියවස් තුනක පමණ කාලය තුළ ශීඝ්‍ර පසුබැස්මකට ලක් වූ අතර රජ්‍ය පාලනය හුදෙක් ලෞකික යාන්ත්‍රණයක් බැවින් පූජක පැලැන්තිය රාජ්‍ය පාලනයෙන් ඉවත් වීම ( Separation of Church and State ) යන මතවාදය ලොව පුරා කෙමෙන් මස්තක ප්‍රාප්ත විය.මෙම පූජකවාදය දැඩිව ප්‍රතික්ෂේප කළ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ එය හඳුන්වා ඇත්තේ එය එක්තරා අන්දමක පූජක ආත්ම රාගයක් මෙන්ම සමාජ මානසිකත්වයක් හා දූෂිත ගජ මිතුරු පද්ධතියක් ( A kind of ecclesiastical narcissism as well as a club mentality and a corrupt system of cronyism ) යනුවෙනි මෙය අප සමාජය හා ආදේශ කොට සළකා බැලීම ඔබ සතු යුතුකමක් හා වගකීමකි.

පාප් වහන්සේ ගේ මෙම අදහස් දැක්වීමට දශක ගණනාවකට පෙර එක්දහස් නවසිය හතලිහේ දශකයේ අප රට තුළ ද එක්සත් ජාතික පක්ෂය විසින් මෙම මතය ස්ථාපිත කළ අතර එය මුල්කොට ප්‍රසිද්ධියේ සමාජගත කළ ඩී. එස්.සේනානායකයන් හා සමාජයේ පාර්ශව කිහිපයක් ගැටුමකට මුල පුරා තිබීම ඒ සම්බන්ධ එෛතිහාසික සංසිද්ධියකි. ඒ අනුව රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකේය භික්ෂුන් ගේ මැදිහත් වීම ඓතිහාසිකව විමසා බැලෙන ආචාර්ය වල්පොල රාහුල හිමියන් විසින් ලියන ලදුව 1946 වසරේ ප්‍රකාශිත “භික්ෂුවගේ උරුමය” කෘතිය සහ1946 වසරේ පෙබරවාරි 13 වන දා කැළණි විහාරයේ දී සංඝ සම්මුතියක් වශයෙන් එළි දක්වන ලද “විද්‍යාලංකාර ප්‍රකාශනය” මගින් ශ්‍රී ලාංකේය භික්ෂුව සතු ඓතිහාසික දේශපාලන හිමිකම යළි තහවුරු කොට දක්වන ලදී. එහෙත්, ඒ කෘතිය සහ ප්‍රකාශනය කිසිම අයුරක ධර්ම ශාස්ත්‍රීය විග්‍රහයක් නොවන බවත් එය හුදෙක් සිංහල, බෞද්ධ පදනම මත ස්ථාපිත දේශීය මතයක් පමණක් බවත් අදත් බොහෝ ගිහියන් සේම භික්ෂුහු ද නොදනිති.

එනිසාම අප රටේ භික්ෂූන් බහුතරය 1947 මහ මැතිවරණයේ දී ලංකා සමසමාජ පක්ෂය වටා එක් වූහ.ඒ එම පක්ෂය දිනවීමට වඩා තම ප්‍රධානතම සතුරා වන එක්සත් ජාතික පක්ෂය බෙලහීන කිරීමට ය.මේ පසුබිම යටතේ ජන්මයෙන් බෞද්ධයකු නොවූ සේම ලිබර්ල්වාදියකු වූ එස්.ඩබ්ලියු. ඩී. ආර්. ඩී. බණ්ඩාරනායකයන් විසින් ඒ වන විට ද ශ්‍රී ලංකාව තුළ ස්ථාපිතව තිබූ එම මුඛ්‍ය සම්ප්‍රදාය කුළුගැන්වීමෙන් බලයට පත් වීමේ පහසු අවකාශය දැක බෞද්ධ භික්ෂුව ශ්‍රී ලාංකේය දේශපාලනයේ නියමුවන් හා මාර්ගෝපදේශකයන් විය යුතුය යන මතය පොදු ජනයා අතරේ පතුරුවා හරින ලදී. මේ අතරේ එක්සත් ජාතික පක්ෂයට හිතවත් භික්ෂු සංචිතය ශීඝ්‍රයෙන් සිදී ගොස් එවක භික්ෂු සමාජයෙන් අති බහුතරය ඒ වන විට යටපත් වෙමින් පවතින තම “ශාසනික නොවන” ඓතිහාසික උරුමය රැක ගනු පිණිස එස්. ඩබ්ලියු. ආර්. ඩී. බණ්ඩාරනායකයන් ගේ නායකත්වයෙන් යුතුව 1951 වසරේ පිහිටුවා ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වටා රොඳ බැඳ ගත්හ.මේ අතර 1956 මැතිවරණයෙන් ජෝන් කොතලාවලයන් ගේ නායකත්වයෙන් යුතු එක්සත් ජාතික පක්ෂය බලයට පැමිණිය හොත් මෙරට භික්ෂුන් ගේ සිරුරුවල ගල් බැඳ ඔවුන් මුහුදට දමන බවට කටකතාවක් ද සමාජයේ පැතිර ගිය බව සමකාලීන වාර්තා වලින් තහවුරු වෙයි. වරක් එක භික්ෂුවක විසින් “ඔබ තුමා අගමැති වුණොත් අපේ හාමුදුරුවන්ව ගල් බැඳලා මූදට දාලා අපවත් කරවනවා කියලා රාවයක් යනවා”යනුවෙන් ඒ සම්බන්ධයෙන් ජෝන් කොතලාවලයන් ගෙන් කරුණු විමසා සිටි පුවතක් ද අසන්නට තිබේ.

එහෙත්, ඊට පිළිතුරු වශයෙන් ජෝන් කොතලාවලයන් සිනාසෙමින් පවසා ඇත්තේ ‘මට නම් හාමුදුරුවරු මරන්න කිසිම වුවමනාවක් නෑ. ඒත් බණ්ඩා ඔය කරන්නේ හාමුදුරුවරු නොමරා එම්බාම් කරන එක’ යනුවෙනි. ජෝන් කොතලාවලයන් එසේ කියා ඇත්තේ අතීතයේ සිට පැවැති භික්ෂුන් සතු දේශපාලනික ආධිපත්‍යය වෙනුවට බණ්ඩාරනායකයන් විසින් සමකාලීන දේශපාලන ජන බලවේගය සඟ, ගුරු, වෙද, ගොවි, කම්කරු යනුවෙන් කොටස් පහකට බෙදා ඉන් එක් කොටසක් පමණක් භික්ෂුන්ට උරුම කිරීම මුල් කොට ගනිමිනි. පසුව බණ්ඩාරනායකයන් ගේ සැබෑ අභිලාෂය බෞද්ධ පූජක ආධිපත්‍යයෙන් යුතු රාජ්‍යයක් ගොඩ නැංවීම නොවන බව මෙරට භික්ෂු බහුතරය වටහා ගත්හ.එය ඔහුගේ ඝාතනයට ද අනියමින් හෝ ඉවහල් වූ බව නොරහසකි. මේ අතර නූතන දේශපාලනය තුළ පූජක ආධිපත්‍යය තිබිය නොහැකිය යන සිද්ධාන්තය පදනම් කරගත් ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන ද භික්ෂුව ගේ දේශපාලන ප්‍රවිශ්ඨය නොරිස්සු පාලකයකු ලෙස ඉතිහාස ගත වී තිබේ.නමුදු 2019 ජනපතිවරණයෙන් පසු භික්ෂූන්ට පමණක් අවනත ඒකාධිපතියකු හෙවත් “හිට්ලර් කෙනකු” තනා ගැනීම සම්බන්ධයෙන් ඇතැම් භික්ෂූන් තුළ පැවැති සිහිනය ද මේ වන විට බිඳ වැටී තිබේ.

මේ සියළු තත්වයන් තුළ මේ වන විට ශ්‍රී ලාංකේය භික්ෂු සමාජය අන් කිසි කලෙක දක්නට නොලැබුණු අවභාවිතා වන් ගෙන් පිරී යමින් පවතිනු දක්නට ලබේ. ධර්මය අවභාවිතා කරමින් මහා පරිමානයේ ජාවාරම් වල යෙදීම, ගිහියන් ද අබිබවා කාම භෝගීත්වයේ නිමග්න වීම සේම විවිධ සමාජ දේශපාලන කරුණු මුල් කොට වීදි සටන්වල ක්‍රියාකාරී භූමිකාවන් දැරීම ඉන් කිහිපයකි.

මේ අතරේ කුඩා දැරියක අපයෝජනයට ලක් කළ භික්ෂුවක ඒ දැරියගේ පියාගේ මල් පෝච්චි ප්‍රහාරයකින් ඝාතනයට ලක්වීම, විහාරාධිපතිකමක් නොලැබීම හේතුවෙන් උස් ගසක් මතට නැගී උද්ඝෝෂණය කිරීම වැනි භික්ෂුත්වය සම්බන්ධ අතිශය ඛේදනීය පුවත් ගත වූ දින කිහිප තුළ වාර්තා වීම ද මෙම ඛේදවාකයේ තවත් එක් පැතිකඩකි. එය සමනය කිරීම පිණිස කවර හෝ රජයක් විසින් ගත යුතු කඩිනම් පියවරක් වනුයේ අප රටේ වෙසෙන සෑම භික්ෂුවක ගේම ශාසනික පැවැත්ම පිළිබඳ අධිකාරීගත බලය ඒ ඒ නිකායික මත හා හිමිවරුන් මුල්කොට ගත් සංඝ සම්මුතියක් වෙත යොමු කෙරෙන යෝජිත ථේරවාදී භික්ෂු කතිකාවක් පනත හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව තුළ සම්මත කර ගැනීම ය. එවිට ශාසනික වශයෙන් භික්ෂුත්වයට නොගැලපෙන කවර හෝ ක්‍රියාවකට එක් වීමේ දී උපැවිදි බවට පත්ව; සිවුරු හැර ඒ සඳහා එක්වීමේ පූර්ණ සමාජමය ද ඔවුනට හිමිවනු ඇත.

මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර

එතෙර - මෙතෙර