පාසලේ පන්ති කාමරයට ගෙනා යුතු සත්ව චර්යා විද්‍යාව

සතුන් පිළිබඳ හදාරන්නට කැමති කෙනෙකු උගත යුතු විෂයය කුමක්දැයි කවුරුන් හෝ ඔබගෙන් ඇසුවහොත් ඔබ ඒ අවස්ථාවේ දී එකහෙලාම පවසන්නේ ‘සත්ත්ව විද්‍යාව’ (Zoology) කියාය. සත්ත්ව විද්‍යාව යනු ජීව විද්‍යාවේම ශාඛාවක් වන අතර එයට ක්ෂුද්‍ර ජීව විද්‍යාව, ජාන විද්‍යාව, පරිණාමය, සංරක්ෂණය, ජෛව විවිධත්වය, කායික විද්‍යාව, පරිසර පද්ධති සහ සතුන් ඇතිදැඩි කිරීම වැනි දේ ඇතුළත් වේ. නමුත් සත්ත්ව විද්‍යාව හැරුණු විට සතුන් පිළිබඳ හැදෑරිය හැකි තවත් විෂයයක් ඇතිදැයි නැවත පෙරළා ඔබගෙන් ඇසුවහොත් බොහෝ එවිට ඔබට ඒ අවස්ථාවේ දී පිළිතුරක් නොතිබිය හැකිය. නමුත් එයට පැහැදිලි පිළිතුරක් තිබේ. මේ ලිපියෙන් අප කතා කරන්නට සැරසෙන්නේ ඒ පිළිබඳව ය.

සත්ත්ව විද්‍යාව හැරුණු විට සතුන් පිළිබඳ හැදෑරීමේ දී ඉගෙන ගත හැකි හොඳම සහ එකම විෂයය වන්නේ Ethology ය. මෙයට සිංහල බසින් ලබා දී අර්ථය වන්නේ ‘චර්යා විද්‍යාව’ වුවත් එය එතරම් නිවැරදි නැත. මෙයට දිය හැකි වඩාත් නිවැරදිතම අරුත විය යුත්තේ ‘සත්ත්ව චර්යා විද්‍යාව’ යන්න ය. මේ විෂයයෙන් උගන්වනු ලබන්නේ සතුන්ගේ හැසිරීම් තුළින් සතුන් හඳුනාගන්නේ කෙසේද යන්න ය.

ගෘහාශ්‍රිතව වෙසෙන සතුන්ගේ ඇතැම් හැසිරීම්වලින් ඔබට ඔවුන් පිළිබඳ යම් යම් දෑ තේරුම් ගත හැකි වුව ද ඒ තේරුම් ගැනීම පරිපූර්ණ නැත. මීමැස්සා අනෙක් මැස්සන් සමග සන්නිවේදනය කරන්නේ නර්තනයක් තුළිනි. නමුත් සාමාන්‍ය පුද්ගලයෙක් මෙය දන්නේ නැත. සත්ත්ව චර්යා විද්‍යාව තුළින් උගන්වන්නේ සත්ත්ව සන්නිවේදනය, ඔවුන්ගෙන් ලැබෙන අනාවැකි (භූම්කම්පා වැනි), ආරක්ෂාව, ආක්‍රමණය, ලිංගික අවශ්‍යතා ආදිය හඳුනාගෙන ඒ අනුව ක්‍රියා කරන්නේ කෙසේද යන්න ය. සත්ත්ව චර්යා විද්‍යාවට උනන්දු අයෙක් සිටී නම් ඔහු හෝ ඇය, ‘සත්ත්ව ස්නායු විද්‍යාව (neuroethology), චර්යාත්මක පරිසර විද්‍යාව (behavioral ecology), සමාජ ජීව විද්‍යාව (sociobiology), වනජීවී ජීව විද්‍යාව (wildlife biology), පරිණාමීය මනෝවිද්‍යාව (evolutionary psychology), තුලනාත්මක මනෝවිද්‍යාව (comparative psychology), ස්නායු විච්ඡේද විද්‍යාව (neuroanatomy), ස්නායු ජීව විද්‍යාව (neurobiology) සහ සත්ත්ව විද්‍යාව යන විෂයයන් හැදෑරිය යුතු ය. මේ විෂයයන් දකින ඔබට සත්ත්ව චර්යාා විද්‍යාව යනු පහසුවෙන් හැදෑරිය හැකි විෂයයක් නොවන බව තේරුම් ගැනීම දුෂ්කර නැත.

සත්ත්ව චර්යා විද්‍යාවේ ඉතිහාසය

ආගමික කතාන්දර පසෙකින් තැබුවහොත්, ලොවම මුල්ම සත්ත්ව චර්යා විද්‍යාඥයා වන්නේ පරිණාමවාදය ලොවට ඉදිරිපත් කළ චාල්ස් ඩාවින් ය. වර්ෂ 1872 දී ඔහු ප්‍රකාශයට පත් කළ The Expression of the Emotions in Man and Animals නම් කෘතිය මගින් නූතන සත්ත්ව චර්යා විද්‍යාව කෙරෙහි ප්‍රබල බලපෑමක් ඇති කළේ ය. නෙදර්ලන්ත සහ ඔස්ට්‍රියානු විද්‍යාඥයන් තිදෙනෙකු වන කොන්රාඩ් ලොරෙන්ස්, නිකොලාස් ටින්බර්ජන් සහ කාල් වොන් ප්‍රිෂ් 1973 දී සත්ත්ව චර්යා විද්‍යාව පිළිබඳ පළ කළ කෘතියට නොබෙල් ත්‍යාගය පවා හිමි විය.

සත්ත්ව චර්යා විද්‍යාවෙන් කෙරෙන්නේ කුමක්ද?

මෙහිදී සිදුවන්නේ සතුන්ගේ ස්වභාවික පරිසරය තුළ ඔවුන්ගේ චර්යාවන් නිරීක්ෂණය කරමින් එම චර්යාවන්ගේ නාමාවලියක් සකස් කිරීමය. ඔබ අප බොහෝ දෙනෙක් දන්නා ලොව ප්‍රකට සත්ත්ව චර්යා විද්‍යාඥවරිය වන්නේ ජේන් ගුඩෝල් ය. ඇය ටැන්සානියාවේ චිපම්න්සීන් පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා සිය මුළු ජීවිතයම කැප කළ සත්ත්ව චර්යා විද්‍යාඥවරියකි.

සත්ත්ව චර්යා විද්‍යාව වැදගත්වන්නේ ඇයි?

සත්ත්ව චර්යා විද්‍යාව බොහෝ ක්ෂේත්‍ර තුළ වැදගත් මෙහෙයක් ඉටු කරයි.

සුරතල් සතුන් පුහුණු කිරීම

අලුත් බලු පැටවකු හෝ බළල් පැටවකු ඇතිදැඩි කරන්නට පටන් ගන්නා විට ඔවුන්ව පුහුණු කරන්නට කෙතරම් දුෂ්කර ද යන්න අමුතුවෙන් කිව යුතු දෙයක් නොවේ. යම්කිසි සත්ත්ව විශේෂයක හෝ වර්ගයක ස්වාභාවික චර්යාවන් අවබෝධ කරගැනීම තුළින් ඔවුන් තුළ හොඳ පුරුදු වර්ධනය කරන්නටත්, නරක පුරුදු මැඩපැවැත්වීමටත් හැකියාව ලැබේ.

සත්ත්ව සුබසාධනය සහ සංරක්ෂණය

වදවීමේ තර්ජනයට මුහුණ දී ඇති කිසියම් සත්ත්ව විශේෂයක් සම්බන්ධව වැඩකටයුතු කරගෙන යන අයෙකුට සත්ත්ව චර්යා විද්‍යාවෙන් ලැබෙන්නේ මහඟු පිටිවහලකි. යම්කිසි සත්ත්ව විශේෂයක ස්වභාවිකව සිදුවන චර්යාවන් අවබෝධ කොටගත හැකි නම් ඔවුන්ව ආරක්ෂිතව තබන්නේ කෙසේද? යන්න අදාළ පුද්ගලයාට අවබෝධයක් ඇති වේ.

මානව ආරක්ෂාව

ඔබ විනෝද ගමනක් අතරතුර වන අලියෙක් ඔබ සිටින දෙසට පැමිණියහොත් ඔබ එයට ප්‍රතිචාර දක්වන්නේ කෙසේද? ඔබත් ආරක්ෂා වී වන අලියාත් සන්සුන් කරන්නට ඔබ කළ යුත්තේ කුමක්ද? ඔබ කළ යුත්තේ අලි මන්තර කටපාඩම් කරනවා වෙනුවට සත්ත්ව චර්යා විද්‍යාව පිළිබඳ මූලික අවබෝධයක් ඇති කරගැනීමය. සත්ත්ව චර්යා විද්‍යාව පිළිබඳ මූලිකාවබෝධයක් ඇති අයෙකුට මෙය පහසුවෙන්ම සිදු කළ හැකිය.

සත්ත්ව චර්යා වෘත්තිය

අප රටේ මෙවැන්නක් පිළිබඳ අසා හෝ නැතත්, වෘත්තියක් ලෙස සත්ත්ව චර්යා විද්‍යාඥයන්ට ලෝකයේ ඇත්තේ ඉහළ ඉල්ලුමකි. සත්ත්ව චර්යා විද්‍යාව පැරණි වුව ද, වෘත්තියක් ලෙස මෙය ඉස්මතු වන්නට පටන් ගත්තේ සාපේකේෂව මෑතකදී ය. කෙසේ වෙතත් සත්ත්ව චර්යා විද්‍යාඥයකුට ගෙවන උපරිම වාර්ෂික වැටුප ඇමරිකානු ඩොලර් 120,500 කි. රුපියල්වලින් නම් 38,973,531 කි. එය කෝටි තුනකට වඩා වැඩි මුදලකි.

සත්ත්ව චර්යා විද්‍යාව නූතන ලෝකය තුළ කෙතරම් වැදගත් මෙහෙයක් ඉටු කරන්නේ ද යන්න පිළිබඳ අවබෝධ කරගැනීමට මේ කරුණු ප්‍රමාණවත් ය.  සතුන් සමග කටයුතු කිරීමේ දී අප අසල්වැසි ඉන්දියාව ද ඇතුළුව ලෝකයේ බොහෝ රටවල් සත්ත්ව චර්යා විද්‍යාවේ කාරණා උපරිම වශයෙන් ප්‍රයෝජනයට ගන්නා බව පෙනේ. දූපත් මානසිකත්වයෙන් ඔබ්බට යා ගත නොහැකිව සිටින අපි තවමත් සිටින්නේ පශු වෛද්‍යවරුන්ගේ පිහිටෙන් පමණක් සතුන් සමග ගනුදෙනු කරන ප්‍රාථමික මට්ටමකය. සත්ත්ව චර්යා විද්‍යාව එයට වඩා බොහෝ ඉදිරියෙන් ගමන් කරන විෂය ක්ෂේත්‍රයකි. මේවා පාසල් විෂය ධාරාවේ සිට ආරම්භ කළ යුතු දේවල් ය. එසේ කරන්නේ නම් මිනිසුන් සතුන් පිළිබඳ දක්වන ආකල්ප පවා වෙනස් වන්නට ඉඩ තිබේ. කෙසේ නමුත් ශ්‍රී ලංකාව වැනි රටක එවැනි තත්ත්වයක් කවදා සිදුවේ දැයි සැක සහිතය.

නිරංජන් චාමින්ද කරුණාතිලක

සතුන්ටත් හිමි අපේ ලෝකය