ඇස් වහ කට වහ දුරු කර ගන්න යකැදුරන් යොදා ගන්න එපා!

මිනිසුන්ට බලපාන ගුප්ත දෝෂ පිළිබඳ විශ්වාස රාශියක් ලොව පුරා පැතිර තිබේ. එහෙත් ඒ සියලු විශ්වාස අතුරින් මුල් තැනක් ගන්නේ ‘ඇස්වහ’ නම් වන ගුප්ත දෝෂය පිළිබඳ විශ්වාසයයි. ඉංග්‍රීසියෙන් Evil eye නමින් හැඳින්වෙන මෙම ගුප්ත දෝෂය පිළිබඳ විශ්වාසය ගුප්ත දෝෂ සම්බන්ධ විශ්වාස අඩුම මට්ටමකින් පවතින ඉස්ලාම් භක්තිකයන් අතරේ ද පැතිර පවතී. ඔව්හු මේවා ‘බූරි නසර්’ ආදී නම් වලින් හඳුන්වති. එසේම තම නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ හෝ වාහනයේ ‘අල්ලා දෙවියන්ගේ කැමැත්ත පරිදි’ යන අදහස අරාබි බසින් පැවසෙන ‘මාෂා අල්ලාහ්’ යන පාඨය ප්‍රදර්ශනය කිරීමෙන් එම ගුප්ත දෝෂ මගහැරී යන බව ඉස්ලාම් භක්තික විශ්වාසයයි.

‘ඇස්වහ කටවහ’ යන කෙටි නමින් හැඳින් වුවද මෙම ගුප්ත දෝෂ සිව් වැදෑරුම් ය. ඒ ඇස්වහ, කටවහ, හෝවහ සහ අඬෝවැඩියා දෝෂ යනුවෙනි. ඇස්වහ යනු යමක් හෝ යමකු දෙස ඊර්ෂ්‍යා පරවශ ලෙස බැලීම ය. කට වහ යනු එදෙස බලා යමක් මුවින් පැවසීමය. ඒ අනුව අප ජනවහරෙහි ‘ඇස්වහ කහවහ’ යන්නට ප්‍රධාන තැනක් හිමිව තිබේ.

එහෙත් මීටම සම්බන්ධ ‘හෝවහ’ යනු යමක් හෝ යම් දෙයක් සම්බන්ධයෙන් ඊර්ෂ්‍යා සහගත සිතිවිලි පදනම් කර ගනිමින් සුසුම් ලෑම හෙවත් හීල්ලීමය. මීට අමතරව අඬෝවැඩියා දෝෂය ලෙස හැඳින්වෙනුයේ එසේ හූල්ලන අතරේ එවැනි තත්ත්වයක් හෝ සම්පතක් තමන්ට අහිමි වීම පිළිබඳ කන්කෙඳිරි ගෑම ය. පොදුවේ ‘වහ දෝෂ’ නමින් හැඳින්වෙන මෙම ගුප්ත දෝෂ මගින් එය ඉලක්ක වන්නාගේ ජීවන පැවැත්මට අහිතකර බලපෑම් එල්ල වන බව පැරණි ගුප්ත ශාස්ත්‍රයේ සඳහන් වේ. තත්වය එසේ වුව ද මිනිසුන් වෙත එල්ල වන ගුප්ත දෝෂ අතරින් මෙම වහ දෝෂ වලට හිමි ස්ථානය පිළිබඳ අදත් බොහෝ දෙනෙක් නොදනිති එබැවින් ඒ පිළිබඳව ද මඳක් විස්තර කළ යුතු යැයි සිතමු.

පැරණි ගුප්ත ශාස්ත්‍රයට අනුව මිනිසුන් වෙත එල්ල වන ගුප්ත දෝෂ පස් වැදෑරුම් ය. දෙවිවරුන් වෙතින් එල්ල වන දෝෂ හෙවත් දේව ශාප, ග්‍රහයන් වෙතින් එල්ල වන දෝෂ හෙවත් ග්‍රහ දෝෂ, යක්ෂ, ප්‍රේත, පිසාච,කුම්භාණ්ඩයන් විසින් එල්ල වන දෝෂ හෙවත් යක් ලෙඩ හෝ සන්නි රෝග, මිනිසුන් විසින් දෙවියන් යකුන්, ප්‍රේතයන්,පිසාචයන්, කුම්භාණ්ඩයන් ලවා ඇති කරවන දෝෂ හෙවත් අණවින, හදි හූනියම්, බන්ධන ආදිය ගුප්ත දෝෂ අතරින් ප්‍රධාන හතර ය. එහෙත් අද අපගේ මාතෘකාවට බඳුන් වන වහ දෝෂ ඉහත සඳහන් ගුප්ත දෝෂ හතරෙන් එකකට වත් අයත් නොවන බව විශේෂයෙන් කිව යුතු ය. ඉහත සඳහන් සියලු ගුප්ත දෝෂ ගුප්ත ශාස්ත්‍රයේ එන ‘අෂ්ට කර්ම’හා පදනම් වන මුත් ඉහත සඳහන් ‘වහ දෝෂ’ එම අෂ්ට කර්මය හා කිසිදු ලෙසකින් සම්බන්ධ නොවේ. මෙය බොහෝ දෙනකු නොදත් කරුණකි.

ඉහත සඳහන් ‘වහ දොස්‘ යනු පැරණි අකුසල කර්මාදියේ හේතුවෙන් වර්තථමානයේ දුක් විඳින පවිටු මිනිසුන් විසින් තමන්ට වඩා වැඩි රූපයක්, ධනයක්, හැකියාවක්, සමාජ තත්වයක් ආදී වටිනාකම් සහිත පුද්ගලයන් වෙත එල්ල කරනු ලබන ගුප්ත දෝෂ විශේෂයකි. නවීන ව්‍යවහාරයට අනුව කිවහොත් මේවා හුදෙක් මානව ක්‍රියාකාරකම් ය.මේ තත්ත්වය යටතේ වහ දෝෂ නම් වන මෙම තත්ත්වය ඉහත සඳහන් ‘අෂ්ට කර්ම’ මත පදනම් වන වෙනත් ගුප්ත දේෂ තරම් ප්‍රබල නොවේ. කොටින්ම මෙම වහ දෝෂ මගින් මිනිසකු මරා දැමීම, නිත්‍ය ආබාධිත තත්වයට පත් කිරීම, ගේ දොර, වතු පිටි, යාන වාහන ආදී සම්පත් වනසා දැමීම අද කිසිවක්ම කළ නොහැක. ඉන් කළ හැකි එකම දෙය නම් යම් පුද්ගලයකුගේ ජීවන ගමන අඩාළ වීමට ඉවහල් වන සාධක ඉස්මතු කිරීම පමණි.නමුදු මේවා හුදෙක් ජන විශ්වාස මිස විද්‍යාත්මක අනාවරණයන් නොවන බව ද කිව යුතු ය.

එමෙන්ම මේ වහ දෝෂ එල්ලවීම සමාජයේ සෑම පුද්ගලයකු හා ඔවුන් සතු සම්පත් සම්න්ධයෙන් වෙන් වෙන් වශයෙන් බලපාන බව ද පැහැදිලිවම පෙනී යන තත්වයකි. නිදසුන් ලෙස කුඩා බිළිඳුන්, තරුණියන් ආදී කෙරෙහි වැඩිම බලපෑමක් එල්ල කරන වහ දෝෂ තක්කාලි, බුලත් ඇතුළු කොරටු බෝග කෙරෙහි වැඩි වශයෙන් බලපාන බව ආවරණය වී තිබේ. නිවාස සහ වාහන ආදිය සම්බන්ධයෙන් නවීනත්වය මුල්කොට මෙම වහ දෝෂ වැඩිපුර බලපවත්වන බව බොහෝ දෙනෙක් කියති.ඒ හා සාපේක්ෂව වියපත් වුවන්, රෝගීන්, වයෝවෘද්ධතමයන්, පූජ්‍ය පක්ෂයේ උතුමන් හට සේම යුද සෙබළුන්,ගණිකාවන්, සොරුන්, ආබාධිත පුද්ගලයන් ආදී මෙම වහ දෝෂ වලට ගොදුරු නොවන කොටස් සම්බන්ධයෙන් ද පැරණි ගුප්ත ශාස්ත්‍රයේ පැහැදිලි අනාවරණයක් දක්වා තිබේ. රජයේ සහ පොදු දේපළ සේම කෙතරම් මහේශාඛ්‍ය වුව පැරණි මන්දිර සේම රාජ රාජ මහාමාත්‍යාදීන් ද මෙම වහ දෝෂවලින් අත්මිදුණු බව පැරණි සෘෂිවරුන් කියා තිබේ.එමෙන්ම වන පල, සාංඝික දේපළ සහ කටුසැර භෝග ද මෙම වහ දොස් වලින් නිදහස්ය.

මෙම වහ දොස් සම්බන්ධ නිවාරක කටයුතු සේම ඒවා එල්ල වූ පසු ඒවායින් අත්මිදීම පිණිස වන ප්‍රතිකර්ම වශයෙන් වහ දොස් සම්බන්ධ ගුප්ත ප්‍රතිකර්ම කොටස් දෙකකි. යම් යම් පුද්ගලයන් හා ඔවුන්ගේ සන්තකයන් සම්බන්ධයෙන් එල්ල වන ජන අවධානය වෙනතකට හැරවීම එම නිවාරක ක්‍රම අතුරින් මුල් තැනක් ගනී. බිළිඳුන්ගේ නළලෙහි තිලක තැබීම, අත්වල කිරි පබළු වළලු එල්ලීම ආදිය අප රටේ බහුලව සිදු වන බව නොරහසකි. අප රටේ දක්නට නොමැති වුව ද ඉන්දීය හින්දු සමාජයේ යුවතියන්ගේ නළල, දෙකොපුල සහ ගෙල ද තිලක වලින් සැරසීම වහ දොස් නිවාරණ ක්‍රමයකි. ඊට අමතරව නිවාස ආදියේ සැමට පෙනෙන පරිදි බුදු සරණයි, දෙවි පිහිටයි, ජේසු පිහිටයි වැනි ආශිර්වාදාත්මක වාක්‍ය ප්‍රදර්ශනය කිරීමත් පුහුල් ගෙඩි, පඹයන් ආදිය එල්ලා තැබීමත් ඒ කෙරෙහි එල්ල වන සෘජු අවධානය වළක්වන උපාය මාර්ග ලෙස සැලකේ. එමෙන්ම නිවාස, ව්‍යාපාරික ස්ථාන සහ වාහනවල මිරිස් කරල් සහ දෙහි එල්ලීමත් ඉන්දියාවේ පවා ප්‍රචලිත ක්‍රමයකි. මීට අමතරව නිවාස සහ භූමියට අධිපති රාක්ෂ රූප විවෘත ස්ථානවල එල්ලා තැබීම ඉන්දියාවේ මෙන්ම ශ්‍රී ලාංකේය සමාජයේ හින්දු බැතිමතුන්ගේ වහ දොස් නිවාරණ ක්‍රමයකි. හින්දුන් විසින් ‘කන් දෘෂ්ටි’ යනුවෙන් හැඳින්වෙන වහ දොස් නිවාරණය පිණිස වන මෙම රූප ‘කන් දෘෂ්ටි පඩම්‘ යනුවෙන් හඳුන්වනු ලැබේ.

මෙම වහ දොස් දුරලීම පිණිස ශ්‍රී ලාංකේය සමාජය තුළ පවතින බරපතළ අවාසනාවක් වන්නේ ඇතැමුන් ඒ සඳහා යකැදුරන්ගේ උපකාර පැතීම ය. හුදෙක් අමනුෂ්‍ය දෝෂ නොවන මිනිසුන් විසින් මිනිසුන්ට එල්ල කරන මෙම වහ දොස් සම්බන්ධයෙන් යකැදුරන්ට කළ හැක්කේ කුමක්ද? යන්න පිළිබඳ මෙහිදී සිතා බැලිය යුතු ය. මීට අමතරව තවත් පිරිස් ගම්මඩු, පුනාමඩු ආදිය පවත්වන පත්නිනි කපු මහතුන් ද මෙම වහ දොස් වළකන ශාන්ති කර්ම සඳහා තෝරා ගනිති. එහෙත් වසංගත රෝග පිටුදැකීම සම්බන්ධයෙන් වන එම ශාන්ති කර්ම වහ දොස් සම්බන්ධයෙන් එතරම් බලාත්මක නොවේ.

වහ දෝෂ සම්බන්ධ වතුර මැතිරීම, අත්තගහ මැතිරීම සහ දෙහි කැපීම වැනි ගෘහස්ථ ශාන්ති කර්ම සම්බන්ධයෙන් වඩාත්ම සුදුසු වන්නේ බුදුගුණ බලයෙන් එම කටයුතුවල යෙදෙන පස්පව්, දස අකුසල් වලින් දුරු වූ එම වතාවත් පිළිබඳ මනා දැක්මක් අවබෝධයක් සහ අත්දැකීම් සහිත වැඩිහිටියන් ය.ඒ සඳහා තමන් පෞද්ගලිකව දන්නා හඳුණන හා යම් විශ්වාසයක් පදනම් කර ගත් පුද්ගලයන් තෝරා ගැනීම ද වැදගත් ය. අතීතයේ වන්දනා ගමන්වල නඩේ ගුරු භූමිකාව දැරූ සහ ගිහි පිරිස් වලට සම්බන්ධ පිරිස් මෙහි දී පෙරමුණ ගත්හ. ඒ සඳහා යොදා ගැනුණු බුදු ගුණ ශාන්තිය නම් වන ගායනා සහ පුද පිළිවෙත් රාශියක් තවමත් අප සමාජයේ ශේෂව පවතී. මේ සඳහා යැකැදුරන්, පත්තිනි කපු මහතුන්ට වඩා මොවුන් තුළ පවත්නා යෝග්‍යතාව ඉතා වැදගත් බව අප නැවත අවධාරණය කරනුයේ එබැවිනි.

හේම ශ්‍රී අමරසිංහ

 

ඉරා අදුරුපට