ශ්‍රී ලංකා කායික රෝග විශේෂඥ විද්‍යායතන සාමාජිකයෝ “වෙද-ජන කතිකාව”කට රුවන්පුර යති

බටහිර වෛද්‍ය සේවාව හුදෙක් සායනික මට්ටමේ පවතින්නක් බව පොදු ජනතා ආකල්පයයි.මෙය තවත් විස්තර වශයෙන් කිවහොත් රෝගියකුට වෛද්‍ය වරයකු හමුවිය හැක්කේ රෝහලක දී නැතහොත් බෙහෙත් ශාලාවක දී පමණක් ය යන හැඟීම නූතන සමාජයේ ද මුල් බැස ගෙන තිබේ.එවන් පසුබිමක් යටතේ  ලංකා කායික රෝග විශේෂඥ විද්‍යායතනය(SLCIM ) ඉහත සඳහන් සීමා මායිම් ඉක්මවා”වෙද-ජන කතිකාව”නම් වන අපූරු සමාජ සුසංවාදයක් මේ වන විට අරඹා තිබේ.ඒ මඟින් නිදන් ගත රෝග සමබන්ධයෙන් සමාජයේ විවිධ පාර්ශව දැනුවත් කිරීමේ දෙදින වැඩ සටහනක්  රත්නපුර ශික්ෂණ රෝහල,සබරගමුව පලාත් සෞඛ්‍ය සේවා කාර්යාලය අනුබද්ධිතව රත්නපුර සබරගමු පළාත් සභා ශ්‍රවනාගාරයේ දී ඊයේ සහ අද(15 ,16) පැවැත්වුණි.

ශ්‍රී ලංකා කායික රෝග විශේෂඥ විද්‍යායතනය යනු කායික වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥයන්ගෙන් සැදුම්ලත් වෘත්තීය සංවිධානයකි.2016 දී පිහිටුවන ලද මෙම විද්‍යායතනය ශ්‍රී ලාංකිකයන් වෙත ලබා දෙන සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා අඛණ්ඩ වෛද්‍ය අධ්‍යාපනය, පර්යේෂණ සහ සමාජ යහපැවැත්ම සඳහා කායික රෝග පිළිබඳ විශේෂඥයින්ට පහසුකම් සැලසීමට කැපවී සිටී. එය ලාභ නොලබන සංවිධානයක් වන අතර එහි සාමාජිකයෝ සම්පූර්ණයෙන්ම ස්වේච්ඡාවෙන් කටයුතු සඳහා දායක වෙති.

මෙම වැඩසටහනට ශ්‍රී ලංකා කායික රෝග විශේෂඥ විද්‍යායතනයේ සභාපති වෛද්‍ය කුමුදිනී ජයසිංහ මහත්මිය සහ හිටපු සභාපති වෛද්‍ය ගණක සේනාරත්න මහතා සේම සංගමයේ සාමාජික මහත්ම මහත්මියන් රැසකගේ නොමසුරු  සහභාගිත්වය ලැබී තිබිණ.මහජනතාව උදෙසා පැවති “වෙද -ජන කතිකාව” ඊයේ දින ඉතා සාර්ථකව පැවැත්වුණු අතර එහිදී බෝ නොවන රෝග පිළිබඳ දැනුවත් කිරීමක් කායික රෝග විශේෂඥ වෛද්‍ය වරුන් විසින් සිදු කරන ලදී. මෙහිදී ජනතාවට තම සෞඛ්‍ය ගැටළු නිරාකරණය කර ගැනීමට අනගි අවස්ථාවක් උදා වූ අතර ඊට එක්වූවන් වෙතින් මේ වැඩසටහන සම්බන්ධව ඉහළ ප්‍රතිචාර හිමි විය.එදිනම රාත්‍රියේ විශේෂඥ කායික රෝග වෛද්‍යවරුන් සඳහා ප්‍රායෝගික වැඩමුළුවක් පැවති අතර රත්නපුර අවට රෝහල් රැසක විශේෂඥ වෛද්‍යවරු මේ සඳහා සහභාගි වූහ.අද වෛද්‍යවරුන් හා හෙද නිලධාරීන් සඳහා වැඩසටහනක් පැවති අතර කාලෝචිත වෛද්‍ය විද්‍යා මාතෘකා රැසක් මෙහිදී සාකච්ඡාවට ලක්විය.ජනතා හිත සුව පිණිස වන වෛද්‍ය විද්‍යාත්මක සංගායනාවක් බඳු මෙම වැඩසටහන් ද්විත්වය වෛද්‍ය හා හෙදි නිලධාරී දෙපිරිසේ ද ඉමහත් පැසසුමට ලක් විය.

 

එතෙර - මෙතෙර