ඈත අතීතයේ මහ පොලොව මත ජීවත් වූ ඩයිනසෝරයන් වඳ වී ගියේ මෙයට වසර මිලියන 66 කට පමණ පෙර පෘථිවිය හා ගැටුණු යෝධ ග්රහකයක් (Asteroid) නිසා හටගත් තත්ත්වයන් හේතුවෙන් බව විශ්වාස කෙරේ. කවදා හෝ දිනෙක නැවතත් මෙවැනි ග්රහකයක් පෘථිවියෙහි ගැටී එවැනි බිහිසුණු විනාශයක් සිදු වේවි ද යන්න තාරකා විද්‍යාව ගැන උනන්දුව දක්වන බොහෝ දෙනා තුළ විශාල කුතුහලයක් ඇති කර තිබෙන කාරණයකි. ලෝකයේ තාරකා විද්‍යාඥයෝ නිරන්තරයෙන් මේ ගැන අධ්‍යයනය කරමින් අවදියෙන් සිටිති.
තත්ත්වය මෙසේ තිබිය දී අනාගතයේ පෘථිවියේ ගැටෙන්නට ඉඩ ඇති ග්රහකයක් ගැන පසුගිය දා නාසා ආයතනය කළ ප්‍රකාශයක් විශාල අවධානයක් දිනාගෙන තිබිණි. එයින් පැවසුණේ 2046 වසරේ ආදරවන්තයන්ගේ දිනය හෙවත් වැලන්ටයින් දිනයේ ග්රහකයක් පෘථිවිය හා ගැටෙන්නට ඉඩ ඇති බවයි. නමුත් එතරම් බිය වීමට හේතුවක් නැත්තේ මෙය ඩයිනසෝරයන් වඳ කර දැමූ ග්රහකය වැනි යෝධ ග්රහකයක් නොවන බැවිනි.
තාරකා විද්‍යාඥයන් 2023 DW නමින් හඳුන්වා ඇති මෙම ග්රහකය සොයා ගනු ලැබුවේ පසුගිය පෙබරවාරි 26 වැනි දා ය. ඒ, චිලියේ San Pedro de Atacama හි පිහිටි අභ්‍යවකාශ නිරීක්ෂණාගාරයක විද්‍යාඥයන් විසිනි. නාසා ආයතනය පවසන ආකාරයට මෙම ග්රහකය පාපන්දු පිටියක් තරම් ප්‍රමාණයකින් යුතු ග්‍රහකයකි. එහි විශ්කම්භය අඩි 160 ක් පමණ බව මේ වනවිට ගණන් බලා තිබේ. අතීතයේ ඩයිනසෝරයන් අතු ගා දැමූ ග්රහකය සැතපුම් 7.5 ක් (කි.මී. 12 ක්) තරම් විශ්කම්භයකින් යුතු වූවකි. ඒ හා සසඳන කළ 2023 DW ග්රහකය ඉතාම කුඩා ග්‍රහකයකි.
කෙසේ හෝ වේවා, 2023 DW පෘථිවියෙහි ගැටේවි ද යන්න තවමත් තාරකා විද්‍යාඥයන්ට නිශ්චිතව කීමට හැකියාවක් නැත. එය ස්ථිරවම කීමට හැකි වනු ඇත්තේ ග්‍රහකයේ ගමන් මග ගැන තවදුරටත් අධ්‍යයනය කිරීමෙන් පසුව පමණක් බව ඔවුන් පවසා තිබේ. දැනට ඔවුන් පවසන ආකාරයට එය පෘථිවියෙහි ගැටීම සඳහා ඇත්තේ 1:560 ක සම්භාවිතාවකි. වැඩි ඉඩක් ඇත්තේ මෙම ග්රහකය පෘථිවියට ඉතා ආසන්නයෙන් එය පසුකර යාමට බව නාසා විද්‍යාඥයන්ගේ අදහස යි. එසේ වුවහොත් 2023 DW ග්රහකය කි.මී. මිලියන 1.1 ක් තරම් පෘථිවිය ආසන්නයට පැමිණීමට හැකි බව සඳහන් වේ.
2023 DW ග්රහකය යම් හෙයකින් පෘථිවියෙහි ගැටුණත් ඩයිනසෝර යුගයේ ග්‍රහකයෙන් වූ තරම් විශාල විනාශයක් වීමට ඉඩක් නැත. නමුත් ජනාකීර්ණ ප්‍රදේශයක් මත එය පතිත වුවහොත් සැලකිය යුතු විනාශයක් සිදු වනු නිසැක ය.
මෙයට වසර 10 කට පමණ පෙර රුසියාවේ චෙල්යාබින්ස්ක් නැමැති ප්‍රදේශයකට ඉහළින් ද මෙවැනි කුඩා ග්රහකයක් පුපුරා ගියේය. එය 2023 DW ග්රහකයට වඩා කුඩා එකක් විය. නමුත් එයින් ඇති වූ කම්පනය හේතුවෙන් එම ප්‍රදේශයේ ගොඩනැගිලි ආදියට හානි සිදු වූ අතර 1,500 ක් පමණ දෙනා තුවාල ලැබූහ. ඒ අවට නගර 7 ක ගොඩනැගිලි 7,200 කට පමණ හානි සිදුව තිබිණි. ගොඩනැගිලිවල වීදුරු ජනේල ආදිය පුපුරා කඩා වැටීමෙන් ද සමහරුන්ට තුවාල සිදුව තිබූ බව සඳහන් විය. අඩි 60 ක (මීටර 18 ක) තරම් විශ්කම්භයකින් යුතු වූ මෙම ග්රහකය ටොන් 9,000 ක පමණ බරින් යුතු වූ අතර එය පෘථිවියෙහි වායුගෝලයට ඇතුල්ව තිබුණේ පැයට කි.මී. 70,000 ක පමණ වේගයකිනි. නමුත් මෙම ග්රහකය පෘථිවියට ඉහළ අහසේ දී පුපුරා විනාශ විය. වායුගෝලයට ඇතුල් වීමේ දී ඇති වන ඝර්ෂණය නිසා කුඩා ග්රහක මේ ආකාරයෙන් ගිනිගෙන විනාශ වීම සාමාන්‍ය සිදුවීමකි. සෘජුවම පෘථිවිය හා ගැටෙන්නට ඉඩ ඇත්තේ වඩාත් විශාල ග්රහක පමණි.
පෘථිවිය හා ගැටෙන ගමන් මාර්ගයක පැමිණෙන ග්රහක කල් වේලා ඇතිව හඳුනා ගැනීම සඳහා විද්‍යාඥයන් විවිධ ව්‍යාපෘති දියත් කර තිබේ. 2023 DW ග්රහකය ද හඳුනාගන්නට ඇත්තේ මෙම අවධානය නිසා ය. මෙවැනි ග්රහක වේලාසනින් හඳුනා ගතහොත් ඒවා විනාශ කිරීම සඳහා හෝ ඒවායේ ගමන් මාර්ගය වෙනස් කිරීම සඳහා හෝ පියවර ගැනීමට විද්‍යාඥයන්ට හැකියාව ලැබේ. නමුත් ගැටලුවක් මතු වන්නේ යම් ග්රහකයක් පෘථිවියෙහි ගැටෙන්නට ඉතාම ආසන්න වනතුරුත් එය හඳුනාගැනීමට නොහැකි වුවහොත් ය. 2013 වසරේ රුසියාවේ චෙල්යාබින්ස්ක් ප්‍රදේශයට ඉහළින් පුපුරා ගිය ග්රහකය එසේ පුපුරා යන තුරුම විද්‍යාඥයන්ට දැක ගන්නට ලැබී තිබුණේ නැත. යම් හෙයකින් විශාල ග්රහකයක් විද්‍යාඥයන්ගේ ඇසට හසු නොවී පෘථිවිය හා ගැටෙන මාර්ගයක පැමිණියහොත් එයින් සිදුවිය හැකි විනාශය වලක්වා ගැනීමට නොහැකි වනු ඇත. නමුත් විද්‍යාඥයන්ගේ දුරේක්ෂවලින් බේරී සිටින්නට විශාල ග්රහකවලට ඇති හැකියාව ඉතා අඩු බව විශ්වාස කෙරේ.
නිහාල් පීරිස්